ඉදිරියට අවශ්‍ය කරන ලිපි ගැන සොයමින් ඉන්න මොහොතක නොදන්නා දුරකථන අංකයෙකින් මට දුරකථන ඇමතුමක් පැමිණියා. දුරකථනය ගෙන ඇමතුමට ප්‍රතිචාර දැක්වූ පසු අනෙක් පසින් කතා කළේ සතුටින් ඉපිල ගිය පියෙක්. තමන්ගේ දියණිය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් ගැන එම පියා ඉතා සතුටින් මා සමග පැවසුවා. ඔහුගේ එම කතාවෙන් පසු එම දියණියගේ වටිනාකම තේරුම් ගත් අප ඇය වෙනුවෙන් නවලියේ පිටුවක් වෙන් කරන්න සිතුවා…
මගේ සම්පූර්ණ නම පී. එම්. හෙලනි අමන්දා පතිරාජ. මගේ වයස අවුරුදු 21 යි. මම ඉස්කෝල හතරකට ගියා. මුලින්ම ගියේ කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයට. ශිෂ්‍යත්වයෙන් පස්සෙ කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලයට ගියා. සාමාන්‍ය පෙළට කුලියාපිටිය සාරානාත් විද්‍යාලයටත් උසස් පෙළට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයටත් තමයි ගියෙ. පවුලෙ ඉන්නෙ මමයි අම්මයි තාත්තයි නංගියි.
පොඩි පංතිවල ඉද්දි තමන්ගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියල ඇහුවම ගොඩක් ළමයි කිව්වෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න, පයිලට් කෙනෙක් වෙන්න කියල. ඒත් පොඩි කාලෙ ඉඳලම මගේ හීනය වුණේ සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න. මම A/Lවලටත් කළේ සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න අවශ්‍යවන විෂයන්. මගේ මේන් ඉන්ස්ටුමන්ට් එක තමයි පියානෝ එක.
ඒත් පොඩි කාලෙ ඉඳල මම ගෙදරදි තේරෙන විදිහට එක එක කෑම ජාති හදල අම්මලට කන්න දුන්නා. ඒ හින්දම මගේ හිතේ කොණක පොඩි ආසාවක් තිබුණා සූපවේදිනීයක් වෙන්නත්. ඒලෙවල් කරල රිසාල්ට් එනකල් ඉන්න අතර මට ඕනෙ වුණා මියුසික් ඉගෙන ගන්න ගමන් තව මොනවහරි දෙයක් ඉගෙන ගන්න. මම කැමති තවත් ක්ෂේත්රයකින් ඉදිරියට යන්න ඕනෙ කියල. ඊටපස්සෙ තමයි මට සූපවේදිනීයක් වෙන්න ඕන වුණේ.
ඒකට මම තෝරගත්තෙ විලියම් ඇන්ග්ලිස් ඉන්ස්ටියුට් එකේ Commercial Cookery පාඨමාලාව. ඒ 2022 අප්‍රේල්වල. මම ආස වුණේ හොට් කිචන් එකේ වැඩ කරන්න. මෙතනට ඉගෙන ගන්න ආවට පස්සෙ තමයි මගේ හිතේ තිබුණ ආසාව තවත් වැඩි වුණේ.මම මීට කලින් ලංකාවෙදිවත් කිසිම තරගයකට සහභාගී වෙලා තිබුණේ නැහැ.
මම සහභාගී වුණ පළවෙනි තරගය තමයි මේ ජාත්‍යන්තර තරගාවලිය. මේ තරගාවලියෙ නම තමයි Young Chef Olympiad සූපශාස්ත්‍රය ඉගෙනගන්න අවුරුදු 18 – 24 අතර ළමයින්ට පමණයි මේ තරගාවලියට සහභාගී වෙන්න පුළුවන්. අපි වගේ සූපශාස්ත්‍රය ඉගෙන ගන්න සිසුන් සඳහා පැවැත්වෙන ඉහළම තරගාවලියක් තමයි මේක.
මේ තරගය ඉන්දියාවේ International Institute Of Hotel Management ආයතනය මඟින් තමයි සංවිධානය කරන්නෙ. 2024 වසරේ 10 වන වරට තමයි පැවැත් වුණේ. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ස්කොට්ලන්තය, නයිජීරියාව ඇතුළු රටවල් 60 කින් තරගකරුවන් මේ තරගාවලියට සහභාගී වුණා.
