රන්සිළු ජයතිලක
රන්සිළු ජයතිලක නම කියූ සැනින් දැන් නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එසේ වීමට හේතු වූයේ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සවි එසවීමේ ඉසව්වලින් ලබාගෙන ඇති පදක්කම් සහ ජයග්‍රහණයි. මීට සතියකට විතර පෙර ඔහු විසින් එංගලන්තයේදී ලබාගත් තවත් ජයග්‍රහණයක් නිසයි. හරිහැටි පුහුණුකරුවෙකු හෝ නොමැතිව තරගයට පැය කිහිපයකට කලින් එංගලන්තයට ගොස් ලක් මව පදක්කමකින් සරසන්නට මේ යකඩ මිනිසාට හැකියාව ලැබී තිබේ.
රන්සිළු ළඟදීම ලබාගත් ජයග්රහණයෙන් කතාව පටන් ගමූ …
ඒ තමයි දැනට ලෝකයේ තියෙන උසස්ම සවි එසවීමේ ශූරතා තරගාවලිය. ඒකේ නම තමයි “ආනෝල්ඩ් සවි එසවීමේ තරගාවලිය”. මම ශ්‍රී ලංකාව සහ සමස්ථ ආසියාවම නියෝජනය කරමින් තමයි මේ තරගාවලියට සහභාගී වුණේ. තරගයේ විවෘත අංශයේ තුන්වන ස්ථානය මට දිනාගන්න පුළුවන් වුණා. ඒ කිලෝග්‍රෑම් 322.5 ක බරක් ඔසවමින්. ඒ වගේම ස්කොට් අංශයෙන් කිලෝග්‍රෑම් 280 ක සහ බෙන්ච් අංශයෙන් කිලෝග්‍රෑම් 130 ක දක්ෂතාවයක් පෙන්වන්න මට පුළුවන් වුණා.
මේ තරගාවලිය මාර්තු 15 සිට මාර්තු 17 දක්වා එංගලන්තයේ බර්මිංහැම්වල පැවැත්වුණා. මේ තරගාවලියේ තියෙන විශේෂම දේ තමයි තරගාවලිය සංවිධානය කරන කට්ටිය තමයි ක්‍රීඩකයන්ව තෝරලා ආරාධනා කරන්නෙ. ඒකට දැනට ලෝකයේ ඉන්න දක්ෂතම ක්‍රීඩකයන් 10 දෙනාව තමයි තෝරගන්නෙ. මටත් ඒ ආරාධනාව ලැබුණේ පහුගිය දෙසැම්බර් මාසයේ. එහෙම ආරාධානවක් ලැබෙයි කියලා මං ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ. මේ තරගාවලිය වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකටත් වඩා උඩින් තියෙන්නේ.
ජයග්රහණයෙන් පස්සෙ ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මගේ ජයග්‍රහණය ගැන ගොඩක් දෙනෙක් අතරට ගියේ සමාජ මාධ්‍ය නිසා. ගොඩක් දෙනෙක් මට සුබපතලා තිබුණා. ගොඩක් සතුටුයි ඒ ලැබුණු සුබපැතුම්වලට.
තරගයට යන්න කළින් මොකක්ද වුණේ?
මට සිද්ධ වුණ කරදරය තමයි අමාත්‍යාංශයෙන් අනුමැතිය දෙන්න පරක්කු වුණ එක. ඊටපස්සෙ මගේ වීසා එක එන්නත් පරක්කු වුණා. හැබැයි වාසනාවකට ක්‍රීඩා ඇමැති මැදිහත් වෙලා මගේ ඒ ප්‍රශ්නෙ විසඳලා දුන්නා. නැත්නම් මට මේ තරගාවලියටත් යන්න බැරිවෙනවා.කොහොමහරි මට වීසා එක හම්බුණේ 15 වැනිදා. ඊට පහුවැනිදා තමයි මම ලංකාවෙන් පිටත් වුණේ. පැය 23 ක වගේ දීර්ඝ ගමනකින් පස්සෙ මම තරගයට කෙලින්ම ගියා.
