බේබි හාර්ඩර් අද වනවිට කීර්තියට පත් ඉන්දියානු ජාතික ලේඛිකාවක් වුණත් ඇය මෙතෙක් ආ ගමන්මග එතරම් සුන්දර නැත. නමුත් ජීවිතයේ අනේක විධි කම්කටොලු මැදින් ඇය ජීවිතයට ශක්තිමත්ව මුහුණ දුන්නාය…
ඇය 1973 වසරේ කාශ්මීර නගරයේ උපත ලැබූවත් ඔවුන්ගේ ස්ථිර නවාතැන එහි නොවීය. මන්ද බාල කාලයේදීම හාර්ඩර්ගේ පවුල දුර්ගාපූර් නගරයට සංක්‍රමණය විය. එසේම ඇගේ ළමා කාලයද එතරම් සුන්දර නොවීය. ඒ වෙන විට හාර්ඩර්ගේ වයස අවුරුදු හතරකි. පියාගේ අඩන්තේට්ටම් දරාගත නොහැකිව හාර්ඩර්ගේ මව බාල දරුවාද රැගෙන නිවසින් පිටව ගියාය. පවුලේ මවක නැති අඩුව පිරිමසා ගැනීමට පියා තවත් කාන්තාවක් විවාහ කරගන්නා ලදී. අම්මාගේ සෙනෙහස කිසිසේත්ම සුළු මවකගෙන් අපේක්ෂා කිරීමට නොහැකි බැව් රහසක් නොවේ. හාර්ඩර්ටත් එහි වෙනසක් නොවීය. මේ වන විට පියාට දාව සුළු මවද දරුවන් ලැබීය. පාසල් ගමනට සමු දී මෙම දරුවන් රැක බලාගැනීමට හාර්ඩර්ට සිදුවිය.
හාර්ඩර්ට යාන්තම් වයස අවුරුදු 12 සම්පූර්ණ වුනා පමණි. ඇගේ පියා විසින් ගෙනෙන ලද විවාහ යෝජනාවකට අනුව හාර්ඩර් ඇයට වඩා දෙගුණයක් වයසැති පිරිමියකු සමග විවාහ විය. විවාහයත් ඇයට සහනයක් ලබා නොවීය. ඇගේ මධුසමය පවා ඉතාම දුක්ඛිත විය.
වයස අවුරුදු 13 වන විට හාර්ඩර් පළමු දරුවා ලැබීය. තමාගේ වයසේ දරුවන් පාසල් යන දෙස මහත් සිත් වේදනාවෙන් ඇය බලා සිටියාය. හාර්ඩර්ගේ සැමියාගේ සහෝදරයා ප්රචණ්ඩ චරිතයක් ඇති අයකු විය. එක් දිනක් ඇගේ සහෝදරියකු මේ නරුම පුරුෂයා විසින් මරා දමන අන්දම හාර්ඩර් දෑසින්ම දුටු අතර තවත් දිනක අසල්වැසි පිරිමියෙක් ඇගේ බිරිඳ ගිනිතබා මරා දැමුවේ රූපවාහිනී නැරඹීම සඳහා වෙනත් නිවසකට ගිය නිසාය. මෙවැනි පරිසරයක් තුළ තව දුරටත් ජීවත් වුණොත් තමාගේ පමණක් නොව දරුවන්ගේ ජීවිතයත් අනාරක්ෂිත බැව් ඇය තේරුම් ගත්තාය. විඳවීමට වඩා වෙන්වීම යහපත් බැව් ඇය තීරණය කළාය.
ඇය තීරණයක් ගත්තා
හාර්ඩර් නැවත නැවත සිතා බැලුවේ නැත. ඇය ඇගේ දරුවන් තිදෙනාද සමග දිල්ලියට පලා යෑමට තීරණය කළාය. ඇගේ ඥාතියෙක් දිල්ලියේ සිටන බැව් මතක් වුණු ඈ දරුවන් තිදෙනා සමග දුම්රියක නැගී දිල්ලියට ගොස් තම ඥාතිවරයා හමු විය. කුඩා කාමරයක දරුවන් තබා ඇය මෙහෙකාර සේවයේ යෙදෙමින් දවසේ ආදායම උපයා ගත්තාය.

මේ අන්දමට ගෙයින් ගෙට ගොස් සේවයේ යෙදුණ හාර්ඩර්ට අහම්බෙන් මෙන් ඉන්දීය ප්‍රකට ලේඛකයෙකු වුණ මුන්ෂි ප්‍රේම්චාන්ද්ගේ මුණුපුරු ප්‍රබෝද් කුමාර්ගේ නිවසේ සේවයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණි. ඔහු මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. එමෙන්ම මානව දයාවෙන් යුක්ත පුද්ගලයෙක්ද විය.
‘දුවේ ඔයාගේ ගෙවල් කොහෙද?’
‘මට ස්ථිර ගෙයක් නැහැ’
‘එතකොට ඉන්නේ’
‘පුංචි කාමරයක මමයි මගේ දරුවො තුන්දෙනයි ජීවත් වෙනවා.’
ඇය පිළිතුරු දුන්නාය. එහෙම නම් ඔයා දරුවොත් එක්ක ඇවිත් අපේ ගෙදර පදිංචි වෙන්න. මම ඔයාටත් තාත්තෙක් වගේ සලකන්නම්. මට තාත්තා කියන්නකෝ ප්‍රබෝද් කුමාර් කීවේය.හාර්ඩර් දරුවන් සමග ඇවිත් ප්‍රබෝද් කුමාර්ගේ නිවසේ නැවතීමට තීරණය කළාය.
