හාවඩ් විශ්වවිද්‍යාලයෙන් කියයි
ව්‍යායාම යන වචනය අප කාටත් ඉතා හොඳින් හුරු පුරුදුයි. ඒ වගේම අකමැත්තෙන් වුණත් ව්‍යායාම තමන්ගේ ජීවිතයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය බැව් අපි කවුරුත් දන්නවා.
ව්‍යායාම මගින් අපට ලැබෙන වාසි
දෛනික ජීවිතයේ සිදු කරන ව්‍යායාම මගින් අපට ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා.
ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීම (Body Mas index) ශරීරයේ හැඩය පවත්වා ගැනීම හෘදරෝග, දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම මනාව පාලනය කර ගැනීම. ආහාර ජීරණ ක්‍රියාවලිය මෙන්ම ශරීරයේ පරිවෘත්තික ක්‍රියාවලිය යහපත් තත්ත්වයක තබා ගැනීම. රුධිරය පිරිසිදු කිරීම සහ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් වීම.
ඉහත ප්රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් තෝරා ගන්නා ව්‍යායාම කීපයක්
ඇවිදීම
පිහිනීම
සෙමෙන් දිවීම
බයිසිකල් පැදීම
යෝග ව්‍යායාම
ඇවිදීම ව්‍යායාමයක් ලෙස
ඉහත දැක්වූ ව්‍යායාම ක්‍රම අතරින් ඔබට ඉතා පහසුවෙන් කළ හැකි ව්‍යායාමයක් ලෙස ඇවිදීම දැක්විය හැක. නමුත් ව්‍යායාමයක් ලෙස ඔබ ඇවිදීම ආරම්භ කළත් ඇවිදීම ආරම්භයේදිම විශ්වකර්ම ප්‍රතිඵල ලබා ගන්න බැහැ.
ව්‍යායාම කිරිමේදිත් ඒ වෙනුවෙන් වු ආරක්ෂිත පිළිවෙතක් තිබෙනවා. මෙහිදි ඇවිදීම වැනි ව්‍යායාම මගින් ඔබට කිසිදු අතුරු අන්තරාවක් ඇති වෙන්නේ නැහැ.
ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජොආන් මැක්සන් සඳහන් කරන අන්දමට දිනකට මිනිත්තු තිහක් ප්‍රාණවත් ලෙසින් ඇවිදිනවා නම් හෘදයාබාධ රෝග තත්ත්වයෙන් 30% ක පමණ නිදහසක් ලැබෙනවා.
දිනකට එක් වතාවකදි මිනිත්තු දහය බැගින් තුන්වතාවක් හෝ හතර වතාවක් ඇවිදිමෙන් ඔබ නොසිතන තරම් සෞඛ්‍යමය වාසි ලබා ගැනිමේ හැකියාව ලැබෙන බවයි.
ඇවිදිමේදී සිතන්න
ඇවිදිමේදී ඒ වෙනුවෙන් පැතැලි අඩිය සහිත සැහැල්ලු පාවහන් යුගලක් පාවිච්චි කිරිම වැදගත් වෙනවා. එවිට මාංශ පේශි වේදනාවෙන් නිදහස් වෙනවා. ඇවිදීම සෙමෙන් පටන් ගත යුතු අතර සිරුර උණුසුම් වගේම සිරුර සිහිල් කිරීමේ ව්‍යායාම වෙනුවෙන් යොදා ගන්නත් හැකියාව තිබෙනවා.
ඔබ දවසට ගමන් කළ දුර සහ ඒ වෙනුවෙන් ගත වුණ කාලය සටහන් කර තබන්න. මහන්සි ගතියක් දැනුනේ නම් එයද සටහන් කරන්න. සතියක් දෙකක් ගෙවෙන විට ඔබ ලබා ඇති ප්‍රගතිය හෝ ගැටලු පිළිබඳව අදහසක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙනවා.
ඇවිදීමේ වාසි
හාවඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ සතියකට පැය හයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇවිදීමේ යෙදුන උදවියගේ ආඝාතය වැළඳිමේ අවදානම 40 % කින් පහළ ගිය බවයි.
