ප්ලාස්ටික් පොලිතින් ගැන කතා කිරීමේදී අපි 3R සංකල්පය ගැන කතා කරනවා. reuse,reduce සහ recycline.නමුත් මේ අදියර තුනෙන් ඔබ්බට කතා බවට හේතු වුණ තවත් සංකල්පයක් තිබෙනවා.ඒ upcycline.නමුත් මේ සංකල්පය තවමත් සමාජගත වී නැහැ.
අපි අයිස්ක්‍රිම් එකක් කාලා එහි කෝන් එකත් කනවා. එතැනින් කිසිම දෙයක් පරිසරයට එකතු වෙන්නේ නැහැ. ඒ වගේ ක්‍රමවේදයක් මගින් පාරිසරික ගැටලු අවම කරන්න පුළුවන්. දැනට අපේ රටේ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි දේවල් තිබෙනවා. ඒ වගේම කළ නොහැකි දේවල් තිබෙනවා. දවස පුරාම එකතු වන කුණු ටොන් ගණනක් බැහැර කරන්න අවශ්‍යයි. ප්‍රතිචක්‍රිකරණය කළ නොහැකි කුණු පුත්තලමට අරගෙන ගිහින් පුච්චනවා. එතැනින් ගැටලුව අවසාන නැහැ. හැමදාම කුණු එකතු වෙනවා.නමුත් බැහැර කරන අපද්‍රව්‍ය අමුද්‍රව්‍යයක් විදිහට යොදාගෙන තවත් දෙයක් සමාජයට ලබා දෙන්න හැකියාවක් තිබෙනවා නම් පාරිසරික ගැටලුවලට යම් විසඳුමක් ලැබෙනවා.
ප්‍රතිචක්‍රිකරණය ගැන දන්නවා. නමුත් upcycline ගැන දන්නවාද?
අපි ප්රතිචක්රිකරණයේදී ප්ලාස්ටික්, පොලිතින් වැනි නොදිරන ද්‍රව්‍ය වෙනත් දෙයක් වෙනුවෙන් යොදා ගැනීම සඳහා භාවිත කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් යම් තාක්ෂණ ක්‍රමවේදයකට අනුව වෙන් කරගත් නොදිරන ද්‍රව්‍ය සියුම් කැබලිවලට සකස් කරගෙන ඒවා වෙනත් අතුරු නිෂ්පාදනයක් සකස් කිරීමේ අමුද්‍රව්‍ය විදිහට යොදා ගන්නවා. නමුත් upcycline ක්‍රමය ඊට වෙනස්. මෙහිදී ඉවත දමන ප්ලාස්ටික් පොලිතින්ම අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන අලුත් නිර්මාණයක් බිහි කරනවා. මේ ක්‍රමයේදී බෙහෙවින්ම තමන්ගේ නිර්මාණශීලී හැකියාව වැදගත්.
ආර්. එම් ජයන්ත කුමාරසිරි මෙම upcycline ක්‍රමය භාවිත කරමින් තවත් පරිසර හිතකාමී ව්‍යවසායකයෙක් ලෙසින් අද වන විට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. බණ්ඩාරවෙල උපත ලද ඔහු උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව පොලිතින් ප්ලාස්ටික් ආශ්රිත කර්මාන්තශාලා කීපයකම සේවය කළා.
මේ විදිහට සේවය කරන අතරවාරයේ ඔහුගේ අත්දැකීම් පාදක කරගෙන upcycline නිර්මාණශීලී චින්තනය අවදි වුණා කිව්වොත් නිවැරදියි. මම ප්ලාස්ටික් පොලිතින් ආශ්රිත කර්මාන්ශාලාවක සේවය කරද්දී දුටුව එක් දෙයක් තිබෙනවා. මේ ආයතන වලින් දවසකට ලක්ෂ දහයක් පමණ නිෂ්පාදන වෙළඳපොළට එකතු කරනවා. නමුත් මේවා බැහැර කරන නිසි ක්‍රමවේදයක් නැහැ. ස්වභාවික ජීරණ ක්රියාවලිකින් දිරාපත් වන්නෙත් නැහැ.ඒ වගේම සමහර නිෂ්පාදන ප්‍රතිචක්‍රිකරණය කිරීමටත් අපහසුයි. විශේෂයෙන් ඇළුමිනියම් ලේයර් ඇති දේවල් ප්‍රතිචක්‍රිකරණය කිරීමත් අපහසුයි.
