පිළියන්දල සමිද්ධිරතන - විශුද්ධිරතන පොඩි හාමුදුරුවන්ගේ අම්මා - චතුරිකා ප්‍රියංගනී
කෙනෙක් මහණ වුණොත් ඒ කෙනාගේ හතර වරිගෙම සසරින් එතෙර වෙනවයි කියල අපි පුංචි කාලෙ ඉඳන් අහල තියෙනවා. හැබැයි එහෙම හිතක් පහළ වෙන්නත් පෙර භවයක මහා පුන්‍යකර්මයක් කරලා තියෙන්නත් ඕනෙලු. ඒකනෙ හැමෝටම කසාවතක් පොරවගන්න හිතෙන්නෙ නැත්තේ. ඒ වගේම මාස දහයක් කුසේ තියන් ඉඳලා මේ ලෝකෙට බිහිකරපු දවසෙ ඉඳන් ඇහේ තියන් හදපු දරුවෙක්ව සසුනට බාරදෙන්න හිත හදාගන්න එක අම්මෙක්ටත් කරන්න අමාරුම දෙයක්. ඒත් කොහොම හරි හිත හදන් දරුවන්ට සමුදෙන එහෙම පිංවන්ත මවුවරු අපේ රටේ ඉන්නවා.
පහුගිය දවසක ‘සිඳු’ ටෙලිනාට්‍යයේ වසර පහක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයට පණ පෙවූ කවීෂ් විහඟ ඇත්තටම පැවැදි දිවියට ඇතුළත් වුණා. ඒ පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ විදිහට. මේ සිදුවීමත් එක්ක සමාජයේ විවිධ කතා හැදුණත් ඒ හැම කොණකම කවීෂ්ගේ එහෙමත් නැත්නම් සමිද්ධිරතන හිමියන්ගේ මෑණියන් ගෑවිලා හිටියා. මේ සිදුවීමෙන් වැඩිපුරම සමාජ අපවාදයට මුහුණ දුන්නෙ ඇය. ඉතින් අපිට හිතුණා කවුරුත් චෝදනා කරන මේ අම්මගේ මුවින්ම ඇත්ත නැත්ත ටිකක් විමසලා බලන්න. ඇය චතුරිකා ප්‍රියංගනී.
මම ඔබෙන් මුලින්ම කවීෂ් සම්බන්ධයෙන් හැමෝටම තියෙන ප්රශ්නය අහන්නම්. ඇත්තටම කවීෂ් මහණ වෙන්න හේතුව සෝරත චරිතයද?
නෑ. ඒ චරිත කිසිම සම්බන්ධයක් නෑ. එහෙම නම් එයා මහණ වෙන්නෙ මීට සෑහෙන කාලෙකට උඩදි. මං හිතන්නේ මේක පුතා කාලයක් තිස්සෙ හිතලා බලල හොඳ අවබෝධයකින් ගත්ත තීරණයක්.
සෝරත චරිතය රඟපානකොට කවීෂ්ගේ වයස කීයද?
අවුරුදු පහයි. එයාට අවුරුදු දහයක් වෙනකල්ම එයා සෝරත චරිතය රඟපෑවා.
මේ තීරණය සම්බන්ධයෙන් කවීෂ් මොකද කිව්වෙ චතුරිකාට?
කවීශ්ගේ මල්ලිත් මහණ වුණානෙ. ඒ ගැන කවීශ් ගොඩක් හිත හිත හිටියේ. නිතරම ඒ ගැන කියෙව්වා. මට මතකයි චූටි පුතා මහණ වෙන්න යද්දි කවීෂ්ට කතා කළා අයියේ ඔයත් මාත් එක්ක මහණ වෙමුකෝ කියලා. මට හිතෙනවා කවීෂ්ගේ හිතේ මහණ වෙන්න ආසාවක් මුල ඉඳන්ම තියෙන්න ඇති. නමුත් මල්ලියි, කවීශුයි දෙන්නම ගියොත් මං තනිවෙයි කියලා පුතා හිතන්න ඇති. මට ඒක තේරුණා. පස්සෙ කාලෙක මං කිව්වා පුතේ ඔයා ඔයාගේ ජීවිතේ මොන තීරණ ගත්තත් මාව ඒකට බාධාවක් කරගන්න එපා කියලා.

