අපේ සිරුරේ සම බාහිර පරිසරයෙන් ඇති විය හැකි හානිවලින් ආරක්ෂාවක් ලබා දෙනවා. විවිධ හේතුන් නිසා සමට ආරක්ෂාව ලබා දීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසමතුලිතතාවයක් නිසා සමේ ප්‍රදාහයන් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඕනෑම වයසකදී චර්ම රෝග තත්ත්වයන් ඇති විය හැකි අතර කෙටි කාලයකින් සුවය ලැබෙන්න පුළුවන්. සමහර විට නිදන්ගත තත්ත්වයක් දක්වා පැවැතිය හැකියි. එවිට සමේ ප්‍රදාහ තත්ත්වය සඳහා අවශ්‍ය ප්‍රතිජීවක හෝ ආලේපන වර්ග ලබා දෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අප විසින් ලබා ගන්නා ඖෂධවල මාත්‍රාව ඉක්මවා පාවිච්චි කිරීමට යොමු වන අවස්ථාවන් තිබෙනවා.
සමේ ඇතිවන ආසාදනයන්හිදී අධි මාත්‍රාවකින් ඖෂධ ආලේප කිරීම නිසා අනාගතයේදී අස්ථිවල ඝනත්වය අඩු වීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් සඳහා හේතු වෙන බැව් තායිවාන ජාතික විශ්වවිද්‍යාල රෝහලේ පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා. සමේ ආසාදන තත්ත්වයන් සුවපත් කර ගැනීමට Corticosteroids ඖෂධය අදාල වෛද්‍ය නිර්දේශ මත කෙටිකාලීනව භාවිත කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් දීර්ඝ කාලීනව මෙම ඖෂධ භාවිත කිරීම නිසා අස්ථි බිඳීමේ රෝග තත්ත්වයට වැඩි ඉඩක් ලබා දෙන බැව් මෙම අධ්‍යයනයේ කර්තෘ Chia-Yu Chu සඳහන් කරනවා.
මෙම අධ්‍යයනය වෙනුවෙන් රෝගීන් 8000 කගේ වෛද්‍ය වාර්තාවන් යොදා ගෙන තිබෙනවා. මෙම රෝගීන් වසර පහක් පුරා සමේ ඇතිවන ආසාදන වෙනුවෙන් ක්‍රීම් වර්ග, දියර භාවිත කරන ලද ඖෂධ සම්බන්ධයෙන් ඇති වුණ සංකුලතාවයන් ගැන අවධානය යොමු කරනු ලැබුවා. මෙම ඖෂධ භාවිතයෙන් ඇති වන රුධිර නාළ අවහිර වීම සහ ප්‍රදාහ තත්ත්වයන් නිසා අස්ථි බිඳීමේ අවදානමක් ඇති බැව් ලබා ගත් දත්ත විශ්ලේෂණයෙන් පෙනී ගොස් තිබුණා.
අධි මාත්‍රාවකින් භාවිත කරන ලද Steroids කාණ්ඩයේ ඖෂධ නිසා අස්ථි බිඳීමේ වේගය 34% කින්ද අඩු මාත්‍රාවකින් වුණත් වසර පහක් පුරා මෙම ඖෂධ ලබා ගැනීම නිසා අස්ථි බිඳීමට ඇති අවදානම 24% කින්ද ඉහළ ගොස් බැව් පර්යේෂකයන් විසින් හඳුනා ගත්තා.ඒ වගේම අඛණ්ඩව වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගන්නා මාත්‍රාවන් නිසා කොන්ද, උකුළු අස්ථිය වැනි අස්ථිවල ඝනත්වය හීන වීමේ වැඩි අවදානමක් තිබෙනවා.
ඔස්ටියෝපොරෝසිස් අවදානම
ඔස්ටියෝපොරෝසිස් මානව අස්ථි ස්කන්ධය හා ශක්තිය සම්බන්ධ අස්ථි රෝගයක්. මේ තත්ත්වය නිසා අස්ථි බිඳීම සිදු වෙනවා. ආර්තවහරණයෙන් පසු සහ වයස්ගත වීම නිසා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වීමේ අවදානම ඉහළ බැව් සාමාන්‍යයෙන් අප දන්නා කරුණක්.
