උත්සව කාලයේදී ගිනිකෙළි ගැන කතා නොකරම බැහැ. ඒ වගේම මේවායින් සිද්ධ වෙන අනතුරු ගැනත් නිරන්තරවම වාර්තා වෙනවා. ඒ නිසාම සෑම රෝහලකම හදිසි අනතුරු වාට්ටු මේ කාලයේදී බොහොම සීරුවෙන් ඉන්නවා.ගිනිකෙළි නිසා අනතුරට පත් රෝගීන් රෝහල් කරා රැගෙන එන්න වෙලාවක් නැහැ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එළියටත් බයයි කිව්වත් අපේ සමාජයේ නම් මේ ගැන දැනුවත්වීම හරි අඩුයි. නමුත් මේ වගේ අනතුරු සිදු නොවන විදිහට රතිඤ්ඤා, අහස්කුරු දල්වන ආරක්ෂිත ක්‍රමයක් ගැන ඔහු හිතලා. ඒ හිතීම අනුව දුරස්ථ පාලකයක් ආධාරයෙන් රතිඤ්ඤා සහ අහස්කුරු දල්වන අපූරු තාක්ෂණයක් ඔහු සොයා ගෙන. දැරණියගල නුූරිය ප්‍රදේශයේ පදිංචි නිශාන් තාරුකගේ මේ අලුත් හඳුනා ගැනීමේ තිබෙන වාසි ගැන අපි ඔහුත් එක්ක කතා කළා.
අපි රතිඤ්ඤා කරලක් පත්තු කරන්නේ යම් අවදානමක් අපේ අතේ තබාගෙන. හදිසියේ හෝ රතිඤ්ඤා කරල අතේ පිපිරී ගියොත් අනතුරු වෙනවා. ඒ වගේම සුළං තත්ත්වය හෝ වැසි සහිත පොළවකදී රතිඤ්ඤා කරල පත්තු වෙන්නේ නැහැ. අහස් කුරක් ගැන හිතමු. අපි අහස් කූර පත්තු කරලා යැව්වට එහි අලංකාරය ඇස් පුරා දකින්න ලැබෙන්නේ නැහැ. අහස්කුර අතින් නිදහස් කරන තෙක් අපට අවදානමක් තිබෙනවා. නමුත් මම නිෂ්පාදනය කළ මේ උපකරණය දුරස්ථ පාලකයකින් හසුරුවන නිසා කිසිම අවදානමක් නැහැ.
උපකරණය ක්‍රියාත්මක කිරීම
රතිඤ්ඤා රඳවන උපකරණය වෙනුවෙන් මම ිමබ ඉදං එකක් යොදා ගත්තා. බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ උපකරණයක රතිඤ්ඤා කරල් 3 -10 ක් රඳවන්න පුළුවන්. මෙහි රතිඤ්ඤා රඳවලා දුරස්ථ පාලකයක් ආධාර කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 10 ක් පමණ දුරක ඉඳගෙන දුරස්ථ පාලකය හසුරුවන්න පුළුවන්.
අහස්කුරු රඳවනය
අහස්කුරු රඳවනය එස්ලෝන් බට ආධාරයෙන් හදා ගත්තා. මේ උපකරණයෙත් අහස්කුරු 3 – 10 ක් දක්වා එකතු කරන්න පුළුවන්. මුලින් උපකරණය වගේම අඩි 10 ක් පමණ දුරක ඉඳගෙන දුරස්ථ පාලකය හසුරුවන්න පුළුවන්. තත්පරයක් තුළ රතිඤ්ඤා වගේම අහස්කුර දල්වාගන්න පුළුවන්.
ඔබට මේ දැනුම ලැබුණේ
මම කුඩා කාලයේ පටන්ම අලුත් අලුත් දේවල් ගැන අත්හදා බැලුවා. බස්නාගල මහ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා එතැනින් පසුව මම පරිගණක තාක්ෂණය ගැන හිත යොමු කළා. මම පොත් පත් කියවලා දැනුම එකතු කරගත්තා. මේ විදිහට ලබා ගත් දැනුමෙන් මම විවිධ දේ අත්හදා බැලුවා.

ඔබේ අත්හදා බැලීම් සාර්ථක වුණා?