ඉවෙන්ට් එක තියෙන තැනටත් ගිහින් කිලෝමීටරයක් වගේ මට ඇවිදින්න වුණා රෙජිස්ටර් වෙන්න. මොකද මම එන්න පරක්කු වුණ නිසා කලින් දවසේ කරන්න තිබුණ වැඩ ඔක්කෝම කරන්න වුණේ තරගය තියෙන දවසේ. උදව්වටවත් කවුරුත් නැතුව මම ඒ හැමදේම තනියෙන් කරගත්තා. හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා සිංහ කොඩිය අතට අරගෙන මෙච්චර දුරක් එන්න කාපු කට්ට මතක් කළාම.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/03/FB_IMG_1711431428507.png)
තාත්තා නිසාද මේ ක්ෂේත්රයට යොමුවුණේ?
මුලින්ම කැමැත්ත තිබුණේ රග්බි ක්‍රීඩාවට යොමු වෙන්න. හැබැයි තාත්තගෙ කීම නිසා මම බර ඉසිලීමට යොමු වුණා. මගේ පුහුණුකරු වුණෙත් තාත්තා. එයත් ලංකාවට පදක්කම් ගෙනල්ල දුන්න දක්ෂ ක්‍රීඩකයෙක්.මුලින්ම මම අවුරුදු 7 දී තමයි තරගයකට සහභාගි වුණේ. අවුරුදු 13 වෙද්දි මට පුළුවන් වුණා නැෂනල් ටීම් එකට ඇවිල්ලා රෙකෝඩ් එකක් තියන්න. අවුරුදු 14 වෙද්දි මම සීනියර් ටීම් එකේ සාමාජිකයෙක් වුණා. ඒ ආපු තල්ලුව නිසා තමයි දැනටත් මම මේ ක්ෂේත්රයේ හැලහැප්පීම් මැද්ද මෙච්චර කාලයක් රැඳී ඉන්නේ.
රන්සිළු ලබාගත් අනෙක් ජයග්රහණයන් මතක් කළොත්
පොදු රාජ්‍ය මණ්ඩලීය ජයග්‍රහණ 3 ක් වසර 3 ක් ඇතුළතදී මම ලබාගෙන තිබෙනවා. ඒ 2015, 2017 හා 2019 දී. ඊට අමතරව ආසියානු තරගවල මම හය වතාවක් චැම්පියන් වෙලා තියෙනවා. ඒ 2015 වසරේ ඉඳලා. මට යන්න අනුග්‍රාහකයෙක් හිටියේ නැති නිසා අන්තිම ඒෂියන් මීට් එකට යන්න බැරි වුණා.
ඕස්ට්‍රේලියාවල සහ හොංකොංවලදී ඒෂියා පැසිෆික් තරග දෙකක් මම දිනලා තියෙනවා. අවසාන හොංකොං තරගයේදී මට මුදලින් ලක්ෂ 8 ක් පමණ වියදම් වුණ නිසා ඒ එක්කම තිබ්බ ඒෂියන් මීට් එකට යන්න බැරි වුණා මුදල් ප්‍රශ්න නිසා.අනුග්රාහකයකු නැති නිසා ලොකු වියදමක් මට තනියම දරන්න අමාරුයි. ගියා නම් මට රන් පදක්කම දිනන්න තිබුණා. ඒ වගේ ලේසියෙන් පදක්කම් ගෙන්න තිබුණ අවස්ථා ගොඩක් මට මිස් වෙලා තියෙනවා.
ඊට අමතරව දකුණු ආසියානු ශූරතාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බර ඉසිලීම්වලින් මම ලංකාවට පදක්කම් ගෙනල්ල තියෙනවා. සමස්ථයක් විදිහට ගත්තොත් ජාත්‍යන්තර පදක්කම් 60 කට වැඩි ප්‍රමාණයක් මම මේ වෙද්දී ලංකාව වෙනුවෙන් දිනලා තියෙනවා. ඒ වගේම ආසියානු වාර්තාවක් මගේ නමට තියෙනවා. එකදිගට අවුරුදු 22 ක් මම නැෂනල් චැම්පියන් වුණා.
කොහොමද අභියෝග මතින් යන ජීවිතය?
