සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගන්න එකේ අමුතු කතන්දරයක් තියෙනවද? නෑනේ. ගියා, බඩු ගත්තා, ආවා. එහෙම තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි ඇත්තටම සුපර් මාකට් එකකට ගිහින් බඩු ගන්න එක ඊට වඩා සංකීර්ණයි. සුපර් මාකට් එකක ඇතුළු වෙන තැන ඉඳන් රාක්ක වල බඩු අහුරලා තියෙන එක දක්වා සැලසුම් කරලා තියෙන්නේ පාරිභෝගිකයාට වුවමනා, වුවමනා නොවන හැම බඩුවක්ම ගන්න පෙළඹවීමක් ඇති කරන්න. ආන්න ඒ නිසා ස්මාට් විදියට වෙළෙඳ ප්‍රචාරණය සිද්ධ වෙන සුපර් මාකට් එකකට ගිහිල්ලා අතේ තියෙන මුදල නිකරුණේ නාස්ති කරගන්නෙ නැතුව අවශ්‍ය බඩු ටික ගන්න නම් පාරිභෝගිකයාටත් ස්මාට් වෙන්න වෙනවා. අද ඔබට කියල දෙන්නෙ එහෙම Supermarket ගිහින් බඩු ගන්න ප්‍රයෝජනවත් වෙන ටිප්ස් කීපයක් ගැන.
මුලින්ම බඩු ලැයිස්තුව
ඉස්සර කඩේට ගිහිල්ලා බඩුමුට්ටු ගන්නකොට අපේ අම්මල තාත්තල බඩු ලැයිස්තුවක් ලියපු කොලයක් අරගෙන යනවා. හැබැයි දැන් සුපර් මාකට් යන අපි එහෙම බඩු ලැයිස්තු අරගෙන යන්නෙ නෑ. අපි කරන්නෙ ට්‍රොලිය තල්ලු කරගෙන සුපර් මාකට් එකේ රාක්ක අතර ඇවිදිනව එක. එතකොට අපට පේන බඩුවලින් අරක ඕනෙ, මේක ඕනෙ කියල ට්‍රොලියට දාගන්නවා. එහෙම නැතුව ආයෙත් බඩු ලැයිස්තු හදන පුරුද්ද ඇති කරගමු. ගෙදරදී තීරණය කරමු ගෙදරට ඕන බඩු මොනවද කියලා. ඒ ටික ලියන්න ඕන ප්‍රමාණයත් එක්කම.
Special Offers
ඩිස්කවුන්ට්වලින් උපරිම ඵල නෙලාගන්න හිතුවට කමක් නෑ. හැබැයි තමන්ගේ අවශ්‍යතාවය ගැනත් හිතන්න ඕන. උදාහරණයක් විදියට එළවළු රුපියල් දෙදාහක ගත්තොත් සියට දහයක ඩිස්කවුන්ට්. හැබැයි ගෙදර ඉන්නෙ දෙන්නයි. දෙදාහක එළවළු ගෙදර ගෙනිහින් ප්‍රයෝජනයක් තියෙයිද? ඒකෙන් පන්සීයකවත් එළවළු පරණ වෙලා විසික් කරන්න වෙයිද? එතකොට අර රුපියල් දෙසීයේ ලාභේ ප්‍රයෝජනයක් තියෙයිද? මෙන්න මේවා කල්පනා කරන්න ඕන.
කෑම බීම
සුපර් මාකට් එකක තියෙන කෑම බීම වර්ග අහුරලා තියෙන්නේම අපේ ආහාර රුචිය වර්ධනය කරන විදියට. ගොඩක් වෙලාවට රිදෙන්න ෂොපින් කරන්න එන මනුස්සයෙක්, සුපර් මාකට් එකකින් නොයෙක් කෑම වර්ග බීම වර්ග අරගෙන ට්‍රොලියට දාගන්න එක පුරුද්දක්. කෑම කියන්නේ ජීවිතේ පවත්වා ගන්න ගන්න ඕන දෙයක් විතරක් නෙවෙයි. කෑමවලින් හිතත් පිරෙනවා.
අන්න ඒ නිසා අපි විශේෂයෙන්ම සුපර් මාකට් එකකදී වුවමනා සහ වුවමනා නොවන කෑම ජාති සෑහෙන ප්‍රමාණයක් ගන්න පෙළඹෙනවා. ඒකට ප්‍රතිකර්මයත් සරලයි. උඩින් කියලා තියෙන බඩු ලිස්ට් ක්‍රමය තමයි ඒකට ඕන. ගෙදරට ඕන කරන බිස්කට් වුණත් ලිස්ට් එකේම තියෙනවා නම්, ලිස්ට් එකෙන් පිට පැනලා ටොෆියක්වත් නොගන්න හිතේ පාලනයක් තියාගන්න පුළුවන් නම් හරි.
තල්ලු කරන ට්‍රොලියක්ද? අතේ ගෙනියන කූඩයක්?
