ලෝකයේ බොහෝ දියුණු රටවල් කෙනෙකු කරන රැකියාව අනුව ඔවුන් වර්ග නොකළත් ලංකාවේ අපි එහෙමද? කුණු බක්කියක් අතින් තල්ලු කරගෙන ඒ මත ඉදලත්, සවලත් අරන් අපට උදෑසන සිනහමුසු මුහුණින් මුලිච්චි වන ඇයට සිනහවකින්ම සංග්‍රහ කරමින් වචනයක් හෝ දෙකක් කතා කළ හැකි හිතක් අපට තිබෙනවාද? ජාත්‍යන්තර කාන්තා දිනයේදි හදවතින් මේ කාරණා පිළිබඳව සිතුවොත් නරකද? මොහොතක් සිතන්න. කොළඹ අප එහි එකදු වීදියක්වත් පිරිසිදු නොකර තිබෙන දවසක ගමන් ගන්නා අන්දම කෙබඳු විය හැකිද? පැතිරෙන දුර්ගන්ධය ඉවසා ගන්නට නහය තද කරමින් කුණු රොඩු උඩින් අඩි උස්සා පැන පැන යන මිනිසුන් වන අප කොළඹ නගරයේ උදෑසනටත් අව් කාෂ්ටකයේ දවාලටත් වීදි පිරිසිදු කරන්නියන් ඇගයිය යුත්තේ මන්ද යන්න දැන්වත් හොඳින් වැටහිය යුතුය.ඩ්‍රීම් ජෝබ්ස් හොයමින් ඔබමොබ සැරිසරන මිනිසුන් අතර ලැබුණු ජොබ් එක ඩ්‍රීම් ජොබ් එක දක්වා හදවතතින් ඔසවා තබන්නට තරම් මොවුන් සිතුවිලිවලින් පොහොසත්ව බව මේ කතාවෙන් ඔබට දැනෙනු ඇත.
අතුගාලා කුණු ඇදලා ඔයාලට උදේට ලස්සනට ඇවිදින්න අපි පාරවල් හදලා තියෙනවා…
මගේ නම දමයන්ති පෙරේරා. මට අවුරුදු 62 ක්. මම පදිංචි වෙලා ඉන්නෙ ගල්කිස්ස බඩෝඕවිට. මම අවුරුදු 23 ක් තිස්සෙ කරන්නෙ මේ වීදි පිරිසිදු කරන රස්සාව. මමමයි ඇවිල්ලා ඇහුවෙ සර්ලාගෙන් මෙතන රස්සාවක් දෙන්න පුළුවන් ද කියල. සර්ලා මාව රස්සාවට ගත්තා. ඒ දෙදහෙදී. මම අයිති වෙන්නෙ රොක්සි ඩිපෝ එකට. රස්සාවට මම එනකොට මගේ දරුවෝ හරිම පොඩියි. දුවට අවුරුදු දොළහයි. පුතාට අවුරුදු නවයයි. දැන් දුවට අවුරුදු තිස්තුනයි, පුතාට තිහයි.
තාමත් මේ රස්සාව කරගෙන දරුවෝහදාගෙන මම ඉන්නවා. දුව නම් දැන් බැදලා. දුවටත් බබෙක් ඉන්නවා. පුතා නම් රස්සාවක් කරනවා. මම උදේ පහමාරට වැඩට එනවා. හවස පහමාරට ඕෆ් වෙනවා. උදේ හත වෙනකොට රොක්සි එක ළඟ තියෙන පාරවල් ඔක්කොම පිරිසිදු කරල ඉවර කරනවා. අතුගාලා කුණු ඇදලා උදේට මිනිස්සුන්ට ලස්සනට ඇවිදින්න හදලා තියෙනවා. අයේ හවස 2 කට විතර ගිහිල්ලා වැටිලා තියෙන කොළ අයින් කරලා ආපහු අතුගාලා එනවා. වැල්ලවත්තෙ රොක්සි එක අවට පාරවල්වල මිනිස්සු මාත් එක්ක හරිම යාළුයි. මටත් උදව් කරනවා.
එක එක්කෙනාට අතුගාන්න පාරවල් බෙදලයි තියෙන්නෙ. මම නම් මේ රස්සාව කරන්නෙ හරිම සතුටෙන්. මගේ මහත්තය නැති වෙලත් දරුවෝ ලොකු මහත් කළේ, ගෙවල් දොරවල් හදාගත්තෙ, අද වුණත් දරුවන්ට බරක් නැතුව මම ජීවත් වෙන්නෙ මේ රස්සාව නිසා. දරුවොවත් කවදාවත් කියල නැහැ අම්මෙ මේ රස්සාව නතර කරන්න කියල.
අද වුණත් එයාල කියන්නෙ අම්ම අපිව ලොකු මහත් කළේ ඔය රස්සාවෙන් ලැබුණ සල්ලිවලින් නිසා පුළුවන් තරම් කාලයක් වැඩ කරන්න කියල. ඔයාට කැමති දවසක මේ රස්සාවෙන් අයින් වෙන්න කියලත් කියනවා. අතපය හැමදාම හයිය වෙන්නේ නැහැ නේ. හයිය තියෙනකල් මම මේ රස්සාව කරනවා.