මොළයට රුධිරය සපයන නාළ අවහිර වීම නිසා ඇතිවන ආඝාත තත්ත්වයෙන් නිදහස් විමටත් ඇවිදීම ඉතා හොඳ ව්‍යායාමයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
තරබාරුවට තිබෙන එකම ඖෂධය ආහාර පාලනය කර ගැනීම යන සිද්ධාන්තයට වඩා ඇවිදීමෙන් ප්‍රතිඵල ලැබෙන බව දැන් හඳුනා ගෙන තිබෙනවා.
දිනකට අවම වශයෙන් පැය භාගයක්වත් ඇවිදින්නේ නම් ඔබේ සිරුරෙන් කිලෝජූල් 1000 ක ශක්ති ප්‍රමාණයක් දහනය කර ගැනිමේ හැකියාව තිබෙනවා. ඇවිදීම නිසා කාන්තාවන් පිළිකා රෝග තත්ත්වයෙන් ආරක්ෂාව ලබන බව ඇමරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.
කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අවසාන වීමත් සමගම විවිධාකාර කායික හා මානසික අපහසුතාවයන් ඇති වෙනවා. ඒ වගේම මේ කාලය තුළ පිළිකා රෝගයට ගොදුරු විමේ සම්භාවිතාවන් ඉහළයි. නමුත් ඇවිදීම මගින් මේ තත්ත්වය මගහැරවා ගන්න හැකියාවක් තිබෙනවා.
ඇට්ලන්ටාහි ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අල්පා පටෙල් මගින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට ආර්තවහරණයට පත් කාන්තාවන් 73,000 ක් සම්බන්ධ කර ගත්තා. මෙම පිරිස වයස අවුරුදු 50 සිට 75 අතර වයස පරාසයේ සිටි පිරිසක් වුණා.
වසර දහහතක් තිස්සේ මෙම අධ්‍යයනය සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යයනයේ මුල් අදියර 1992 සිට 1993 කාලයේදි පටන්ගෙන තෝරා ගත් පිරිසට ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. එහිදි ඔවුන්ගේ සාමාන්‍ය ගති පුරුදු පිළිබඳව විමසිමක් කළ අතර මේ පිරිසට සතියකට පැය හතක් ඇවිදීමට යෙදෙන ලෙස උපදෙස් ලබා දුන්නා.
ඇවිදීමේ පුරුද්ද සමග නැවතත් 1997 සිට 2009 අතර කාලයේදි ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. සතියකට පැය තුනක් ඇවිදිමේ යෙදුන කාන්තාවන්ට වඩා පැය හතක් ඇවිදිමේ යෙදුන කාන්තාවන්ට පිළිකා රෝගයට ගොදුරුවීමේ අවදානම 14% කින් අඩු වි තිබුණා.
දිගු කාලයක් ව්‍යායාම්වල නිරත වෙනවාට වඩා ඇවිදිම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව අධ්‍යයනයේ ප්‍රධානි අල්පා පටෙල් පෙන්වා දෙනවා.
ඇවිදිම නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වයෙන් නිදහස් වීමේ හැකියාව ඔබට ලැබෙනවා. අද මිලියන ගණනක් මේ රෝග තත්ත්වයෙන් පිඩා විඳිනවා.
දණහිසට සම්බන්ධ අස්ථි ගෙවියෑම වගේම ඉරියෑම නිසා ඇතිවන වේදනාකාරි තත්ත්වයට ඇවිදිමෙන් පහසුවක් ලැබෙන බව දැන් හඳුනාගෙන තිබෙනවා.
මානසික අවපීඩනයට පත්ව සිටින පුද්ගලයන්ට ඇවිදිම මගින් ගොඩනැඟෙන සැහැල්ලු මානසිකත්වය නිසා ජිවිතයට අලුත් ගොඩනැගීමක් ලබා දෙන්නට තරම් ඇවිදිමේ ශක්තිය ප්‍රබලයි.
( Harwerd edu. com ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️