මීතොටමුල්ල කුණු කන්ද
දැනට වසර කීපයකට පමණ පෙරාතුව මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමේ සෝචනීය සිද්ධිය අපට මතකයි. ජීවිතහානි පවා සිදු වුණා. අපි නිසි ක්‍රමවේදයකට අනුව අපද්‍රව්‍ය බැහැර කරනවා නම් මේ වගේ විනාශයක් සිදු වෙන්නේ නැහැ නේද කියලා හිතුණා. ඒ වගේම ඉවත දමන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණයට වඩා ඒවායින් තවත් දෙයක් නිෂ්පාදනය කිරීමට තිබෙන හැකියාව ගැන මගේ හිත යොමු වුණා.
ගාල්ලේ මගේම කර්මාන්තශාලාවක්
මේ වෙන විටත් මම ගාල්ලේ recycline කර්මාන්තශාලාවක් පවත්වාගෙන ගියා. මෙහිදී මට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලු ඇති වුණා. මගේ පදිංචිය කටාන ප්‍රදේශයේ නිසා ඒ කර්මාන්තශාලාව වසා දමා මම නිවසේ ඉඳගෙන විවිධ recycline නිර්මාණ කරන්න පටන් ගත්තා.
ඕස්ට්‍රේලියාවේ ව්‍යාපෘතියක්
මම Western Australia විශ්වවිද්‍යාලයේ සිදුකළ Waste for life ව්‍යාපෘතියේ තොරතුරු සොයා ගත්තා. මෙම ආයතනය විසින් ලාම්පු ආවරණ, ඩෙස්ක්, බංකු සහ සපත්තු වැනි විවිධ ප්රතිචක්රිකරණ සහ upcycline කටයුතු සිදු කරනවා. මම ඒ ආයතනයට විද්‍යුත් පණිවිඩයක් යවමින් මාත් upcycline කටයුතු ගැන උනන්දු වන කෙනෙක්. මේ වන විටත් ඒ ආශ්රිත කර්මාන්තයක නිරත වෙලා සිටින බවත් දන්වා යැව්වා. නමුත් අවුරුද්දක් පමණ යන තෙක් පිළිතුරක් ලැබුණේ නැහැ.
විද්‍යුත් තැපෑලට පිළිතුරක්
වසර එකහමාරකට පමණ පසුව මට මේ ආයතනයෙන් විද්‍යුත් තැපෑලට පිළිතුරක් ලැබුණා. මේ කාලයේ අපේ රටේ ශිෂ්‍යාවක් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.
අද වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රන්දිකා අංජලී පීරිස් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලය සහ මගේ ඉල්ලීම අතර සම්බ්න්ධීකරණය ගොඩනඟමින් මට උදව් කළා. ඇයගේ සහයෝගය නොලැබුණා නම් අද මට “Katana Upcycline” ගැන කියන්න කතාවක් නැති වෙන්න තිබුණා.
ඔවුන් මම ඉදිරිපත් කළ ව්‍යාපෘතිය බාර ගත්තා. Western Australia විශ්වවිද්‍යාලයෙන් මගේ සංකල්පය වැඩි දියුණු කිරීම වෙනුවෙන් තව දුරටත් පුහුණුවක් ලබා දෙන්න තීරණය කළා. මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා දින හයක පුහුණුවක් මම ලබා ගත්තා.මට මුලින් ඉවත දමන අපද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලු තිබුණා. අමුද්‍රව්‍ය නැතුව යමක් කරන්න අපහසුයි. නමුත් කල්යත්ම මගේ නිෂ්පාදන දැන හඳුනා ගැනීමත් සමග අමුද්‍රව්‍ය ගැනත් ගැටලුවක් ඇති වුණේ නැහැ.
upcycline වලින් සෑදූ ෆයිල් කවරය
upcycline ක්‍රමය යොදාගෙන මම ෆයිල් කවර නිර්මාණය කළා. විවිධ රැස්වීම්, සම්මන්ත්‍රණවලට මගේ ආයතනයෙන් නිෂ්පාදනය කළ ෆයිල් කවර වෙනුවෙන් ඇණවුම් ලැබුණා. එක් වතාවක මගේ ෆයිල් කවර ඇගයීමට ලක් කළ ඇමරිකානු එම්බසිය සහ USAID ආයතනය මේ කටයුතු පහසු කරන යන්ත්‍ර ලබා දුන්නා.
විදේශ ඇණවුම්
විදේශිකයන් මේ upcycline නිෂ්පාදනවලට හරිම කැමැතියි. ෂැංග්‍රිලා වැනි හෝටල්වල මගේ upcycline නිෂ්පාදන ප්‍රදර්ශනයට තිබෙනවා. මේවා දැක්කාම විදේශිකයන්ගෙන් ඇණවුම් ලැබෙනවා. ඇමරිකාව, ස්විඩනය, ජපානය වැනි රටවල්වලින් ඇණවුම් ලැබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️