දියබත් කිව්වාම අපි එහි තිබෙන ඖෂධීය ගුණය ගැන හොඳින් දන්නවා. අතීතයේ මෙය හැම නිවසකම සාමාන්‍යයෙන් ආහාරයට ගත් ඖෂධීය කෑමක් කිව්වොත් වරදක් නැහැ. අදටත් ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන්වලට කදිම විසඳුමක් ලබාදෙන ඖෂධීය ආහාරයක් ලෙසින් දියබත් නිවසේදී ඉතා පහසුවෙන් සකස් කරගත හැකියි. නමුත් අද පවතින කාර්ය බහුල ජීවන රටාව තුළ දියබතක් සකස් කරගෙන ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා “Ready to Drink˝ පානයක් විදිහට ප්‍රෝබයොටික් අන්තර්ගත දියබත් පැකට්ටුවක් ගැන ඔබ දැනගන්න කැමැතිද? එවන් ආකාරයේ දියබත් පැකට්ටුවක් සකස් කිරීමේ ප්රයත්නයට අත තැබූ ඇය රන්දිකා ගිම්හානි.
මම රන්දිකා ගිම්හානි. මගේ ගම අනුරාධපුරය. මම ගන්තිරියාගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණා. ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හැදාරලා එතැනින් පසුව රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.
දියබත් නිෂ්පාදනයක් ගැන අදහසක් ආවෙ කොහොමද?
මම ජීවත්වෙන පළාත උෂ්ණයි. ඒ නිසා ඇඟ සිසිල් කරන්න අපි දන්නා කාලයේ පටන්ම දියබත් ආහාරයට ගන්නවා. එහි පෝෂණීය ගුණය ගැන අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා මට අත්හදා බැලීමක් වෙනුවෙන් යොමු වෙන්න හිතුණා. මම මේ නිෂ්පාදනයට අත තබන්න පෙරාතුව “ ප්‍රෝබයොටික් ” ගැන මෙතෙක් සිදුකරන තිබෙන පර්යේෂණ ගැන ලියැවුණ සාහිත්‍ය ගවේෂණ අධ්‍යයනය කළා. එහිදී විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල් අතර බත් යොදාගත් ප්‍රෝබයොටික් නිෂ්පාදන ගැන දැනගන්න තිබුණා.
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ පාඨමාලාවේදී නව නිෂ්පාදන සංවර්ධනය සඳහා අවස්ථාවක් අපට ලැබුණා. අපේ විශ්වවිද්‍යාලයේ කෘෂි හා ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ”Food Ex” නමින් වාර්ෂිකව ප්‍රදර්ශනයක් පවත්වනවා. එහිදී අපට අලුත් නිෂ්පාදන වගේම නිර්මාණ හඳුන්වා දෙන්න අවස්ථාවක් ලැබෙනවා. මෙහිදී මගේ හිතේ තිබුණ අදහස වැඩිි දියුණු කරගන්න අවස්ථාවක් ඉබේටම ඇතිවුණා.දියබත් නිෂ්පාදනය වෙනුවෙන් අපි කණ්ඩායමක් එකතු වුණා. මගේ කණ්ඩායමට නදීශා විජේසුන්දර, ලක්ශානි ජයසිංහ සහ උදේශි සමරකෝන් ඇතුළත් වුණා.

මෙම නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය…
මේ දියබත් පානය “Ready to Drink” විදිහට සකස් වුණත් මෙතැන කිසිම වෙනසක් නැහැ. අමුද්‍රව්‍ය එහෙම නැත්නම් Main Ingredient විදිහට අපි සම්ප්‍රදායික ලෙසින් දියබත් සකස් කිරීමට යොදා ගන්නා දියබත්, සුදුලූනු, ලූනු, ගම්මිරිස්, පොල්කිරි සහ වියළි මිදි වගේ දේවල් යොදා ගන්නවා. හාල් නම් පාරම්පරික සහල් යොදා ගන්නවා. ඒ සඳහා සුවඳැල්, කුරුලු තුඩ සහ නාඩු වැනි සහල් වර්ග යොදා ගන්නවා. බත උයලා පැය 12 ක් තබා Fermeítion කර ගත්තාම Probiotic එකතු වෙනවා.
