බොම්බයිමොටයි කියන්නේ අපි කාටත් හොඳින් හුරු පුරුදු රස කැවිලි විශේෂයක්. අප අතර බොම්බයිමොටයි නොකෑව කෙනෙකු නැති තරම්. අපි වගේම ඉන්දියාවේ බොම්බයිමොටයි ඉතාම ජනප්‍රිය ආහාරයක්. ඔවුන් මෙම සීනි රස කැවිල්ල “Buddi Ka Baal” යන නමින් හඳුන්වනවා. එහි අර්ථය වයසක කාන්තාවන්ගේ කෙස්. ඇත්තටම මේ රස කැවිල්ල සිහින් වූ කෙස් ගස් හා සමානයි. තමිල්නාඩු, කේරළය වැනි පළාත්වල බොම්බයි මොටයි වීදි ආහාරයක් වගේම උත්සව අවස්ථාවන්හිදීත් භාවිත වෙනවා.
නමුත් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනකට අනුව මෙම බොම්බයි මොටයිවලට යොදන රෝස පැහැති වර්ණ කාරයේ අඩංගු “Rhodamine B” පිළිකා කාරකයක් බැව් හඳුනා ගෙන තිබෙනවා. රසායනාගාර පරීක්ෂණ මගින් මේ බැව් සනාථ වූ සැනින්ම තමිල්නාඩු රජය විසින් “බොම්බයිමොටයි” අලෙවිය තහනම් කිරීමට සැලසුම් සකස් කර අවසානයි.තමිල්නාඩු මහ ඇමති මා සුබ්‍රමනියම් සඳහන් කරන්නේ අපි වහාම මේ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. දැනටමත් බාල සහ වැඩිහිටි වෙනසක් නොමැතිව බොම්බයි මොටයි බොහොම රස කරමින් ආහාරයට ගන්නවා. ඒ නිසා සෞඛ්යාරක්ෂිත ආහාර ප්‍රමිති පනත අනුව මේ වෙනුවෙන් තහනම් නියෝග පැනවීම කඩිනම් කිරීම අත්‍යවශ්‍යයි.
Rhodamine B බලපෑම
Rhodamine B වර්ණකය ආහාර වෙනුවෙන් වගේම රෙදි පිළි, තීන්ත සහ සුවඳ විලවුන් ආශ්රිත කර්මාන්ත සඳහාද යොදා ගන්නා වර්ණ කාරකයක්. වතුරේ දියවෙන ප්රතිදීප්තියෙන් යුක්ත මෙම රෝස පැහැති වර්ණය නිසාම ආකර්ෂණය ඇති වෙනවා. නමුත් මෙම වර්ණකාරකය නිසා මොළය ආශ්රිත රෝග, අක්මාව, ඔක්සිකරණය නිසා පිළිකා රෝග සෛල හානි වීම වැනි සෞඛ්‍ය අවදානමක් ඇති වෙනවා.
කෙටි කාලයක් වුණත් ඇති
සාමාන්‍යයෙන් අහිතකර රසායනයන්ට දිගු කාලයක් නිරාවරණය වීම නිසා පිළිකා ඇති වෙන බැව් සඳහන් වුණත් මෙම Rhodamine B වෙනුවෙන් කෙටිකාලයක් නිරාවරණය වීම නිසා පිළිකා ඇති වීමට වැඩි අවදානමක් තිබෙන බැව් වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික පුස්තකාලය සඳහන් කරනවා. මෙම විද්‍යාත්මක තහවුරුව නිසා යුරෝපය සහ කැලිෆෝනියාව වැනි රටවල Rhodamine B යොදා ආහාර සකස් කිරීම මේ වෙන විටත් තහනම් කර තිබෙනවා.
ඒ වගේම Rhodamine B අහිතකර වෙන්නේ ඉන්දියාවට පමණක් නොවේ අපේ රටේත් බොම්බයි මොටයි වෙනුවෙන් හොඳ ඉල්ලුමක් ඇති නිසා මේ ගැන දැන් සිතන්නට අපේ සෞඛ්‍ය බලධාරීන්ටත් කාලය පැමිණ ඇති බැව් සඳහන් කිරීමත් වැදගත්.
( ටෙලිග්රාෆ් ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️