අභියෝග නම් ගොඩක් තියෙනවා. ස්පෝන්සර්ශිප් නැති එක ලොකුම ගැටළුව. ගොඩක් තරගවලට සහභාගී වුණේ මගේ වියදමෙන්. ළඟදී තිබුණ තරගයටත් මට ලක්ෂ 12 ක් වගේ වියදම් වුණා.ඒ වගේම මම සහභාගී වෙන හැම තරගයකටම වගේ එන්නෙ ප්‍රොෆෙෂනල් ක්‍රීඩකයෝ.
ඒ හැම ක්‍රීඩකයෙක්ටම පුහුණුකරුවෝ කිහිපදෙනෙක් ඉන්නවා. එයාලට කෑම දෙන්න වෙනම පිරිස්, උදව් කරන්න වෙනම පිරිසක් ඉන්නවා. නමුත් මම තනියම තමා හැම තරගයකටම සහභාගි වෙන්නෙ. ඒ හැමෝටම ක්‍රීඩා කරනවාට මුදල් ගෙවනවා. අපි ඉන්ෂූරන්ස් එකක්වත් නැතිව ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒවගේ පිරිසක් එක්ක තරග කරන එක ලොකු අභියෝගයක්.
රන්සිළුගේ පවුලේ අය ගැනත් කියන්න
මම විවාහකයි. දැන් මට දුවෙක් ඉන්නවා. එයාට අවුරුදු දෙකහමාරයි. අපි පදිංචි වෙලා ඉන්නේ මහරගම. එයලගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයලාගෙ උදව් නැතුව කවදාවත් මට මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නැහැ.හැබැයි මේ ක්‍රීඩා කටයුතු නිසා මට එයාලව ගොඩක් මඟ හැරෙනවා. එයාල උදේ නැගිටින්න කලින් මම මගේ වැඩවලට යනවා. එයාලා රෑ නිදාගත්තට පස්සෙ මම ගෙදර එන්නෙ. එයාල එක්ක යන්න තියෙන ට්‍රිප්, පාටි, වෙඩින් වගේ ඒවා මට මිස් වෙනවා. ඒත් එයාලා ඒ හැමදේම තේරුම් අරගෙන මට සපෝට් කරනවා.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/03/Ransilu-2-1.png)
රන්සිළු ඉගෙන ගත්තේ කොහෙන්ද?
මම ඉගෙන ගත්තෙ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. දැනට පාසලක රග්බි පුහුණු කරුවෙක් විදිහට මගේ රැකියාව කරගෙන යානවා.
ඔබේ ක්ෂේත්රයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නෙ නැද්ද?
ඇත්තටම මේ ක්‍රීඩාවට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය හරිම අඩුයි. මම වගේ දක්ෂ ක්‍රීඩකයෝ තව ගොඩක් ඉන්නවා. රාජ්‍ය සහාය මීට වඩා ලැබුණොත් අපට මීට වඩා පදක්කම් මේ රටට ගේන්න පුළුවන්.2028 වෙද්දි සවි එසවීම ඔලිම්පික්වලටත් ඇතුළත් වෙනවා. අපට ඔලිම්පික් පදක්කමකට ලේසියෙන් යන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි මේක. ක්‍රීඩිකාවන්ගේ පැත්තෙන් අපිට දක්ෂ ක්‍රීඩිකාවෝ බොහොමයක් ඉන්නවා.
අපට අඩුම ගානේ මාසික ගෙවීමක්වත් ලබා දෙනවා නම් වටිනවා. අත්‍යවශයම දේ වෙන්නේ තරගවලට සහභාගි වෙන එක. විදෙස් තරගවලට සහභාගි වෙන්න වෙන්න තමා අත්දැකීම් සහ අපේ රෑන්ක් එක ඉහළ යන්නේ. ඒ ටිකවත් ලැබෙනවා නම් අපිට ඉස්සරහට යන එක හරිම ලෙහෙසි වැඩක්.
රන්සිළුගේ අනාගත බලාපොරොත්තු ගැනත් කියන්න
වර්ල්ඩ් චැම්පියන් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව නැවතවාරයක් ඒෂින් මෙඩ්ල් එකක් ලබාගන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ගෝලයෝ ටිකක් හදන්නත් ඕනෙ. අලුත් පරම්පරාවට මම උදව් කරනවා.
අර්චිත ඉඳුවර ✍️