සුපර් මාකට් එකකට යන ගොඩක් දෙනෙක් ඇත්තටම යන්නේ බඩු වර්ග පහ හයක් වගේ ගන්න හිතාගෙන. හැබැයි ඒකට අතේ එල්ලගෙන යන කූඩයක් ගන්නෙ නෑ බරක් නිසා. ඒකට වඩා ලේසියට තල්ලු කරගෙන යන ට්‍රොලියක් ගන්නවා. දැන් මේ ට්‍රොලිය තල්ලු කරගෙන එහා මෙහා යනවා.
ඔහොම යනකොට ට්‍රොලියේ ඉඩ තියෙන හින්දම මොන මොනවා හරි ගන්න හිතෙනවා. දන්නෙම නැතුව ට්‍රොලිය පිරෙනවා. ගන්න ආපු බඩු වගේ තුන් ගුණයක් බඩු අරගෙන අපි ගෙදර යනවා.අන්න ඒ නිසා භාණ්ඩ දෙකක් තුනක් ගන්න සුපර් මාකට් එකට ගොඩවැදුණු වෙලාවක කෙලින්ම තමන්ට වුවමනා දේ අතේ අරගෙන එන්න. භාණ්ඩ හය හතක් ගන්න වෙලාවක ට්‍රොලි හොයන්නෙ නැතුව කම්මැලි කම් නොබලා කූඩයක් අරගෙන යන්න.
හැම ඔප්ෂන් එකම චෙක් කරන්න
සාමාන්‍යයෙන් සුපර් මාකට්වල බඩු අහුරන සාස්තරයක් තියෙනවා කියල එක්ස්පර්ට්ලා කියනවා. ඒ කියන්නේ ඇස් මට්ටමෙන් තියන්නේ යම් කිසි භාණ්ඩයක වඩාත් මිලෙන් වැඩි බ්‍රෑන්ඩ් කියන එක වෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ කියන්න යන්නේ ඊට සමාන, වඩා සාර්ථක කතාවක් ගැන. අපට කෝපි එකක් ගන්න ඕන කියල. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්න කෝපි බ්‍රෑන්ඩ් තියෙනවා. එතකොට සුපර් මාකට් එකේ කෝපි තියෙන රාක්කේ ගාවට ගිහිල්ලා මුලින්ම චෙක් කරන්නේ අර හුරු කෝපි බ්‍රෑන්ඩ් එක තියෙනවද කියලා.
හැබැයි සමහර වෙලාවට ඔතන තියෙනවා ගාණෙන් අඩු කෝපි බ්‍රෑන්ඩ්. ඕන නම් අපිට ටෙස්ට් කරන්න එයින් පැකට් එකක් අරගෙන යන්න පුළුවන්. දැන් ඒ ලාභ කෝපි බ්‍රෑන්ඩ් එක අපට හරියන්නෙ නැති නම් ඒකට වියදම් කරපු මුදල අපරාදේ. ඒත් ඒ ලාබ කෝපි බ්‍රෑන්ඩ් එක උපරිම රසයෙන් යුක්ත නම් අන්න දීර්ඝකාලීන ලාභයක් එතන තියෙනවා. ඉතින් සුපර් මාකට් එකකින් බඩු ගන්නකොට අත මානයේ තියෙන, ඇස් මානයේ තියෙන බඩු අරගෙන කූඩෙට දාගන්න එපා. ඒ බඩුවම ගන්න තව තියෙන ඔප්ෂන් මොනවද කියලා පොඩ්ඩක් බලන්න.
බඩගින්නේ සුපර් මාකට් යන්න එපා
මේකත් එක්ස්පර්ට්ලා සුලභව දෙන ඔවදනක්. ඒ තමයි සුපර් මාකට් එකක ෂොපින් කරන්න හිස් බඩ යන්න එපා කියන එක. ඒ කියන්නේ බඩගින්නේ ෂොපින් ගියොත් වෙන්නේ අපට කෑම බීම ගන්න හිතෙන එක. ඇත්තටම බඩගින්නේ ෂොපින් කරන්න ගියපු වෙලාවකදී අපිට බිස්කට් තුනකින් නිවන්න පුළුවන් බඩගින්න වෙනුවෙන්, බිස්කට් පැකට් කීපයක්, ජූස් පැකට් එකක්, මුරුක්කු මික්ස්චර් පැකට් එකක්, චොකලට් එකක් වගේ මෙකී නොකී කෑම ජාති ගණනාවක්ම ගන්න හිතෙනවා.
ඒ වගේම සුපර් මාකට් හැම එකකම වගේ දැන් කාලේ තියෙන කොෆී ෂොප්වල ඩිස්ප්ලේ එකේ දාලා තියෙන පේන පේන හැම දේම ගන්න හදන්න එපා. විශේෂයෙන්ම කොෆී ෂොප් එකෙන් ගෙදර ගිහින් කන්න දෙයක් ගන්නකොට වැඩිපුර දේවල් ගන්න හිතෙන ඉඩ වැඩියි. ඒ නිසා ගෙදර ඉන්න අයට අවශ්‍ය ප්‍රමාණයට විතරක් කොෆී ෂොප් එකෙන් ගන්න දෙයක් ගන්න.
අර්චිත ඉඳුවර ✍️