Disability – adjusted life years
පසුගිය දශක තුනක කාලයේදී ආඝාතය, ඩිමෙන්ෂියාව, ඉරුවාරදය, අපස්මාරය සහ ස්නායු පද්ධතියේ පිළිකා රෝග තත්ත්වයන් ඊට පෙර යුගයට වඩා 18% කින් ඉහළ ගොස් ඇති බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. 2021 වසරේදී ස්නායු රෝග තත්ත්වයන් නිසා ගෝලීය වශයෙන් බිලියන 3.4 ක ජනගහනයක් ජීවිත අවදානමට පත්ව සිටින අතර තවත් පිරිසක් මේ රෝග තත්ත්වයන් නිසා අපහසුතාවයට පත්ව සිටින බැව් Lancet Neurology සඟරාව මගින් ප්‍රකාශිත පර්යේෂණ වාර්තාවක සඳහන් වෙනවා. ස්නායු ආශ්රිත රෝග තත්ත්වයන් අතර ඉරුවාරදය ඉතා සුලබ තත්ත්වයක්. ඊට අමතරව ආතතිමය හිසරදයත් (Tension headaches) අද සුලබ බැව් පෙනී යන කරුණක්. 2021 වසරේදී ඉරුවාරදයට පත් රෝගීන් බිලියන 1.1 වාර්තා වන අතර ආතතිමය හිසරදයට පත් රෝගීන්ගේ සංඛ්‍යාව බිලියන දෙකක් බැව් වාර්තා වෙනවා.
වසංගතයක් ලෙසින් පැතිරෙන හේතුව
ස්නායු ආශ්රිත රෝග තත්ත්වය වසංගතයක් ලෙසින් පැතිරෙන බැව් සඳහන් කිරීමෙන් පමණක් පර්යේෂකයන් නිහඬ වුණේ නැහැ. මේ තත්ත්වයට බලපාන හේතු කීපයක්ද ඔවුන් විසින් හඳුනාගෙන තිබෙනවා. අද වන විට වියපත් ජනගහනයේ ඉහළ යෑම ගෝලීය වශයෙන් පවතින තත්ත්වයක්. පාරිසරික සෞඛය ගැටලු, අහිතකර ජීවන රටාව සහ අවදානම් සාධකවලට නිරාවරණය වීම මෙම ස්නායු රෝග සඳහා බලපාන බැව් ඔවුන් පෙන්වා දෙනවා.
ඇස්තමේන්තු කිරීමට DALY (Disability-adjusted life years)
මෙම තත්ත්වය ඇස්තමේන්තු කිරීම වෙනුවෙන් DALY (Disability-adjusted life years) මිනුමක් භාවිත කරනු ලැබුවා. මෙහිදී පුද්ගලයෙකුගේ ආයුෂ ප්‍රමාණය, ජීවත්වන කාලයේදී සිදු වුණ අකල් මරණ හෝ ආබාධිත තත්ත්වයට පත් වීම වැනි නිර්ණායකයන් යොදා ගත්තා.
පසුගිය වසර 30 ක කාලයක් පුරා ඔවුන්ගේ දත්ත එකතු කිරීම සිදු වුණා. එහිදී හඳුනා ගත් අන්දමට 1990 වසරේදී ස්නායු ආශ්රිත රෝග තත්ත්වයන් නිසා මිලියන 375 ක් මරණයට පත් වූ අතර 2021 වන විට මේ සංඛ්‍යාව 443 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ තත්ත්වය ලෝකයේ දුප්පත් රටවලට වැඩි බලපෑමක් ඇති කර තිබෙන බැව් මෙම අධ්‍යයනයේ කර්තෘ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොළය ආශ්රිත රෝග ඒකකයේ වෛද්‍ය ටෘන් ඩූමා සඳහන් කරනවා.