සමහර මිනිස්සු කරත්තය පෙනි පෙනි බීම බෝතල්, පොලිතින් පාරට විසිකරනවා…
මම සුදර්ශනී වාසනා පෙරේරා. මට දැන් 49 ක්. මම ඉන්නෙ මොරටුව කොරළවැල්ලෙ. මේ රස්සාවට ආවේ 2012 මැයි මාසේ. මගේ දරුවෝ පොඩි කාලේ තමයි මම මේ රස්සාව තෝරගත්තෙ. දරුවන්ට ඉගැන්නුවා. දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක් දැන් කසාද බැදලා. පුතා තාම ඉස්කෝලෙ යනවා.
මගේ මහත්තයා කළේ වඩුවැඩ. අපේ ගෙවල්, වඩුමඩු ඔක්කෝම සුනාමියට අහුවුණා. ඊටපස්සෙ මහත්තයා තැනින් තැන වඩුමඩුවලට ගිහිල්ලා වැඩ කළා. ඒත් හරියට පඩියක් එහෙම හම්බුණේ නෑ. ඒ නිසා මම තීරණය කළා රස්සාවක් කරල දරුවන්ට උගන්වන්න. ඒ නිසා තමයි මම මේ රස්සාව තෝරගත්තේ. මේ රස්සාව තෝරගත්තා කියල අපට පාඩුවක් වෙලා නැහැ. මම වැඩ කරන්නෙ වැල්ලවත්ත අළුවල ඩිපෝවේ. එදා ඉඳන් අද වෙනකල් ලස්සනට රස්සාව කරගෙන ජීවත් වෙනවා.
තාමත් හැබැයි සමහර මිනිස්සු කරත්තය පෙනි පෙනි බීම බෝතල්, පොලිතින් පාරට විසිකරල යනවා. අපේ ලොරි තුනක් තියෙනවා ඒවා හැමදාමත් උදේට තුන් පැත්තට බෙදිලා යනවා කුණු එකතු කරන්න. එහෙම තිබුණත් තාමත් මිනිස්සු පාරේ කුණු බෑග් දාලා යන අවස්ථා තියෙනවා.
මම වැඩ පටන් ගන්නෙ උදේ හයහමාරට. ඕෆ් වෙන්නේ පහට. ගෙදර ගියාම දරුවෝ තමයි මගේ යාලුවෝ. හවස ඔක්කෝම දරුවෝ අපේ ගෙදරට එනවා. මොනවද හදන්නෙ ඒක කාල බීලා අපි සතුටින් ඉන්නවා. මගේ මහත්තයත් අවුරුදු හතරක පහක ඉඳල වැඩ කරන්නෙ මාත් එක්ක. අපේ ගෙවල් දොරවල් ඔක්කෝම සුනාමියට ගියාට පස්සෙ අපි ඉන්නේ ලෑලී ගෙදරක. ගෙවල් බිත්තිවලින් හදාගන්න අපට වත්කමක් තවම නැහැ. දරුවන්ගෙ ප්‍රශ්න විසඳුවා විතරයි. අපිට ETF එකක් එහෙම හම්බෙන්න තියෙන නිසා පස්සේ ගෙයක් හදාගන්නවා. ඇස් දෙක පේනකල්, අතපය හතර වැඩ කරනකම් මම මේ රස්සාව කරනවා.
පාරේ කුණු තියෙන කල් අපේ ජීවිතේ මල්…
මගෙ නම නිලන්ති ප්‍රනාන්දු. මට 47 ක්. මම වැඩට එන්නෙ හොරණ ඉඳලා. පාන්දර 4 ට නැගිටල ගෙදර වැඩ කරල රස්සාවට එනවා. මහත්තයා ඇවිල්ලා උදෙන්ම හොරණ ටවුන් එකට මාව ඇරලවනවා. ඊටපස්සෙ පහේ බස් එකෙන් වැල්ලවත්තට එනවා. මම වැඩ පටන් ගන්නෙ 6.30 ට. මම වැඩ කරන්නෙ වැල්ලවත්ත පොලිසිය ඉස්සරහ ගෝල් රෝඩ් එකේ. ආර්ථික ප්‍රශ්න නිසා තමයි මගේ අක්කා කෙනෙක් මාර්ගයෙන් මේ රස්සාවට ආවේ. මහත්තයා කරන්නෙත් කුලී වැඩ. අපට රස්සාව හොඳටම හොඳ නිසා තමයි ගොඩක් කල් එකම තැන වැඩ කරන්නෙ. කම්මැලිකමක් නම් නැහැ.

මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. එක පුතෙක් ගෙදර ඉන්නවා. අනික් තුන් දෙනා බැදලා. දවස් 30 ම වැඩ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපට පුළුවන් දවසට නිවාඩුවක් ගන්න පුළුවන්.මේ රස්සාව කළා කියල කිසිම ලැජ්ජාවක් නැහැ. අපි හොරකම් කරනවා නෙමෙයි නේ. රස්සාවක් කරල පඩියක් ගන්නවා කියන්නේ සතුටු වෙන්න ඕන කාරණයක්. ආර්ථික ප්‍රශ්න තියෙන නිසා නවතින්න ඕනෙ කියල හිතෙන්නෙ නැහැ. කීයක් ලැබුණත් දැන් මදිනේ.
