ට්‍රැවල් කරන්න හිතෙනවා කියන්නේ එක්තරා ආකාරයක උමතුවක්.වෙනත් විදිහකට කියනවානම් හරියට හැදුනොත් හොඳ කරන්න අමාරු ලෙඩක්. අද ලෝකයේ බොහෝ දෙනෙක් විනෝදාංශයක් විදිහට තැන තැන ඇවිදයනවා වාගේම ආදායම හොයන්නත් මේ ට්‍රැවල් පාවිච්චි කරනවා.මේ නිසා විවිධ සංස්කෘතීන්, ආගාම් වගේම ලස්සන තැන් ගැනත් තවත් පිරිසක් දැනුවත් වෙනවා. එහෙම දෙන්නෙක් ගැන අපිට කතා කරන්න ලැබුණා.
මුලින්ම ඔය දෙන්නා ගැන කියන්න…
අපි දෙන්නම ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන රටවල් දෙකක ඉපදුණ දෙන්නෙක්. මගේ නම දිමුත් ගමගේ. ඉපදුණේ ජර්මනියේ. මම ඉංජිනේරුවෙක් විදිහට රැකියාව කරනවා. මගේ වයිෆ්ගේ නම සුජානි ගමගේ. එයා ඉපදුණේ ස්විස්ටර්ලන්තයේ. අපි දෙන්නා මුණගැහුණෙත් ට්‍රැවලින් නිසා තමයි.
ඇයි මෙහෙම ගමනක් එන්න හිතුණේ?
අපි දෙන්නට ලොකු වුවමානවක් තිබුණා ලොකු දුරක් ඇවිදයන්න. ඉතින් ඒ නිසා මුලින්ම ප්ලෑන් කළේ බෝට්ටුවක් අරගෙන ඒකෙන් ලෝකේ වටේ යන්න. මම ඉංජිනේරුවෙක් නිසා ඒකට අවශ්‍ය කරන හැමදේම සූදානම් කරගත්තා. අපි බෝට්ටුවකුත් සල්ලිවලට ගත්තා.
මාස හයක් වගේ ගියා මේ හැමදේම ලෑස්ති කරගන්න. ගමන යන්න පෙර සූදානමක් විදිහට අපි පොඩි කාලයක් බෝට්ටුවේ ජීවත්වෙන්න තීරණය කළා. එතනදී තමයි අපිට තේරුණේ මේක කරන්න අමාරු වැඩක් කියල. ඒ වගේම අපේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක බෝට්ටුවක මාස ගණනක් ජීවත්වෙන එක හරිම අමාරුයි. අනිත් කාරණය තමයි බෝට්ටුවක මාස ගාණක් යන එක හරිම භයානකයි.
ඔය හේතු නිසා අපි තීරණය කළා බෝට්ටුවේ යන්න හිටපු ගමන අතහැරලා බෝට්ටුව විකුණන්න. ඒත් අපි අපේ හීනය අත්හැරියේ නැහැ. බෝට්ටුව වෙනුවට අපි කාර් එකක අපේ ජර්නි එක යන්න තීරණය කළා. මේ ගමන යන්නම අපි සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් තෝරල ඒක සල්ලිවලට ගත්තා. වාහනය සෙකන්ඩ් හෑන්ඩ් නිසා හදන්න දේවල් ගොඩක් තිබුණා. ඒවා ඔක්කෝම මම හදන අතරේ සුජානී අපේ වීසා වැඩ ටික කළා.
තෝරගත්ත වාහනය ගැන කිව්වොත්…
මේ කාර් එක පරණ හොන්ඩා සීආර් වී එකක්. මොකද දුර ගමනයක් යන නිසා මොකක් හරි වුණොත් ලේසියෙන් හදාගන්න පුළුවන් කාර් එකක් මට ගන්න ඕන වුණේ. ඒ නිසයි අලුත් වර්ගයේ වාහනයක් ගන්නෙ නැතිව පරණ වාහයක් තෝරගත්තෙ. වාහනය ගත්තෙ ගිය අවුරුද්දෙ. ගොඩක් තැන් කැඩිලා තිබුණ නිසා ඒවා ඔක්කෝම මම තනියෙන් හැදුවා. පැත්තකට දාලා තිබුණ වාහනයක් නිසා ඒකටත් ජීවිතයක් දෙන්න ඕනෙ කියන අදහසත් හිතේ තිබුණා.
කාර් එකක මේ වගේ දීර්ඝ ගමනක් යන්න හිතුවේ දිමුත් ඉංජිනේරුවෙක් නිසාද?
ඔව්. මොකද මම කොහේ ගියත් ඕන කරන ටූල්ස් ඔක්කෝම අරගෙන යන්නෙ. මොකක් හරි දෙයක් වෙලා වාහනය කැඩුණත් මට ඒක හදාගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ නිසයි කිසිම බයක් නැතුව කාර් එකක මේ වගේ ගමනක් යන්න අපි දෙන්නම තීරණය කළේ.

