ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2024 මාර්තු 01 වැනි දින ප්‍රකාශයට පත්කළ ලිපියකට අනුව ලොව ජනගහනයෙන් සෑම අට දෙනෙකුගෙන් එක් කෙනෙකුම තරබාරු වීමේ අවදානමට ලක් වී ඇත. මෙම කරුණු සිහිතබාගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව කටයුතු කිරීම ආණ්ඩුවේ මෙන්ම ආහාර නිෂ්පාදකයින්ගේද වගකීම.
අධ්‍යයන තොරතුරු
ලැන්ස්ලෙට් වාර්තාව පෙන්වා දෙන්නේ 2022 දී බිලියන 1 කට වඩා ජනතාවක් අධික තරබාරුකමින් පීඩාවිඳින බවයි. වැඩිහිටියන් අතර තරබාරුකම 1990 සිට දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර වසර 5-19 අතර ළමුන් සහ නවයොවුන් පිරිස අතර තරබාරු බව සිව් ගුණයකින් වැඩිවී ඇත.
මේ වාර්තාවෙන් පෙන්වා දෙන වැදගත් කරුණ වන්නේ 2022 දී ලෝක වැඩිහිටි ජනතාවගෙන් 43% ක් අධික බරින් යුක්ත වූ බවය.
මන්දපෝෂණ අනුපාත පහත වැටී ඇති නමුත් විශේෂයෙන් අග්නිදිග ආසියාව සහ අප්‍රිකාවේ සහරා කලාප ආශ්රිත බොහෝ ස්ථානවල තවමත් මන්දපෝෂණය අභියෝගයක් බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
මන්දපෝෂණයත් හේතුවක්
අඩු බර සහ අධික බර අනුපාත දෙකම වැඩි රටවල් ලෙස පැසිෆික් සහ කැරබියන් දූපත් සහ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව හඳුනාගෙන ඇත. ප්‍රමාණවත් විටමින් හා ඛනිජ ලවණ හිඟකම හැරුණු කොට අධික බර සහ තරබාරුකමද මන්දපෝෂණයට හේතු වේ.
වයස අවුරුදු 5 ට අඩු ළදරු මරණවලින් අඩකට මන්දපෝෂණය හේතුවන අතර ඉන් බෝ නොවෙන රෝග වන හෘදවාහිනී සහ දියවැඩියාව මෙන්ම සමහර පිළිකාද ඇති කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම
ජීවිතයේ මුල් අවධියේ සිටම ආහාර, ශාරීරික ක්‍රියාකාරකම් සහ ප්‍රමාණවත් සත්කාරයන් හරහා තරබාරුකම වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සිදුකළ හැකි බව පර්යේෂණ ප්‍රතිඵල වලින් නිරාවරණය වෙයි.
තරබාරුකම මැඩලීමේ ගෝලීය ඉලක්ක සපුරාලීම සඳහා තම නිර්දේශවලට අනුකූලව කටයුතු කිරීම මහජන සෞඛ්‍ය ආයතන සහ රජයයන් මගින් සිදුකළ යුතු බව අවධාරණය කරන ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කරන්නේ ඔවුන්ගේ නිෂ්පාදන වල සෞඛ්‍ය බලපෑම් ගැන සැලකිලිමත්ව කටයුතු කරන ලෙසය.
නිදන්ගත රෝග
තරබාරුකම යනු සංකීරණ නිදන්ගත රෝගයකි. ඊට හේතුවන කරුණු හොඳින් වටහාගෙන ඇත. ප්‍රබල සාක්ෂි මත අර්බුදය පාලනය සඳහා කළයුතු මැදිහත් වීම්ද අවබෝධ කරගෙන ඇතත් ඒවා ක්‍රියාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2030 වසර දක්වා දිවෙන සැලැස්ම සඳහා මේ වන විට රටවල් 31 ක් කැමැත්ත දක්වා ඇත.
මූලික මැදිහත්වීම් අවශ්‍යයි
- මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමේ සහ සහාය දීමේ වැඩසටහන්
- දරුවන්ට හානිකර ආහාරපාන අලෙවිය නැවතීම.
- පාසල් ආහාර සහ පෝෂණ ප්‍රතිපත්ති ඇතිකර පාසල් ආසන්නයේ මේද, සීනි සහ ලුණු අධික නිෂ්පාදන නියාමනය.
- සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ප්‍රවර්ධනය කිරීම සඳහා මුල්‍ය සහ මිලකරණ ප්‍රතිපත්ති සැකසීම.
- නිෂ්පාදනවල පෝෂණ ගුණ ලේබල් කිරීම.
- සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ව්‍යායාම සඳහා ප්‍රජා අධ්‍යාපනය සහ දැනුවත් කිරීම.
- තරබාරුකම වැළැක්වීමේ සහ කළමනාකරණ සේවාවන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සමග ඒකාබද්ධ කිරීම.
යන ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කිරිම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කයයි. මේ සඳහා රටවල් ඒකාබද්ධ විශ්වීය ප්‍රවේශයක අවශ්‍යතාවද එක සේ වැදගත්ය.
( https://www.who.int/ ඇසුරෙන් )
සුනිල් අල්ගම ✍️