පලතුරු කොතරම් ගුණ බැව් කිව්වත් අනිවාර්යෙන් පලතුරු පංගු කීපයක් හෝ දවසකට ආහාරයට ගත යුතු බව කිව්වත් අපි ඒ ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට අනුව පුද්ගලයෙකු විසින් දිනකට අවම වශයෙන් පලතුරු ග්‍රෑම් 450 ක් වත් ආහාරයට ගත යුතුයි.
පලතුරු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය වාසි මොනවාද?
පලතුරු ආහාරයට ගැනීම නිසා අපේ සිරුරට අවශ්‍ය විටමින, මැග්නීසියම්, ෆෝලික් අම්ල වැනි පෝෂණයන් උපයා ගැනීමට පුළුවන්. පිළිකා, අධිරුධිර පීඩනය, කොලස්ටරෝල් සහ ආඝාතය වැනි රෝගාබාධයන්ගෙන් ආරක්ෂා වීමට වගේම ශරීර බර නිසි පරිදි පවත්වා ගැනීමටත් පලතුරු ආහාරයට ගැනීම ඉතා වැදගත්. නමුත් පලතුරු ඉදවීමට භාවිත කරන විවිධ කෘත්‍රිම සංයෝග නිසා බොහෝ දෙනෙක් පලතුරු මිළදී ගැනීමට බියක් දක්වනවා. පලතුරෙන් ලැබෙන ගුණයට වඩා කෘත්‍රිම ඉදවුම්කාරක නිසා ඇති වන අනතුරට බියක් දක්වනවා.
වෙළඳපොළේ තිබෙන පලතුරු කෘත්‍රිම ඉදවුම්කාරක යොදාගෙන තිබෙන බැව් හඳුනා ගැනීමට ටිප්ස්
අපේ ගෙවත්තෙන් ලබා ගත් පැපොල් ගෙඩියක් ඉදෙන ආකාරය ගැන ඔබ දන්නවා. එය යට සිට උඩට ඉදෙන ආකාරයක් තිබෙනවා. අඹ වුණත් එහෙමයි. කෙසෙල් කැනක වුණත් යට ඇවරියේ සිට ඉහළට ඉදෙන බැව් අපි අත්දැකීමෙන් දන්නවා. නමුත් කෘත්‍රිම ඉදවුම්කාරක යොදාගත් පලතුරු තැනින් තැන කහ පැහැයක් ගන්නවා.
එහෙම නැත්නම් හැම තැනම කහ පාටයි. කෘත්‍රිම රසායනික ආලේප කිරීම නිසා ඒ අන්දමේ තැනින් තැන කහ පැහැයක් ගැනීම සිදු වෙනවා. ස්වභාවික විදිහට ඉඳුනාම කෙසෙල් කැනක නටුව සාමාන්‍යයෙන් කොළ පාටයි. කෘත්‍රිම විදිහට ඉදවා ගත් කෙසෙල් කැනක නටුව කහ පාටයි.
අන්නාසි ගෙඩියක් මිලට ගන්නා විට නටුව ගැන විමසිලිමත් වෙන්න. අන්නාසි ගෙඩියේ නටුව නරක් වී ඇත්නම් එහි මැද නාරටියත් නරක් වී තිබෙන්න පුළුවන්. ඒ නිසා අන්නාසි මිලට ගන්නා විට කොළ සහිත නටුව කොටස පරීක්ෂා කරන්න. අන්නාසි විතරක් නොවෙයි කොමඩු ගෙඩියක නටුව කොටස වියලිලා නම් එය අලුත් ගෙඩියක් නොවෙයි.
පලතුරු ආහාරයට ගැනීමට පෙරාතුව ගලා යන ජලයෙන් හොඳින් සෝදන්න. පලතුරු නොසෝදා කපන්න එපා යන අවවාදය වෛද්‍යවරුන් විසින් නිතරම සඳහන් කරනවා. ඔබ නොසෝදා පලතුරක් කැපුවොත් එහි පිටත තිබෙන විෂ ද්‍රව්‍ය එහෙම නැත්නම් කෘමි නාශක වගේ සංයෝග ගෙඩිය ඇතුළට යන නිසා ආහාරයට ගැනීමට පෙරාතුව ගෙඩිය හොඳින් සෝදා ගැනීම ඉතාම වැදගත්.
මාදං, හිඹුටු වැනි වාරයට එන පලතුරු කෘත්‍රිම ඉදවීමක් සිදු වෙන්නේ නැහැ. තැලුන පලතුරු මිලට ගැනීම නිසා ඒවා ඉක්මනින් නරක් වීමට පුළුවන්. මේවා ගබඩා කිරීමේදී තද උණුසුමට නිරාවරණය වන නිසා ඒවායේ පෝෂණ සංයෝග විනාශ වීමටත් ඉඩ තිබෙනවා.
(Qura ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️