මීට කලින් අවුරුදුවල මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තරගකරුවන් 8 දෙනෙක් විතර සහභාගීවෙලා තියෙනවා. ඒත් සම්මානයක් හම්බවුණ පළවෙනි අවස්ථාව තමයි මේ.මේ තරගාවලියට යනකොට අපට කෝච් කෙනෙක් ඉන්න ඕනෙ. මගේ කෝච් තමයි සූපවේදී අරෝෂ පෙරේරා. කෝච් මට ලොකු සහයෝගයක් දුන්නා මේ තරගයට.
තරගාවලිය දවස් 9 ක් වගේ තිබුණා. ක්‍රීඩකයෝ කණ්ඩායම් 5 කට බෙදලා ඉන්දියාවේ පළාත් පහක තරග පැවැත්වුණා. අන්තිමට ඔක්කෝම තරගකරුවන් කොල්කටාවලට ආවා.තරගාවලියෙ තියෙන්නෙ විනිශ්චය මණ්ඩලය ඒ වෙලාවේ දෙන අමුද්‍රව්‍යවලට අපි ඒ වෙලාවේ ක්ෂණිකව හිතල ආහාරයක් හදන එක. අන්තිම තරගයෙ තිබුණේ රටවල් දෙකක තරගකරුවන් එකතුවෙලා එක කණ්ඩායමක් විදිහට තරග කරන එක. මගේ අනික් පාට්නර් වුණේ වියට්නාම් කෙනෙක්. අවසන් තරගයේදි ලැබුණ අමුද්‍රව්‍යවලින් අපි හැදුවා ලංකාවේ ආහාර වේලක්. ඒ තමයි ආප්ප, සීනි සම්බෝල සහ කට්ට සම්බෝල.
මට ෆයිනල්වලට සිලෙක්ට් වෙන්න බැරි වුණත් Best Ambassador Award සම්මානය සඳහා සුදුසුකම් ලැබුවා. නයීජීරියාව, නේපාලය, අසර්බජාන්, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවලුත් ඒකට තේරුණා.මට තරගයෙන් ගොඩක් දේවල් ලැබුණා. අලුත් අත්දැකීම් වගේම අලුත් යාළුවොත් මට හම්බවුණා. මට දැන් ලෝකේ වටේම යාළුවෝ ඉන්නවා. එයාලගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ ඒ රටවල්වලට ආවේණික සංස්කෘතීන්, ආහාර රටාවල විවිධත්වය අත්විඳින්න හැකියාව මට ලැබුණා.
සම්මානයක් දිනාගත්තට පස්සෙ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ලංකාවේ ඉඳන් ගොඩක් අය කතා කරල මට සුභ පැතුවා. ලංකාවට එද්දි හොඳ පිළිගැනීමක් මට ලැබුණා.මට මේ වගේ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වුණේ මගේ අම්මයි තාත්තයි නිසා. ඒ දෙන්නගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මගේ කෝච් ආරෝෂ පෙරේරාවත් මතක් කරන්න ඕනෙ. විලියම් ඇන්ග්ලිස් ඉන්ස්ටියුට් එකෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. මේ හැමදේම නිසා තමයි මට මේ ජයග්‍රහණය ලංකාවට ගේන්න පුළුවන් වුණේ.
මගේ ඉදිරි බලාපොරොත්තු තමයි කුකුරි පැත්තෙන් යන එක. ඒ පැත්තෙන් යන්න පුළුවන් උපරියටම මම යනවා. මම ගොඩක් කැමති ලංකාවේ ඉඳන් වැඩ කරන්න. ඒ වගේම මගේ හිතේ කැමැත්තක් තියෙනවා වෙන රටවල්වලටත් ගිහින් වැඩ කරන්න. මොකද එතකොට මට අලුත් අත්දැකීම් සහ අලුත් දේවල් එකතු කරගන්න පුළුවන් නිසා. මම හැමතිස්සේම අලුත් දේවල් හොයාගෙන යන කෙනෙක්.
අර්චිත ඉඳුවර ✍️