අවුරුද්දට, ජනවාරි පළවෙනිදාට කුණු ගන්න ගෙවල් ළඟට ගියාම ගොඩක් ගෙවල්වල ඉන්න ටැමිල් අය, සිංහල අය අපට උදව් කරනවා. අවුරුදු 20 ක් 25 ක් වැඩ කරපු අයටත් අපේ අයාතනයෙනුත් ගොඩක් උදව් ලැබෙනවා. පුතා රස්සාවක් කරන කල් තමයි බලාගෙන ඉන්නේ. ඕනම කෙනෙක්ට මම කියන්නෙ කුණු තියෙන කල් ජීවිතය මල් කියලා.
ඉන්නෙ කුළියට හැබැයි සතුටින්…
මගේ නම සිත්ති ජරීනා. මම වැඩට ඇවිල්ලා අවුරුදු හයයි මාස තුනක් වෙනවා. ඊට ඉස්සෙලත් ක්ලීන් සර්විස්වල වැඩ කළා. මම වැඩ කරන්නෙ නෙළුම් පොකුණ ඉස්සරහ පාරේ. මමත් හයහමාරට වැඩ පටන් අරගෙන හතහමාර වෙනකොට අතුගාලා කුණු අයින් කරලා ඉවර කරනවා. ආයෙත් දවල්ට එක පාරක් පාරවල් ආතුගානවා. මේ දවස්වල නම් ගස්වල කොළ වැටෙනවා වැඩියි. ඒ නිසා වැඩිපුර අතුගාන්න වෙනවා. රස්නේ එක්ක මේ දවස්වල වැඩ කරන්න ටිකක් අමාරුයි හැබැයි ගානක් නෑ.

මට ඉන්නෙ දුවයි පුතයි. දුවට බබාලා තුන්දෙනෙක් ඉන්නවා. දුවගේ මහත්තය හාට්ඇටෑක් එකකින් නැති වෙලා අවුරුද්දයි මාස තුනයි. එයාල බලගන්නෙත් දැන් මේ රස්සාවෙන් තමයි. මම වැඩට ඇවිල්ලා රෑටනේ ගෙදර යන්නෙ. දුව ඉතින් ගෙදර වැඩ ටික කරල තියෙනවා. දුවගෙ මහත්තයගෙ පැත්තෙ අයත් අපට උදව් කරනවා. ඉන්නෙ කුළියට හැබැයි සතුටින්.
අපිට පාරේ වැඩ කරනවා කියල කිසිම කරදරයක් වෙලා නම් නැහැ. සන්තෝසෙන් තමයි වැඩ ටික කරන් යන්නෙ. ක්ලීන්ටෙක් එකේ මහත්තුරු අපි වැඩ කරනවාද කියල දවස ගානේ ඇවිත් බලන්නෙ නැත්තේ අපි වැඩේ හරියට කරනවා කියල එයලා දන්න නිසා. කුණු වුණත් අපි වෙන් කරනවා දිරණ නොදිරණ විදිහට. දැන් කාලෙ ජීවත්වෙන්න අමාරු නිසා දෙන්නෙක් තුන්දෙනෙක් රස්සාව ගියෙ නැත්නම් ජීවත් වෙන්න බැහැ. මොනා කරන්නද හම්බෙන පඩියෙන් ගෙදරටත් දෙනවා සීට්ටුවක් එහෙමත් දානවා. කුලියත් ගෙවනවා කන්න බොන්න ඔක්කෝම වියදම් කරනවා.
මේ දෙන්නා එම්. රොගිලා සහ ශාලනී.
වැඩ කරන්නෙ ආයතනයේ සුපර්වයිසර්වරියන් විදිහට. මේ දෙදෙනාගේම රාජකාරිය වී ඇත්තේ පොත්පත්වල වැඩ සහ වීදි පිරිසිදු කරන්නියන් ඔවුන්ගේ රාජකාරි සඳහා මෙහෙයවීම. ඔවුන් දෙදෙනාම කියා සිටින්නෙ වීදි පිරිසිදු කරන්නියන් ඔවුන්ගේ ප්‍රශ්න බොහොමයක් තමන් සමඟ කතාකරන බවයි. “සමහර දවස්වලට අපිත් යනවා එයාලා එක්ක පාරවල් බලන්න. මෙයාලා ගැන පැමිණිලි ලැබෙනවා හරිම අඩුයි. මෙයාලා ලස්සනට මෙයාලගේ වැඩේ කරනවා. සමහර වෙලාවට පාරවල්වල වැඩ කරන අය ලෙඩ වුණාමත් බලන්න වෙන්නේ අපිට. කාන්තාවන් එක්ක වැඩ කරන්න තියෙන නිසා අපට හරිම ලෙහෙසියි.”
හරින්දී ලියනගේ ✍️