යම් අයෙක් ඉඩමක් මිලදී ගැනීමේදී ඒ සඳහා විශාල මුදලක් වැය කළ යුතු වෙනවා. එසේ විශාල මුදලක් කැපකර මිලදී ගන්නා ඉඩම සඳහා තමන් වෙත හොඳ හිමිකමක් ලැබේද? තමන් වංචාකාරී විකුණුම්කරුවෙකුට හසුවී ඇද්ද? නැතහොත් එම මිලදී ගත් ඉඩම රජය විසින් අත්පත් කර ගැනීමට නියමිත ඉඩමක් නොවන බවටත් තහවුරු කරගන්නේ කෙසේද? ආදී ලෙසින් ගැටලු රාශියකට මෙවැනි අවස්ථාවකදී මුහුණ දීමට එම පුද්ගලයාට සිදුවනු ඇත.
ඉඩමක නියම හිමිකමක් නොමැතිව ව්‍යාජ හිමිකරුවන් ලෙස පෙනී සිටිමින් ඉඩම් විකුණන අවස්ථා තිබේද?
විදෙස් ගත වී ඇති අයිතිකරුවන්ගේ ඉඩම් හෝ වෙනත් දුර බැහැර ප්‍රදේශවල පදිංචිව සිටින අයිතිකරුවන්ගේ ඉඩම් සඳහා විවිධ පුද්ගලයින් ව්‍යාජ ඔප්පු සකස් කරමින්, තමන් එම ඉඩමේ නියම අයිතිකරු ලෙසින් පෙනී සිටිමින් ඉඩම් විකිණීම සිදු කරන අවස්ථා වර්තමානයේ බොහෝ දැක ගත හැකිය.
තමා මිලදී ගනු ලබන ඉඩම සැබෑ අයිතිකරුගෙන්ම මිලදී ගනු ලබයිද යන්න තහවුරු කර ගන්නේ කෙසේද?
ඉඩමක සැබෑ අයිතිකරු හඳුනාගැනීම සඳහා ඔබ විසින් මිලදී ගැනීමට අපේක්ෂිත ඉඩමේ පහත සඳහන් ලේඛන හැකි තරම් ප්‍රමාණයක් විකුණුම්කරු වෙතින් ලබා ගත යුතුය. මෙම ලේඛනවල අදාල ඉඩමේ අයිතිකරු හෝ පූර්වගාමී අයිතිකරුවන්ගේ නම් සඳහන් වී ඇත්නම් එම ඉඩම/ දේපල අදාළ අයිතිකරුගේ බව තහවුරු කර ගත හැකි එක් සාධකයකි.
ඉඩමේ වර්තමාන අයිතිකරුට ඉඩම හිමි වූ ඔප්පුවේ පිටපතක්
මෙම ඔප්පුවේ සඳහන් තොරතුරු පරික්ෂා කිරීම මගින් අදාල ඉඩම සඳහා වර්තමාන අයිතිකරුට නිසි පරිදි හිමිකම ලැබී ඇති ඉඩමක්ද යන්නත් එම ඔප්පුව ඉඩම් ලියපදිංචි කිරීමේ කාර්යාලයේ නිසි පරිදි ලියාපදිංචි කර ඇති ඔප්පුවක්ද යන්නත් දැන ගත හැකිය.
එම ඔප්පුවට පෙර ලියන ලද ඔප්පු ඇත්නම් ඒවායේ පිටපත්
මෙම ඔප්පු මගින් වර්තමාන අයිතිකරුට පෙර අයිතිකරුවන් පිළිබඳව හා එම ඉඩම නිසි පරිදි හිමිකරුවන්ට හිමිකාරීත්වය ලැබී ඇත්ද යන්න මෙමගින් පරීක්ෂා කර තහවුරු කරගත හැකිය.
ඉඩම සඳහා අනුමත කරන ලද මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
මිනින්දෝරු සැලැස්ම මගින් අදාල ඉඩම සම්බන්ධව ඔප්පුවේ සඳහන් ඉඩමේ ප්‍රමාණයම භූමියේ පවතින්නේද යන්න තහවුරු කර ගත හැකිය.