මේ නිවසේ සේවයේ යෙදෙමින් කාලය ගත කරන ඇයගේ සිත්ගත් එක තැනක් විය. ඒ ප්‍රබෝද් කුමාර්ගේ පුස්තකාලයයි. ඇය පොත් රාක්කවල දූවිලි පිසින අතර පොත් පෙරළමින් ඒවා බැලීමට ප්‍රිය කළාය.හාර්ඩර් පොත්වලට ආසයි වගේ. ඔයාට ඕන පොත් අරගෙන කියවන්න. පොත් සමග ඇගේ ගනුදෙනුව දුටු ප්‍රබෝද් කුමාර් කීවේය.
එක් දවසක් ඇය තස්ලිමා නස්රින්ගේ ‘My Girlhood ‘ කෘතිය කියවන විට මේ මගේ කතාව නොවේදැයි නිකමට මෙන් සිතුණි. ඇය පොත් සමග කරන ගනුදෙනුව දුටු ප්‍රබෝද් කුමාර් එක් දවසක් මෙසේ කීවේය.මම ටික දවසකට දකුණු ඉන්දියාවට සංචාරයක යනවා. මෙතැන කොළ සහ පෑන් තියෙනවා. ඔයා කැමැති දෙයක් මේවායේ ලියන්න.
හාර්ඩර් ලියන්න පටන්ගත් නමුත් ලියන්නේ මොනවාදැයි ඇයට ගැටලුවක් විය. මේ අතර ඇය තමාගේ ජීවිත කතාව ලියන්නට සිතුවාය. ඇයට අදහස් ගලා එන්නට විය. ජීවිත අත්දැකීම් නිසා අදහස් ගලා ඒමේ වේගෙට සීමා වුණේ නැත. ඇය නොදැනීම කොළ සියයක් පිරී අවසානය.
හාර්ඩර්ගේ ස්වයං චරිතාපදානය කියැවූ ප්‍රබෝද් කුමාර් එය මුද්‍රණය කිරීමට තීරණය කළේය. මෙම අත්පිටපත ලියා තිබුණේ බෙංගාලි බසිනි. මෙම කෘතිය “ Aalo Aandari (A life less Ordinay) යනුවෙන් නම් කරන ලදී.

නමුත් එය හින්දි බසට පරිවර්තනය කොට 2002 වසරේදී මුද්‍රණය වෙනුවෙන් රෝෂිනී ප්‍රකාශක සමාගම වෙත භාර දෙන ලදී. හින්දි පිටපත මුද්‍රණද්වාරයෙන් පිට වුණේ ( Light and darkness ) යන නමිනි. මෙම කෘතිය පුරාවටම ඇත්තේ හාර්ඩර්ගේ දුක්ඛිත ළමා කාලයත් එතැනින් පසුව පුරුෂාධිපත්‍යට නතුව ගෙවන ලද කටුක විවාහ ජීවිතයේ ඛේදාන්තත්ය.
ඇය මෙහෙකාර සේවයේ යෙදන විට පවා එම නිවෙස්වල සුනඛයන්ට තමාට වඩා සැප සම්පත් ලැබුණ බැව් හාර්ඩර් සඳහන් කර ඇත. මේ අමානුෂික වධ බන්ධන සමග ගතකළ කටුක ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුයේ සැබෑම පිය සෙනහසකින් ඇයට ආදරය සහ කරුණාව දක්වන ලද ප්‍රබෝද් කුමාර් නම් අපූර්ව මිනිසා බවත් හාර්ඩර් කෘතඥතාවයෙන් යුක්තව සඳහන් කර සිටී. පුරුෂාධිපත්‍ය රජයන සහ කාන්තාව වෙනුවෙන් නිරන්තරව අවතක්සේරුවෙන් සලකන සමාජයක ප්‍රබෝද් කුමාර් වැනි විරල වූ සම්මානණීය චරිත ඇති බවත් ඇය ප්‍රසිද්ධියේ සඳහන් කළාය.
ඇගේ ස්වයං චරිතාපදානය එතැනින් නැවතුනේ නැත විවිධ භාෂාවන්ට පරිවර්තනය විය. මේ වන විට එය භාෂා 13 කට පරිවර්තනය වී ඇති අතර 2008 වසරේදී ජර්මන් පිටපත ගොටින්හැම් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශන අංශය විසින් දොරට වඩවන ලදී. එදින පවත්වන ලද විශේෂ උත්සවයට කතුවරිය ලෙසින් හාර්ඩර්ටත් ආරාධනාවක් ලැබී තිබුණි.
ඇගේ දෙවන කෘතිය Eshat Roopantar නමින් බෙංගාලි භාෂාවෙන් ප්‍රකාශයට පත්ව ඇත. හාර්ඩර්ගේ ලේඛන කලාව නවතින්නේ නැත. දැන් ඇගේ ඉලක්කය වී තිබෙන්නේ ඉන්දියානු කාන්තාවන් මුහුණ දෙන සහ ඔවුන්ට ප්‍රසිද්ධියේ හෙළිදරව් කළ නොහැකි ලිංගික අල්ලස් තේමාව කරගත් කෘතියක් රචනා කිරීමටයි.
( විකිපීඩියා ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️