මුලින්ම හිතන්නකෝ අපි මොනවම හරි දේකට දරුවෙක්ව මෝටිවේට් කරන්න ඕන කියලා හිතන්නෙ ඇයි? අපි හිතමුකෝ දරුවෙක්ව අධ්‍යාපනයට යොමු කරන්න, දරුවට කෑම ටික කවාගන්න, පිරිසිදු කරන්න වගේ දේවල් වලට දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නවා ඒ දේවල් නොකළොත් දරුවට දඬුවම් කරන්න. එහෙමත් නැත්නම් ඔයා මේක කළොත් මං ඔයාට මේ දේ අරන් දෙනවා, පාක් එක්කන් යනවා කියලා කියන්න.
ළමයව දෙයක් කරන්න මෝටිවේට් කරන්නේ එක්කෝ දඬුවමක ස්වරූපයෙන් හෝ යමක් ලබාදෙන පොරොන්දුවකින්. මේක අපි කතා කළ යුතුම මාතෘකාවක්. යම්කිසි දෙයක් වෙනුවෙන් දරුවෙකුට දඬුවම් කිරීම ලෝකෙම ප්‍රතික්ෂේප කළත් ලංකාවේ අම්මල තාත්තලට නම් තාමත් ඒක බැරි වෙලා තියෙනවා. තමන්ගේ ආතතියත් ඊටපස්සේ යන්නේ දඬුවමක් විදිහට දරුවගේ පිටින්.
මේ කිසිම දෙයක් නැතුව දරුවන්ගෙන් වැඩ ගන්න පුළුවන්. අනාගතය වෙනුවෙන් දරුවාව සූදානම් කරන්න පුළුවන්. ඔයාට ඉන්නේ අමනුස්ස දරුවෙක් නෙවේනේ. මනුස්ස දරුවෙක්. මනුස්ස දරුවෙක්ගේ ස්වභාවය තමයි කුතුහලයෙන් යුක්ත වීම.
මේ ලෝකෙ ගැන, ජීවිතය ගැන, තමන්ගේ ශරීරය ගැන, වටපිටින් ඇහෙන ශබ්ද ගැන ඉගෙන ගන්න හරි ආසයි. එහෙම නැති වුණානම් කොහොමද දරුවෙක් පුංචි කාලෙ ඉඳන් එයාට ඇහෙන භාෂාව කතා කරන්න පුරුදු වෙන්නේ?
දරුවෙක්ට කෑම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්නේ. එතකොට කෑම කවාගන්න දරුවෙක්ව මෝටිවේට් කරන්න ඕනේ කියලා හිතනවනම් ඒක හරිම මෝඩකමක්. දරුවො බඩගිනි වුණාම කනවා. මේකට මේ ලිපිය කියවන ගොඩක් දෙමාපියෝ විරුද්ධ වෙයි.
නමුත් අම්මලම හිතලා බලන්න දරුවෙක්ගේ පස්සෙන් පන්න පන්න කවන්න අම්මලා කොච්චර වෙහෙසක් ගන්නවද? දරුවටත් ඒක කොච්චර වදයක්ද කියලා. අන්තිමට අම්මට කේන්ති ගිහින් තමයි කෑම කවන වැඩේ නතර වෙන්නේ. එහෙම වෙන්නේ ඔබ දරුවාගේ කෑම එක ගැන හිතන විදිහ නිසා.
දරුවෝ කන්න ආසයි දෙමව්පියෝ කන විදිහටම එක මේසෙ වාඩිවෙලා. නමුත් දරුවන්ට අම්මලා කවන්නෙ වෙනම වෙලාවක, වෙනම කෑම ජාති ඔබ හොඳට අවධානයෙන් දරුවෙක් දිහා බලන් ඉන්න. එයාලා හරි කැමතියි වැඩිහිටියෝ කරන වැඩ කරන්න. වැඩිහිටියන්ගේ වැඩ වලට උදව් කරන්න. දරුවට වෙනම කෑම හැදුවට කමක් නෑ. ඒත් ඔයාට පුළුවන් නම් දරුවත් ඔයාලා එක්කම වාඩිකරවගෙන කෑම කන්න දරුවා ඒකෙන් සතුටු වෙනවා. ඒ නිසා දරුවන්ට කැවීම සම්බන්ධයෙන් තියෙන ආකල්ප වෙනස් කරගන්න.
අම්මලා ඊළඟට දරුවන්ව මෝටිවේට් කරන්නෙ අධ්‍යාපනයට. දරුවෝ පුංචි කාලෙ නිතරම ප්‍රශ්න අහනවනෙ. එකම ප්‍රශ්නෙ ආයෙ ආයෙ අහනවා. එහෙම ප්‍රශ්න අහන ගමන් දරුවට ඉගෙනගන්න දුන්නොත් ඉගෙන ගන්න අවශ්‍ය වෙන අභිප්‍රේරණයත් දරුවට නිකන්ම ලැබෙනවා.
එහෙම නැතුව අපිට ඕන දේම කරන තත්ත්වෙට දරුවා ගෙනාවොත් විතරයි දරුවට ස්වභාවයෙන් එන අභිප්‍රේරණය නැති වෙලා යන්නේ. එහෙම වුණාම තමයි සැර කරන්න, ගහන්න, තෑගි දෙන්න වගේ උපක්‍රම පාවිච්චි කරන්න වෙන්නෙත්.
නමුත් ඔයාට ඉන්නේ පුංචිම දරුවෙක් නම් එයා එක්ක එකතු වෙලා යම් වැඩක් කළොත් එයා අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත් පුළුවන් අඛණ්ඩව දරුවා තුළින්ම අධ්‍යාපනයට එන අභිප්‍රේරණය පවත්වගෙන යන්න. එහෙම නැත්නම් ඔබට වෙන්නේ දරුවට ගහන්න. එහෙම නැත්නම් තෑගි දෙන්න. මේ ක්‍රම දෙකම වැරදියි.
මොකද ඔබ දරුවාව අනවශ්‍ය විදිහට ප්‍රශංසා කළොත්, තෑගි දෙන්න ගියොත් දරුවා ඒ දේ කරන්නේ තෑගි ගන්න විතරයි. දරුවගේ අවධානය තෑගි ගැනීම මිසක් අධ්‍යාපනයට හෝ ආහාරයට නොවේ.ඒ වගේම දඬුවම් කළොත් අනවශ්‍ය පීඩනයක් වගේම මොළය ආතතියට පත්වීමක් වෙනවා. ආතතියට පත්වුණ දරුවෙකුට ඉගෙනගන්න අපහසුයි. කොයි වෙලෙත් ඉන්නේ අම්මා කොයි වෙලේ බනියිද, ගහයිද කියන බයෙන්.
එවැනි දරුවෙකුට ඉගෙනගැනීමේ හැකියාවත් ඉතාමත්ම අඩුවෙනවා නිදහසේ සතුටින් හැදෙන දරුවෙකුට වඩා. ඒ නිසා ස්වභාවික අභිප්‍රේරණයෙන් දරුවට හැදෙන්න ඉඩදෙන්න. එතකොට අධ්‍යාපනයටත්, කන්න බොන්නත් දරුවට බල කරන්න බොරු මෝටිවේශන්ස් දෙන්න ඕන නෑ. ඒ ස්වභාවික අභිප්රේරණයෙන්ම දරුවා දරුවගේ අනාගතය සාර්ථක කරගනී.
මනෝවිද්‍යාඥ
සමිතා ඇතුල්දොරආරච්චි
එරංදි කෞශල්‍යා ✍️