ඉඩමේ යම් ගොඩනැගිල්ලක් ඇත්නම් එයට අදාල ගොඩනැගිලි සැලැස්මේ පිටපත්
ඉඩමේ පවත්නා නිවසක් හෝ වෙනත් ගොඩනැගිල්ලක් සඳහා අනුමත ගොඩනැගිලි සැලැස්මක් පවතින්නේ නම් අදාල පළාත් පාලන බල ප්‍රදේශය තුළ අනුමත සීමාවන් තුළ පවත්නා ගොඩනැගිලි සැලැස්මක් බව තහවුරු කර ගත හැකිය.
පළාත් පාලන ආයතනය මගින් ලබාගන්නා ලද අනුකුලතා සහතිකයේ පිටපත්
මෙමගින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් පදිංචිය හෝ වෙනත් භාවිතයක් සඳහා සුදුසු තත්ත්වයේ පවතින්නේද යන්න තහවුරු කර ගත හැකිය.
පළාත් පාලන ආයතනය මගින් ලබාගන්නා ලද නොපවරා ගැනීමේ සහතිකයේ පිටපත්
මෙමගින් යම් යම් ප්‍රදේශවල පවත්නා ඉඩම් රජයේ විශේෂ සංවර්ධන ව්‍යාපෘති සඳහා පවරා ගැනීමට තෝරාගෙන ඇති හෝ තෝරාගත හැකි වන්නේද යන්න තහවුරු කර ගත හැකිය.
පළාත් පාලන ආයතනය මගින් ලබාගන්නා ලද වීදි රේඛා සහතිකයේ පිටපත්
අදාල ඉඩම හෝ ඉන් කොටසක් මාර්ග රක්ෂිතයට අයත් වන්නේද යන්න මෙමගින් තහවුරු කර ගත හැකිය.
පළාත් පාලන ආයතනය මගින් ලබාගන්නා ලද ගොඩනැගිලි රේඛා සහතිකයේ පිටපත්
අදාල ඉඩම තුළ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමතබිම් ප්‍රමාණය මෙමගින් තහවුරු කරගත හැකි අතර අපේක්ෂිත ඉදිකිරීමක් සඳහා ඉඩම ප්‍රමාණවත් වන්නේද යන්න කල් ඇතිව තහවුරු කර ගත හැකිය.
පළාත් පාලන ආයතනය වෙත වරිපනම් බදු ගෙවන ලද කුවිතාන්සි පත්
කාලයක් තිස්සේ වරිපනම් බදු ගෙවීම සිදුකිරීම හා එහි ඉඩමේ වර්තමාන අයිතිකරු හෝ පූර්වගාමී අයිතිකරුවන්ගේ නම් සඳහන් වීම මගින් අයිතිය තහවුරු කර ගත හැකිය.
ඉඩමේ වර්තමාන අයිතිකරුගේ වලංගු ජාතික හැඳුනුම්පතේ පිටපතක්
ජාතික හැඳුනුම්පත මගින් පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකිය.
නිසි පරිදි ලියාපදිංචි කරන ලද ව්‍යාජ ඔප්පු පැවතිය හැකිද?
ව්‍යාජ නොතාරිස්වරුන් විසින් ලියා සහතික කරන ලද ඔප්පු පැවතිය හැකි අතර එම ඔප්පු ප්‍රාදේශීය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්ඉරුවල නිසි පරිදි ලියාපදිංචි කර තිබිය හැකිය. අදාල ඔප්පුවේ සඳහන් නොතාරිස්වරයාගේ තොරතුරු අනුව ඔහු විසින් ප්‍රාදේශීය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ලබා දී ඇති දෙවන පිටපත පරික්ෂා කිරීම මගින් එම ඔප්පුව නොතාරිස්වරයා විසින් ලියා සහතික කරන ලද සත්‍ය ඔප්පුවක්ද යන්න තහවුරු කර ගත හැකිය.
