සාම්ප්‍රදායිකව ගත්තොත් අපේ සමාජය වෙන්වෙලා තියෙන්නේ පිරිමියා රැකියාවට යද්දි කාන්තාව ගෙදර වැඩ කරගෙන, දරුවෝ බලාගන්න ඕනේ කියන විදිහට. නමුත් වර්තමානයේ ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. රටේ ඇතිවෙලා තියෙන උග්‍ර ආර්ථික ගැටලුවත් එක්ක කාන්තාවන්ට තියෙන අවශ්‍යතාත් ඉස්සරට වඩා වැඩිවෙලා තියෙනවා. ඒත් එක්කම තමන්ටම කියලා ආර්ථිකය ගොඩනගාගන්නත් කාන්තාවන් පෙළඹිලා තියෙනවා. විසි එක්වන ශත වර්ෂය වෙද්දි සියලුම මව්වරුන්ගෙන් 40% කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා බව සමීක්ෂණ වාර්තාවලින් හෙලි වෙනවා…
කොණ්ඩ කටුව ඉල්ලලත් සැමියට පින්සෙණ්ඩු වෙන්න එපා
කාන්තාවෝ හැටියට ආර්ථිකයට ශක්තිමත් වෙලා ඉන්න එකේ වාසි ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ අපේ අවශ්‍යතා අපිටම සපුරගන්න පුළුවන්. රැකියාවක් නොකරන ගොඩක් කාන්තාවෝ කොණ්ඩ කටුවට, කිව්ටෙක්ස් එකට, අපි ආස ඇඳුමක් ගන්න මේ හැමදේටම සහකරුට පින්සෙණ්ඩු වෙන්න ඕනේ. බැරිවෙලාවත් සහකරු කිව්වොත් මං ළඟ සල්ලි නෑ කියලා අපිට දුකින් වුණත් ඒ ආසාව අත්හැරලා හිත හදාගන්න සිද්ධවෙනවා. ඒ නිසයි තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න කාන්තාවන්ට තමන්ටම කියලා ආදායම් මාර්ගයක් අවශ්‍ය වෙන්නේ.
පවුලක අවලංගු කාසියක් වෙන්න එපා
කසාද බැඳපු කාන්තාවක් නම්, තමුන්ටත් ආදායම් මාර්ගයක් තියෙනවනම් සැමියාට විශාල ශක්තියක් වෙන්න ඇයට පුළුවන්. මොකද අද කාලේ එක ආදායම් මාර්ගයක් විතරක් තියෙන පවුල්වල පවුලේ ක්‍රියාවලිය ගෙනියන්න හරිම අමාරුයි. ජල බිල්, විදුලි බිල්, නිවෙස් කුලී වලට අමතරව අනපේක්ෂිත වියදම් එන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවක තමුනුත් ඒ කාර්යයට සම්බන්ධ වෙලා සැමියාට ශක්තියක් වෙන්න පුළුවන් නම් සැමියගෙ හිතේ වුණත් බිරිඳ ගැන ලොකු ආදරයක්, ගෞරවයක් ඇති වෙනවා. සැමියගෙ විතරක් නෙවෙයි ඒ ආදරය, ගෞරවය මුළු පවුලෙම සාමාජිකයන්ගෙන් ලැබෙනවා. එහෙම වුණොත් කාන්තාව කවදාවත් පවුලෙ අවලංගු කාසියක් බවට පත්වෙන්නෙ නෑ.
නිකන් ඉන්නවා වගේද ලැබෙන ආත්ම තෘප්තිය?