නමුත් ඔස්ටියෝපොරෝසිස් සම්බන්ධ ව්‍යාධිජනක යාන්ත්‍රණ කීපයක් හඳුනා ගැනීම වෙනුවෙන් විද්‍යාත්මක අධ්‍යයනයන් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව අස්ථි නිෂ්පාදනයේ අඩු වීම, අස්ථී ගෙවීමේ වේගය, කැල්සියම්, පොස්පරස් සහ විටමින් D සම්බන්ධ තත්ත්වයන් සහ අසාමාන්‍ය අන්දමින් කොලැජන් සංශ්ලේෂණය වැනි හේතු බලපා ඇති බැව් පෙනේ.
කාන්තාවන්ට වැඩි අවදානමක්
පිරිමින්ට සාපේක්ෂව බලන විට කාන්තාවන් සම්බන්ධයෙන් මෙම අවදානම වැඩි බවත් පෙන්වා දී තිබෙනවා. එක්සත් රාජධානියේ වයස අවුරුදු 50 ට වැඩි පිරිමි පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මේ තත්ත්වයට පත් වන අතර වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම අවදානමට පත්වී තිබුණා.
එතැනින් අවසාන නැහැ
මෙම Corticosteroids ඖෂධ කෙටිකාලීනව භාවිත කළත් ආමාශ ආන්ත්රික රුධිර වහනය, සෙප්සීස්, හෘදයාබාධ වැනි රෝග වෙනුවෙනුත් වැඩි අවදානමක් ඇති බැව් තායිවාන ජාතික විශ්වවිද්‍යාල පර්යේෂණායතනයේ විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබෙනවා. එක් වසරක් තුළ මෙම ඖෂධය ලබා ගන්නා පුද්ගලයන් දහසක් අතරින් 27.1 % ක් දෙනා ආමාශයේ තුවාල ආශ්රිත රෝග තත්ත්වයට පත්ව සිටියා. 1.5 % ක් “සෙප්සීස්” රෝග තත්ත්වයටත්, 1.3% ක් දෙනා හදවත් ආශ්රිත රෝග සංකුලතාවයන්ටත් ගොදුරු වී සිටියා.
ඒ වගේම දිගුකාලයක් මුළුල්ලේ Corticosteroids ඖෂධ භාවිත කිරීම නිසා මුහුණ සහ සිරුර වැනි ප්‍රදේශයන්හි මේද තැන්පත් වීම නිසා අහිතකර තත්ත්වයන් ඇති වන අතර එය තරබාරුවටත් මග පෙන්වීමක් විය හැකියි.
මෙම අධ්‍යයනය සිදු වන විටත් ජාතික රෝහල් පද්ධතිය විසින් වැඩිහිටි රෝගීන්ගෙන් 25% කටත් වඩා වැඩි පිරිසකට ඖෂධ ලබා දී තිබුණා. මේ අතරින් කාන්තාවන්ගේ ප්‍රතිශතය 55.3 % ක්. ඔවුන් සමේ ආසාදනය වෙනුවෙන් ඖෂධ Corticosteroids ප්‍රතිකාර ආරම්භ කරන විට කිසිදු නිදන්ගත රෝග තත්ත්වයක් ගැන වාර්තා වී තිබුණේ නැහැ. චර්මරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබා දෙන ඖෂධ වට්ටෝරු අතරත් 90% කම මෙම Corticosteroids ඖෂධය නිර්දේශ වී තිබුණා.
අවධානය දැක්වීමට
Corticosteroids ඖෂධය නිසා වෙනත් අතුරු සංකුලතාවයන් ඇති වී පුද්ගලයා නිදන්ගත රෝගී තත්ත්වයට පත් වෙනවා නම් වෛද්‍යවරුන්ට ප්‍රතිකාර ලබා දීමේදී නිර්දේශ කරන ඖෂධ ගැන දැන් දෙවතාවක් සිතන්නට අවශ්‍ය කාලය එළඹ තිබේ.
( Taiwan News ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️