ඉඩමේ වර්තමාන හිමිකරුගේ ඔප්පුවට පෙර හිමිකරුවන්ගේ අයිතිය පරික්ෂා කරන්නේ කොහොමද?
මේ සඳහා ප්‍රාදේශීය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් වසර 30 ක පමණ පත්ඉරු පරීක්ෂාවක් සිදුකිරීම මගින් පසුගිය වසර 30 ක් තුළ ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව තහවුරු කරගත හැකිය.
උකස්කරයක් හෝ ජීවිත භුක්තියකට යටත් ඉඩමක්ද යන්න පරීක්ෂා කරන්නේ කොහොමද?
උකසක් පවතින ඉඩමක් හෝ ජීවිත භුක්තියකට යටත් ඉඩමක ඒ බව ඔප්පුවේ මෙන්ම පත්ඉරුවේද සටහන් කර ඇත. එහෙත් පසුව ලියන ලද ඔප්පුවක් මගින් උකස්කරය හෝ ජීවිත භුක්තිය පිළිබඳව සඳහන් නොකර ලියා තිබිය හැකි අතර ඔප්පුව පමණක් පරික්ෂාවෙන් එය හඳුනාගත නොහැකිය. ඒ නිසා මෙහිදී ඇති විය හැකි ගැටළුකාරී තත්ත්වයන් වළක්වා ගැනීමට පත්ඉරු පරීක්ෂාව සිදුකළ යුතුය.
ඇටෝර්නි බලපත්‍රයක් මගින් විකුණනු ලබන ඉඩමක් මිලදී ගැනීම ආරක්ෂිතද?
බොහෝවිට ඉඩමක අයිතිකරු විදේශගතව සිටින බව දක්වමින් වෙනත් පුද්ගලයකු වෙත පවරන ලද ඇටෝර්නි බලපත්‍රයක් මගින් ඉඩම් විකිණීම සිදුවන ආකාරයක් දැක ගැනීමට ලැබේ. මේ වගේ අවස්ථාවක අදාල ඇටෝර්නි බලපත්‍රය නිසි පරිදි ලියාපදිංචි කර ඇතිද හා වලංගුව පවත්න්නේද යන්න පිළිබඳව රෙජිස්ටාර් ජෙනරල් දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යය වේ.
ඉඩමක් මිලදී ගැනීමේදී නීතිඥවරයකු වෙතටම යා යුත්තේ ඇයි?
ඉඩමක් මිලදී ගැනීමේදී හැකිතාක් දුරට ගැණුම්කරු විසින්ම නොතාරිස් කටයුතු සිදු කරන නීතිඥවරයකු සම්බන්ධ කර මිලදී ගැනීමේ ඔප්පු ලිවීම වඩාත්ම හිතකර හා ආරක්ෂාකාරී ක්‍රමවේදය වේ.
මීට ඉහත සඳහන් කර තිබූ ඉඩමේ වර්තමාන අයිතිකරුගෙන් ලබාගන්නා ඔප්පු ඇතුළු අනෙකුත් ලේඛන තමාගේ නීතිඥවරයා වෙත ලබා දීමෙන් එම නීතිඥවරයාට හැකි වෙනවා.
ඉඩමට අදාල පත්ඉරු පරික්ෂාවට ඉඩමේ පෙළපත පරික්ෂාවට වගේම කලින් ලියා ඇති ඔප්පු ව්‍යාජ නොවන සත්‍ය ඔප්පුද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. එවැනි සොයා බැලීමකින් පසු මිලදී ගනු ලබන ඉඩමකින් ගැණුම්කරුට කිසිම ගැටළුවකට මුහුණ දීමට සිදුවන්නේ නැහැ.
එබැවින් නැවතත් අවධාරණය කරන්නේ සෑම විටම තමා වංචාකාරී පුද්ගලයන්ට හසු නොවීම සඳහා ඔබ විසින් නොතාරිස් කාර්යයන් සිදු කරනු ලබන නීතිඥවරයෙකු වෙත යාම වඩා ආරක්ෂිත වේ.
නීතිඥ අංජුල බණ්ඩාර ✍️