මේ ආපූ දීර්ඝ ගමන ගැන මතක් කළොත්…
අපේ මේ ගමන පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 11 වැනිදා. අපි ලංකාවට ආවේ මේ පෙබරවාරිවල. දවස් හතලිස් පහක් වගේ ගියා ලංකාවට එන්න. කිලෝමීටර් දාහතරදාහක් වගේ ගෙවාගෙන තමයි ලංකාවට ආවේ
මුලින්ම ජර්මනියෙ බර්ලින්වලින් පිටත්වෙලා අපි චෙක් ජනරජයට ගියා. ඊටපස්සෙ ස්ලෝවැකියාව හරහා හංගේරියාවට ගිහිල්ලා සර්බියාවට ඇතුල්වුණා. එතනින් බල්ගේරියාව, තුර්කිය, ඉරානය, පාකිස්ථානයෙන් ඉන්දියාව අපි ඇතුළ් වුණා. කොහොමහරි රටවල් 10 ක් පහුකරගෙන අපි ලංකාව පෙනෙන කල් ආවා.
තවත් රටක ඉදන් ලංකාවට මෝටර් රථයකින් එන්න බැහැ. ඒ ප්‍රශ්ණය විසදගත්තෙ කොහොමද?
එහෙම එන්න බැරි නිසා තමයි අපි දෙන්නා තීරණය කළේ ලංකාව අපේ ඇස්වලට පේන තරම් ළඟට යනවා කියලා. ඒ නිසා ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙනකල් අපි වාහනයෙන් ආවා. ඊටපස්සෙ අපි ආපහු චෙන්නයිවලට ගිහින් එතනින් වාහනය කන්ටේනරයකට දාලා කොළඹට ගෙනවා.
මොන වගේ අභියෝගද තිබුණේ මේ ගමන අතරතුර?
අපි තුර්කිවලට ආවට පස්සෙ වාහනයේ එක ස්ප්‍රින් එකක් කැඩිලා ගියා. ඒ වෙනකොට තුර්කියෙ තියෙන ලොකු නගර සේරම වගේ පහු කරගෙන ඉරානයට කිට්ටු කරල තිබුණේ. ඒ නිසා ස්ප්‍රින් එකක් ගන්න තැනැක් හොයාගන්න බැරි වුණා. ඊටපස්සෙ මම කළේ අනෙක් පැත්තෙ ස්ප්‍රින් එකත් කැඩුණු ස්ප්‍රින් එකේ ගානටම කපපු එක. ඒ විදිහට හදාගත්ත කාර් එකෙන් අපි ලංකාවට වෙනකල්ම ආවා.
පාකිස්ථානයෙ තියෙන එක එක ප්‍රශ්න නිසා අපි ක්වෙටා වෙනකල් යන්න වුණේ හමුදාවේ වාහන දෙකක් ඉස්සරහෙනුයි පිටිපස්සෙනුයි තියාගෙන. ඒ නිසා අපිට කොහෙවත් හොටෙල් එකක නවතන්න බැරිව එක දිගටම එන්න වුණා.
ක්වෙටාවලින් පස්සෙ අපි ලාහෝර්වලට ආවා. එතන තමයි පාකිස්ථානය හරහා කාර්වලින් ඉන්දියාවට යන්න පුළුවන් එකම බෝඩර් එක තියෙන්නේ. එතනින් අම්රිත්සාර්වලට අපි ආවා. ඒ ඇවිල්ලා ඉන්දියාවේ උඩම කොටසේ ඉඳලා ධනුෂ්කොඩි වෙනකල් ඉන්දියාවේ පහළටම අපි ආවා.
මේ ගමන අතරතුර ලබාගත් අත්දැකීම් ගැන මතක් කළොත්…
හිතුවෙවත් නැති විදිහේ ගොඩක් හොඳ පිළිගැනීමක් අපිට ලැබුණා. ඒ මිනිස්සු හරි කැමති එයාලගෙ රට බලන්න සංචාරකයෝ එනවට. ඒත් ඉරානේදි වයිෆ්ට හිජාබ් එකක් නැතුව යන්න බැරි වුණා. මුස්ලිම් රටක් නිසා කාන්තාවන් එහෙදි හිජාබ් එකක් පළදින්න ඕනෙ කියල කිව්වා. අපි ඒ අනුව වැඩ කළා. ඒ පොඩි ප්රශ්නය ඇරෙන්න වෙන්න කිසිම ගැටලුවක් අපිට ඇති වුණේ නැහැ.

මේ ගමන ඉවර කළාට පස්සෙ මොනවගේ හැගීමක්ද දැනුණේ?
ගොඩක් සතුටියි. ඒ හැඟීම කියන්න තේරෙන්නෙ නැහැ. ජීවිතය තිබුණ ලොකුම හීනයකට තමයි අපි ගියේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි. එක එක සංස්කෘතීන් එක්ක අපි හිටියා. මිනිස්සු ගොඩක් අපිට ආශ්‍රය කරන්න හම්බුණා. වෙනස් කෑම ජාති ගොඩක් අපිට රස විඳින්න හම්බුණා. ගමන යද්දි නිතරම අපි කල්පනා කළේ හෙට කොහෙද යන්නෙ, කොහොමද යන්නෙ කියල.
ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ…
දැන් ආපහු ලංකාවෙන් යන්න ඉන්නේ. කාර් එක ඉන්දියාවට නැව් මාර්ගයෙන් රැගෙන යනවා. පස්සෙ අපි චීනය හරහා ජර්මනිය බලා යන්න බලාපොරොත්තු වෙනවා. එනකොට යන්න බැරිවුණ තැන් බලන්න යන්න හිතන් ඉන්නවා. අපි ලංකාවට පස්සේ තියෙන ලස්සන තැන් බලන්නත් ගියා. ඉස්සරහට තවත් වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
අර්චිත ඉඳුවර ✍️