තමන් එළියට ගිහින් හම්බ කරලා ගෙදර අයට තමන්ගේ සල්ලි වලින් මොනවාහරි දෙයක් අරන් දීලා ඒකෙන් තමන්ට ලැබෙන ආත්ම තෘප්තිය අත්විඳලා බලන්න. රස්සාවක් කරනකොට කාන්තාවගේ ලෝකය පුළුල් වෙනවා. අලුත් අලුත් සමාජ සම්බන්ධතා ඇතිවෙනවා. අලුත් අත්දැකීම් ලැබෙනවා. අලුත් දේවල් දකිනවා. තමන්ගේ ලෝකය පුළුල් වෙන එක, විවිධ අත්දැකීම් ලබන එක කාන්තාවකට ගොඩක් වැදගත්. මේවා තමයි රස්සාවක් කිරීමෙන් ලැබෙන වාසි.
සල්ලි නැත්නම් මානසික ආතතියත් වැඩියි
සාමාන්‍යයෙන් අපේ මනෝ වෛද්‍ය සායන වලටත් වැඩියෙන්ම එන්නේ රැකියාවක් නොකරන කාන්තාවන්. ආර්ථිකව ශක්තිමත් වීම මනෝවිද්‍යාත්මකවත් ලොකු අස්වැසිල්ලක් වෙනවා. ආර්ථිකය අස්ථාවරයි නම් එතනදී ඇතිවෙනවා ආර්ථික ආතතිය. මේ චිත්තවේගී බලපෑම නිසා අපිට මනෝමය වශයෙන් ලොකු බලපෑම් ඇතිවෙන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් ලොකු මූල්‍ය ආතතියකින් ඉන්න කාන්තාවකට එක එක මනෝමය ගැටලු ඇති වෙනවා. මේක විශාදය දක්වාම වැඩිවෙන්න පුළුවන්. ආර්ථිකය පහළට බහිනවා කියන්නේ තමන්ගේ සමාජය තත්ත්වයත් පහළට බහිනවා කියන එක. එතකොට ඇති වෙනවා හින්නෝන්මාදය කියලා තත්ත්වයක්.
ඒ වගේම පවුල ඇතුලේ ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන් තමන් ආර්ථිකව ස්ථාවර නොවුණොත්. තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා පිරිමහගන්න බැරුව, තමන්ගේ දෙමාපියන්ට මුහුණ දෙන්න බැරුව පීඩනයෙන් ජීවත්වන කාන්තාවන් ඕනතරම් අපි අතරේ ඉන්නවා. රෑට නිදාගන්න ඇඳට ගියත් මතක් වෙන්නේ ඒ තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ නින්දට බාධාත් ඇති වෙනවා. සල්ලි ප්‍රශ්න අහස උසට තියෙනකොට හරියට කන්න බොන්නවත් හිතෙන්නේ නෑ. ඊට පස්සේ එන්නේ පෝෂණ ඌණතා.
මුදල් කළමනාකරණයත් ඉතාම වැදගත්
කාන්තාවකට අයවැය කියන දේ හරිම වැදගත්. ආදායම සහ වියදම නිතරම සටහන් කරගන්න. රස්සාවක් කරන්න පටන් ගත්තු දා ඉඳන්ම කාන්තාවක් තියාගන්නම ඕනේ හොඳ පුරුද්දක් තමයි මේක. මාසෙන් මාසේ පොතක් අරගෙන අයවැය ලියා ගත්තම ඊළඟ මාසෙ ඉඳන් අනවශ්‍ය වියදම් කපා හරින්න පුළුවන්. ඒ කපාහරින අනවශ්‍ය වියදම් නැතුව අපිට ජීවත් වෙන්න බැරිකමක් නෑ. කන ටොෆියෙ ගාණ ඉඳලම ලියන්න. කපාහැරපු දේවල් එක්ක අලුත් මාසෙට ලෑස්ති වෙන්න. ඒකත් එක්ක ඇතිවෙන ස්වයං විනය ජීවිතයේ ගොඩක් තැන්වලදී කාන්තාවකට බලපානවා.
ළමා හා යොවුන්
මනස පිළිබඳ ජේය්‍යෂ්ඨ ලේඛකාධිකාරි
ප්‍රභා විද්‍යාතිලක
උතුරු කොළඹ
ශික්ෂණ රෝහල
එරංදි කෞශල්‍යා ✍️