BlackPinkකිව්වම හැමෝම නොදන්නවා වුණත් අපේ රටේ කෙල්ලන්ටනම් මේ බ්ලැක්පින්ක් කිව්වම තියෙන්නෙ පුදුමාකාර උන්දාමයක්. ඇත්තටම කිව්වොත් බ්ලැක් පින්ක් රැල්ලට අහු නොවුණ නව පරපුරේ කෙල්ලෙක් හොයාගන්න එකනම් කරන්න බැරි වැඩක්. අර අවුරුදු දෙක තුනකට උඩදි අම්මලට හොරෙන් පොඩි කෙල්ලො තුන්දෙනෙක් බ්ලැක්පින්ක්ලා වගේ ඇඳගෙන ගෙවල්වලින් පැනලා පාරෙ බස් එකෙන් පිටත් වුණෙත් ඔය කොරියාවෙ ඉන්න බ්ලැක්පින්ක්ලගෙ නර්තන විලාසයන් ඉගෙනගන්නයි කියනවනෙ. එහෙම වැඩ කරන අයත් ඕනතරම් මේ රටේ ඉන්නවා.
එතකොට කවුද මේ බ්ලැක්පින්ක් කියන්නෙ? කොරියාවෙ විතරක් නෙවේ මුළු ලෝකෙම ප්‍රසිද්ධම ‘ගර්ල්ස් ගෘප්’ එක විදිහට බ්ලැක් පින්ක් හඳුන්වන්න පුළුවන්. සරලවම කිව්වොත් මෙයාලා පොප් සංගීත කණ්ඩායමක්. ජිසෝ, ජෙනී, රෝස් සහ ලීසා තමයි මේ නඩේ සාමාජිකාවො හතරදෙනා. මේ සෙට් එකෙන් ජිසෝ, ජෙනී සහ රෝස් දකුණු කොරියානු තරුණියන් වුණත් ලීසා කියන්නෙ තායිලන්තයෙන් කොරියාවට ආපු තායි තරුණියක්. මෙයාලා හරි පොඩියට බ්ලැක් පින්ක් පටන්ගන්නෙ 2016 අවුරුද්දෙ. එදා පටන්ගත්තු බ්ලැක් පින්ක් අද වෙද්දි මුළු ලෝකෙම අස්සක් මුල්ලක් නෑර උන්මාදයක් ඇති කරලා ඉවරයි.

රැප් සංගීතයෙන් ගී ගයමින්, නටමින් සංගීත ලෝකය උඩුයටිකරු කරන මේ කෙල්ලො හතර දෙනා දැන් ඉන්නෙ ලෝකෙ ඉහළම තැනක කිව්වොත් මං හරි. දකුණු කොරියාවේ කාන්තා සංගීත කණ්ඩායමක පිටපත් මිලියන ගණනින් විකිණී අංක එකට පැමිණි ප්‍රථම සංගීත කණ්ඩායම වෙන්නෙත් බ්ලැක් පින්ක්. මේ වෙද්දි ඔවුන්ගේ යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාව මිලියන 69 කට අධිකයි.
ඒ විතරක් නෙවේ මේ බ්ලැක් පින්ක් කෙල්ලොන්ටම වෙන් වුණ රූපවාහිනී වැඩසටහන් පවා තියෙනවා. ඒ වැඩසටහන්වලින් පෙන්නන්නෙ බ්ලැක් පින්ක් කෙල්ලො ලෝකෙ වටේ සංචාරය කරමින් කාලෙ ගෙවන හැටි සහ දිනපතා කමින් බොමින් දවස් ගෙවන හැටි. බ්ලැක් පින්ක්ලා වගේ අඳින්න, පළඳින්නත් ලෝකෙ බොහෝ තරුණියන් දක්වන්නෙ බොහොම කැමැත්තක්.
මේ වෙද්දි ලෝකෙ ලොකුම කාන්තා සංගීත කණ්ඩායම වෙන්නෙත් බ්ලැක් පින්ක්. ඒ වගේම දකුණු කොරියාවේ සාර්ථකම කොරියන් ගෘප් එකත් මේක. ඔවුන්ගේ ප්‍රථම සංගීත ඇල්බමය වුණේ Square one ඒකෙ ඇතුළත් වුණ Whistle සහ Boombayah ගීත දෙක US Billboard world digital songs chart එකේ පළමු අංක එකේ ඇතුළත් කිරීම් වුණා.

ඊටපස්සෙ Square Two නමින් නිකුත් කරපු ඇල්බමයේ තිබුණ Playing with fire ගීතය Billboard Canadian Hot 100 වෙත ඇතුළත් වුණ පළමු කොරියානු ගීතයද වුණා.
ඒ විතරක් නෙවේ ඒ ගීතය කොරියානු කාන්තා සංගීත කණ්ඩායමක් විසින් එක්සත් රාජධානියේ කේවල ප්‍රස්ථාරයට ඇතුළු වී එක්සත් රාජධානියේ සහතිකයක් ලබාගත් පළමු ගීතය ද වුණා. ඒ වගේම ඔවුන්ගේ ගීත අතරින් යූටියුබ්හි වැඩිම නැරඹුම් වාර ගණනක් හිමිවෙන්නෙත් මේ Playing with fire ගීතයට.
ඔවුන්ගේ චිත්රාගාර ඇල්මයක් වුණ The Album සහ Born Pink දකුණු කොරියාවේ මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ කාන්තා ඇල්බමය සඳහා වූ වාර්තාවත් බිඳ දැමුවා. මේ විදිහට බ්ලැක් පින්ක් ඔවුන්ගේ වෘත්තිය ජීවිතය පුරා වාර්තා ගණනාවක් බිඳල දාලා තියෙනවා. ඔවුන්ගේ Born Pink World Tour(2022 – 2023) කාන්තා සංගීත කණ්ඩායමක් විසින් වැඩිම ආදායමක් උපයාගත් ප්‍රසංග චාරිකාව බවටත් පත්වුණා. Spotify හි වැඩිම ෆලෝවස්ලා ඉන්න කාන්තා සංගීත කණ්ඩායම වෙන්නෙත් බ්ලැක් පින්ක්ම තමයි.
බ්ලැක් පින්ක්ලට අයත් සම්මාන අතරට Golden Disc Award, Billboard music Award, People’s Choice Award සහ MTV Video Music Award වගේ සම්මාන රාශියක ඇතුළත්. මේ වෙද්දි මේ කෙල්ලො හතරදෙනා ගහල තියෙන ගේම කොච්චරක්ද කියනවනම් Forbes Korea Power Celebrity ලැයිස්තුවේ ඉහළින්ම ශ්‍රේණිගත කරලා ඉන්නෙත් One and Only…Black Pink.
එරංදි කෞශල්‍යා ✍️