පොඩි පුතාටත් මහණ වෙන්න සිත් දුන්නෙ ඇයි කියලා කාංචනා දන්නවද?
පොඩි පුතා අවුරුදු අටේ ඉඳන්ම කිය කිය හිටියේ මහණ වෙන්න ඕනේ කියලා. නමුත් මං කැමති වුණේ නෑ ඒකට. බොරු දේවල් කිය කිය මං කොහොම හරි කාලයක් එයාව මං ගාව තියන් හිටියා. එයත් ඒ ගැන කතා කරන එක නැවැත්තුවා. මං කිව්වා මහණ කරවනව නම් අම්මයි තාත්තයි කැමතියි කියලා ලියුමක් දෙන්න ඕනේ කියලා. පස්සේ දවසක රෑක එයාම ලියුමක් ලියාගෙන ඇවිත් මට කියලා අත්සනක් දාගත්තා.
මං හිතුවෙ නෑ ඒක එයා ඇත්තටම කරපු දෙයක් කියලා. විහිළුවට වෙන්නැති කියලා මමත් හිනාවෙලා අත්සන් කළා. දවසක් එකපාරට පොඩි පුතා මගෙන් ඇහුවා අපි කොච්චර ඉගෙනගත්තත් දවසක මැරෙනවා. එතකොට මොකද වෙන්නේ කියලා. මට එදා දෙන්න උත්තරයක් තිබුනෙ නෑ. එතන ඉඳන් එයා මට බල කරා මහණ වෙන්නම ඕනි කියලා. හැබැයි එයා නගරෙක තියෙන පන්සලකට යන්න කැමති වුණෙත් නෑ. එයා හෙව්වේ නිස්කලංකව ඉන්න පුළුවන් පන්සලක්.
උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ නම මොකක්ද?
පිළියන්දල විශුද්ධිරතන

පුංචි වයසකදි දරුවන් පන්සලට දායාද කරද්දි ගල් මුල් සෑහෙන්න වදින්න ඇති…
ඔව්. මට චෝදනා ගොඩක් ආවා. ළමයි බලාගන්න බැරි නිසා ළමයින්ව පන්සල්වලට දෙනවා කිව්වා. නමුත් මගේ දරුවෝ දෙන්නා, විශේෂයෙන්ම කවීෂ් සමාජය එක්ක ගොඩක් ගැටුණ දරුවෙක්. ඉතින් ඒ ගැටීමෙන් නිදහස් වෙන එක මටත් සතුටක් නිසා මං හිත හදන් දරුවො දෙන්නට යන්න දුන්නා. මුලදි ඒක මට ලේසි වුණේ නෑ.
නමුත් බැඳීම් කියන්නේ අතිශය දුකක් කියලා දරුවො දෙන්නා වගේම මමත් අවසානෙදි තේරුම් ගත්තා. දරුවෝ දෙන්නම හැදුනේ මගේ අස්සෙමයි. කොටින්ම කවීෂ්ට රෑට මගේ කොට්ටේ කොණක් අල්ලගත්තෙ නැත්නම් නින්ද යන්නෑ. ඉතින් මට බය හිතුණා මේ දරුවා කොහොමද මහණ වෙලා මම නැතුව තනියම ජීවිතේ ගෙනියන්න කියලා. ඒත් එයා හිතාගන්න බැරි විදිහට වෙනස් වුණා.
කවීෂ් ගිහි ජීවිතයේ මොනවගේ දරුවෙක්ද?
ආගම දහමට බොහොම ලැදියි. ඒ වගේම මිනිස්සු එයාට කියන කතා එයා ගණන් ගත්තෙ නෑ. අවුරුදු දහතුනක් වුණාට මටත් හැමතිස්සෙම කිව්වෙ අම්මා මිනිස්සු මොනවා කිව්වත් හිතන්න යන්න එපා කියලා. සීයා එක්ක පුළුවන් හැම පෝයටම සිල් ගන්න ගියා. මල්ලිත් එහෙමයි. බණ ඇහුවා. එයා ධර්මය එක්ක හැසිරෙන ගමන් සමාජයේ එක්කත් ගැටුණා. විවිධ මට්ටම්වල මිනිස්සු ආශ්‍රය කළා. හැමදේකින්ම පුතා හොඳ පන්නරයක් ලබා ගත්තා.

නමුත් තමන්ගෙ දරුවෝ දෙන්නටම මහණ වෙන්න අවසර දුන්න එක ගැන කවදහරි ඔබට පසුතැවිල්ලක් ඇති වෙයිද?
කවදාවත් නෑ. මම දරුවො දෙන්නව අත්හැරියේ මුළු හදවතින්මයි. මම ඒ දේ ප්‍රගුණ කළෙත් ධර්මය නිසා. එහෙම නොවුණා නම් මම රණ්ඩු වෙලා හරි දරුවො දෙන්නව නවත්තගන්නවා. දරු සෙනෙහස නැත්තෙ නෑ. ඒක මගේ හදවතේ තියෙනවා.
දවසක ඔබටත් ගිහි ජීවිතය එපා වුණොත්…
ඇත්තටම ලොකු පුතා මහණ කරපු දවසේ මටත් හිතුණා අනේ මටත් අද මහණ වෙන්න තිබ්බා නම් කියලා. එහෙම ආසාවක් ඇත්තටම මගේ හිතේ තියෙනවා. නමුත් මං ඒක දැන්ම ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ දරුවො දෙන්නා ගැන මට තව චුට්ටක් බලන්න ඕනේ නිසා. එයාලව සාසනේට දුන්නට අම්මෙක් විදියට එයාලා යන ගමන දිහා මට ටික කාලයක් සතුටින් බලන් ඉන්න ඕනේ. දරුවො දෙන්නා සාසනේ ස්ථිර ගමනක් ගිය දවසක මමත් මගේ ගමන යනවා.
එරංදි කෞශල්‍යා ✍️