සමහර විට මේ තත්ත්වය දරුවාගේ උපත ආශ්‍රිතවත් සිදු වී තිබෙනවා. ඒ වගේම නව ජන්ම බිළිඳුන් සහ කුඩා දරුවන් සම්බන්ධයෙන්ද මේ තත්ත්වයේ බලපෑම් ඇති බැව් වෛද්‍ය ටෘන් පෙන්වා දෙනවා.
මොළයට සිදු වුණ අනතුරක් සමග ජීවත් වීම
පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ ආකාරයක ස්නායු රෝග තත්ත්වයෙන් පසුවන අතර මිලියන 2.6 කම ජීවත්වන්නේ මොළය ආශ්‍රිතව සිදු වුණ අනතුරක් හෝ කම්පන තත්ත්වයක් සමගින් බැව් මහා බ්‍රිතාන්‍යයේ මොළය ආශ්රිත සිදු කරන පර්යේෂණ මගින් පෙන්වා දෙනවා.
මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ පුද්ගලයන්ගෙන් 944,000ක් ඩිමෙන්ෂියා රෝග තත්ත්වයෙන් පසුවන අතර 2030 වසර වනවිට මේ තත්ත්වය තවදුරටත් ඉහළ නගින බවට පර්යේෂකයන් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට බැහැ. නමුත් වළක්වා ගැනීම වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමේ හැකියාව පවතින බැව් පර්යේෂකයන් සඳහන් කරනවා.
අවදානම් සාධක පාලනය කිරීම
මේ අන්දමින් ලෝකය ආබාධිත කරන රෝග තත්ත්වයන්ගෙන් මානව වර්ගයා ආරක්ෂා කර ගැනීමට නම් රෝගාබාධයන්ට හේතු වන අවදානම් සාධක පාලනය කිරීම ඉතාම වැදගත්. මෙහිදී ඔවුන් අවදානම් සාධක 18 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් අධි රුධිර පීඩනය ප්‍රධාන සාධකය ලෙස හඳුනා ගෙන තිබෙනවා.
අධිරුධිර පීඩනයෙන් ආරක්ෂා වීම යනු ගෝලීය වශයෙන් ආබාධිත කරන ආඝාත රෝග තත්ත්වයට පත් වීම සහ අකල් මරණවලට ගොදුරු නොවී ජීවිතය පවත්වා ගැනීමේ ආරක්ෂාව 84% ක් බැව් පෙන්වා දෙනවා.
එපමණක් නොව ඔබගේ රුධිරගත සීනි මට්ටම හිතකර අගයක පවත්වා ගැනීම මගින් ඩිමෙන්ෂියා රෝග තත්ත්වයට ගොදුරු නොවී ජීවත්වීමේ හැකියාව 15% ක් බැව් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා.
ප්‍රතිපත්ති සම්පාදකයන්ට වැදගත්
මේ අධ්‍යයනයේ කර්තෘ Jaimie Steinmetz සඳහන් කරන්නේ ගෝලීය වශයෙන් අපගේ මේ හඳුනා ගැනීම එක් එක් රටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉතා වැදගත් විය හැකියි. දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ජීවිත ආබාධිත බවට පත් කරන ස්නායු රෝග තත්ත්වයන්ගේ සංකුලතාවයන් බහුලයි.
ස්නායු ආශ්රිත රෝග තත්ත්වයන් ගැන ජනතාව දැනුවත් කිරීම සහ දැනට රෝග තත්ත්වයේ සිටින පුද්ගලයන් වෙනුවෙන් උපදේශන කාර්යන්හි අවශ්‍යතාවයත් හඳුනා ගත යුතුයි. ඇල්සයිමර් රෝග තත්ත්වය වෙනුවෙනුත් මේ හඳුනා ගැනීම් අනිවාර්යෙන්ම ආදේශ කළ යුතු බැව් මෙම අධ්‍යයනය ගැන අදහස් දක්වන මහා බ්‍රිතාන්‍යයේ ඇල්සයිමර් පර්යේෂණායතනයේ ප්‍රධානී වෛද්‍ය ලී මුරසාලින් සඳහන් කරනවා.
(Mail on line ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️