මේ මිශ්‍රණයට පොල් කිරි, අමුමිරිස්, ලුණු සහ ලූනු එකතු කරගෙන පැස්චරීකරණය කරනවා. කිසිම රසකාරකයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැහැ. මගේ අත්හදාබැලීම් කීප වතාවක්ම අසාර්ථක වුණා. නමුත් මම නැවත අත්හදාබැලීම් කළා. අවසානයේදී මෙය සාර්ථක නිෂ්පාදනයක් විදිහට ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා. මේ නිෂ්පාදනය මම “ Oryzaecccoc biotic ” ( probiotic) යනුවෙන් නම් කළා.

දියබත් අසුරණය…
මුල් අදියරේදී ඒ වෙනුවෙන් බෝතල් ඇසුරුමක් යොදා ගත්තා. “ ටෙට්රා ” ඇසුරුමක් වෙනුවෙන් අදහස තිබුණත් මේ අවස්ථාවේදී ඒකට යොමුවුණේ නැහැ. නමුත් ඉදිරියේදී ටෙට්රා ඇසුරුම ගැන අවධානය යොමු කරනවා.
එතැන වාසියක් තිබෙනවාද?
ටෙට්රා ඇසුරුම එහා මෙහා ගෙන යෑමේ පහසුව තිබෙනවා. බෝතල් ඇසුරුම ගෙනියන්න අපහසුයි. ඒ වගේම විවෘත කිරීමේ අපහසුතාවත් තිබෙනවා. ටෙට්රා ඇසුරුමක් බෝතල් ඇසුරුමකට වඩා පිරිවැය අඩුයි. මේ ඇසුරුමක් සතියක කාලයක් තබාගන්න පුළුවන්. සතියකින් කල් ඉකුත් වෙනවා. ඒ වගේම කිරි ඉක්මනින් නරක් වන නිසා ශීතකරණයක තබා ගැනීමටත් අවශ්‍යයි.
මෙම නිෂ්පාදනය වැඩි දියුණු කිරීම ගැන..
මම මේ දියබත් නිෂ්පාදනයට තවත් අලුත් දේ එකතු කරන්න අදහස් කරනවා. සාමාන්‍යයෙන් අපි දන්නා දියබතට වෙනස් රස එකතු කරන්න බලාපොරොාත්තු වෙනවා. ඒ අතරට චොකලට් වැනිලා සහ ස්ට්‍රෝබෙරි වැනි රස එකතු කරන්න අදහස් කරනවා. දැනට නම් සාමාන්‍ය දියබත විදිහටයි මේ ඇසුරුම හඳුන්වා දුන්නේ. ඇසුරුමක මිලිලීටර් 250 ක් තිබෙනවා. මේ ප්‍රමාණයෙන් සෑහෙන පෝෂණයක් ලැබෙනවා. මිල රුපියල් 160 ක් විදිහට තීරණය කළා. ඒ වගේම ආමාශයටත් ගුණයි. මේ නිෂ්පාදනයේ කාබොහයිඩ්ඩ්‍රේට, විටමින්, ප්‍රෝටීන්, මේද වැනි පෝෂණ පදාර්ථ අඩංගු වෙනවා.
අපි කොච්චර ගුණ වුණත් සාමාන්‍යයෙන් නිවසක දියබත් සකස් කිරීමට උනන්දුවක් නැහැ. ඇත්ත ඒකයි. නමුත් මේ විදිහට “Ready to Drink “ ඇසුරුමක් තිබුණොත් එය මිලට ගැනීමට කවුරුත් කැමැතියි. ඒ වගේම අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයෙන් පීඩා විඳිනවා. ඒ වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර ලබාගැනීමට තරමටම මේ රෝගයෙන් පීඩා විඳිනවා. නමුත් අපේ ජන සමාජය දියබත් ගැන හොඳින්ම දන්නවා. ඒ නිසා සමාජයට හඳුන්වා දීමට එතරම් වෙහෙසක් අවශ්‍යත් නැහැ. අනාගතයේදී දියබත් පානය වෙළෙදපොළ සුලභ නිෂ්පාදනයක් වන බවට මගේ විශ්වාසයක් තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️