ඔව්, මම මුලින්ම කොවිඩ් වසංගත කාලයේ අත සේදීමෙන් පසුව වියළා ගැනීමට උපකරණයක් හැදුවා. එතැනින් පසුව ගෑස් හිඟය වේලාවේ පොල්කටු අඟුරු වලින් ළිපක් හැදුවා. මේ ළිපේ උෂ්ණත්වය ඒකකාරකව තබා ගන්න පුළුවන්. උයන අතරවාරයේ වතුර කේතලයක් උතුරවා ගන්න තරම් උෂ්ණත්වයක් තිබෙනවා. මේ ළිප බැටරියකින් චාර්ජ් කර ගන්න පුළුවන්. ඊට අමතරව සූර්ය බල ශක්තිය උපයෝගී කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්.
ඔබ සඳහන් කළා රිලව් එලවන තුවක්කුවක් ගැන…
කැලෑ සතුන් අප සමග ජීවත් විය යුතු බව ඇත්ත. නමුත් රිලව් නිසා වගාවට හානි වෙනවා. ඒ නිසා මම ඔවුන්ගේ ජීවිතයට හානියක් හෝ අනතුරක් නොවන පරිසරයටත් කිසිසේත්ම අහිතකර නොවන තුවක්කුවක් හැදුවා. මේ තුවක්කුවෙන් රිලවාට හානියක් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන්ම මම නිෂ්පාදනය කළ අහස්කුරු විශේෂයක් තිබෙනවා. රිලවාට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. වගාව ආරක්ෂා වෙනවා.

ගෙදරට හොරෙක් ආවොත් දැන ගන්නා ක්‍රමය ගැන සඳහන් කළොත්..
නිවසට හොරෙක් ආවොත් ඒ සංවේදනය අපට ලැබෙන උපකරණයක් මම හැදුවා. අපි කියමු නිදාගෙන ඉද්දී ගෙට හොරෙක් ආවොත් අපේ කාමරයේ තිබෙන සංවේදකයට (Senser) ඒ බව දැනෙනවා. මේ ක්‍රමයත් ආරක්ෂිතයි. ඒ වගේම මේ උපකරණය අතේ ගෙන යා හැකි විදිහට නිර්මාණය කර තිබෙන නිසා අවශ්යතැනකට රැගෙන යන්නත් පුළුවන්.
ගොවිබිමට වතුර අවශ්‍ය වුණොත්…
ඔබ ගොවිබිමෙන් දුරක හිටියත් වගා බිමට වතුර අවශ්‍ය නම් ඔබේ ස්මාර්ට් දුරකථනයට ඒ පණිවිඩය ලැබෙනවා. program කරන ලද app එකක් අන්තර්ජාලයට සම්බන්ධ කර තිබෙනවා. මේ ඇප් එකට සූර්ය කෝෂ බලයෙන් ක්‍රියා කරන පරිපථයක් සම්බන්ධයි. වගාබිමේ වතුර මට්ටම ගැන පණිවිඩ ඊ මේල් හරහා වගේම නොටිෆිකේෂන් ඔස්සේ ලැබෙනවා.
එවිට වතුර මෝටර් On/ off කරන්න පුළුවන්. මුදාහැරීමේ පහසුව තිබෙනවා. මේ උපකරණය අන්තර්ජාලයටත් සම්බන්ධයි. ඒ නිසා වගාබිමට නොගියත් පසේ තත්ත්වය, තෙතමනය වගේ දත්ත ලබා දී තිබෙන විදිහට දැනුම් දීම් අපේ ජංගම දුරකථනයට ලැබෙනවා. ලැබෙන පණිවිඩ අනුව වගාවට අවශ්‍ය සාධක හසුරුවා ගන්න පුළුවන්.
ඉවත ලන දෙයත් ප්‍රයෝජනයට ගන්නවා
මම මේස ලාම්පු නිර්මාණය කරනවා. එහිදී මම ජංගම දුරකථනවලින් ඉවත දමන බැටරි යොදා ගන්නවා. පිලමන්ට් ගහලා ගිය බල්බයක් දැල්වෙන්න මේ බැටරි බලය ඇති. මේස ලාම්පුවේ බල්බය රඳවන්න පොල් කටු යොදාගෙන තිබෙනවා. ඒ වගේම චාර්ජ් කිරීමෙන් පසු පැය 12 ක පමණ කාලයක් බලය තිබෙනවා.
මේ නිෂ්පාදන වෙනුවෙන් ඉල්ලුමක් ලැබෙනවාද?
දැනටමත් මේවා අලෙවි කරනවා. අවශ්‍ය අයට කුරියර් සේවා ඔස්සේ සේවාව ලබා දෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️