ඔබ සමාජ මාධ්‍යවල නිතර උඩ පහළ යන කෙනෙක් නම් මේ කාන්තා රුව අනිවාර්යයෙන් දැක ඇති. බැලූ බැල්මට ඇත්තම කාන්තාවක් වගේ පෙනුණත් මෙය සම්පූර්ණ නිම කරල තියෙන්නෙ මැටිවලන්. ඉතින් මේ මැටි ගොඩකට ජීවය දුන් ඒ අපූරු කලාකරුවාව අපි සම්බන්ධ කරගත්තා ඒ ගැන ටිකක් කතාබහ කරන්න…
ඔබ ගැන කියලම මේ කතාව පටන් ගනිමු
මම ප්‍රසාද් ධනංජය. පොළොන්නරුව අරලගංවිල කජුවත්තෙ තමයි මගෙ පදිංචිය. අම්මයි තාත්තයි අයියලා දෙන්නෙකුයි අක්කා කෙනෙකුයි මට ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්නම ගොවිතැන් කරන්නේ. මම මූලික අධ්‍යාපනය ලැබුවේ කජුවත්ත ප්‍රාථමික විද්‍යාලයෙන්. දැන් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ අවසන් වසරේ ඉන්නේ.
මට පොඩි කාලෙ ඉඳලම ලොකු උණක් තිබුණා මූර්ති කලාව ගැන. ඒකට හේතුව වුණේ අනුරාධපුරයේ පොළොන්නරුවේ තියෙන බුදු පිළිම දැකලා මට ඇතිවුණ ආසාව. මුලින්ම නම් තාත්තා කැමති වුණේ නැහැ මම සෞන්දර්ය පැත්ත තෝරගන්නවට.
මම ගොඩක් දුක්වින්ද කෙනෙක්. ඉස්කෝලේ ගමන ඉවර වෙලා කැම්පස් පටන් ගන්නකන් තියෙන නිවාඩු කාලයෙ මම කුඹුරුවල වැඩ, කුලි වැඩ, මේසන් බාස්ලට, වෙල්ඩින් බාස්ලට අත්උදව් දෙන්න වගේ වැඩ පුළුවන් හැම වෙලාවෙම කළා.
මේ දවස්වල ෆෙස්බුක් එකේ නිතරම දකින්න හම්බෙන ඔබේ අලුත් නිර්මාණය ගැන කිව්වොත්..
මේ කලාවට කියන්නෙ ලයිෆ් මොඩ්ලින් කියල. කැම්පස් එක ෆයිනල් ඉයර් එකේ තමයි සම්පූර්ණයෙන්ම මිනිස් රූපයක් මේ විදිහට හදන්න තියෙන්නේ. මට මේ නිර්මාණය ඉවර කරන්න සති දෙකක් වගේ ගියා. තනියෙන් තමයි මම මේ මුළු නිර්මාණයම කළේ.
මුලින්ම මොඩ්ල්ගෙ මාංශපේශි වැඩ කරන විදිහ, අස්ථි කොහොමද තියෙන්නෙ ඒවා වැඩ කරන ආකාරය, ශරීරයෙ රිදම් එක වැඩ කරන්නෙ කොහොමද කියලා එතනදී අපි හොඳින් නීර්ක්ෂණය කරනවා. ඉන්පස්සෙ මොඩ්ල්ගෙ අත්වල, ඇඟිලිවල මිමි අරගෙන තියාගන්නවා.
ඊටපස්සෙ ඒ නීරීක්ෂණ අනුව මුලින්ම කම්බිවලින් සැකිල්ලක් හදලා ඒක කොහු ලණුවලින් ඔතනවා. පස්සෙ තමයි වටේට මැටි ගාලා මේක පටන් ගන්නේ. කොහොම හරි එහෙම කරපු ප්‍රොජෙක්ට් එක තමයි එකපාරටම මෙහෙම පත්තු වුණේ.
මේ හදපු නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම කලිනුත් මගේ නිර්මාණය ෆේස්බුක් දාලා තියෙනවා. ඒවටත් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. හැබැයි නොහිතපු වෙලාවක දාපූ මේ නිර්මාණයට හිතාගන්න බැරි ප්‍රතිචාර ප්‍රමාණයක් තමයි මට ආවේ. අප්ලෝඩ් කරලා දවසක් යන්න කලින් විව්ස් 2700 ක් වගේ මට ආවා. හොඳ ප්‍රතිචාර වගේම මට බැනලත් තිබුණා සමහරු. මේක නිරුවත් කාන්තා රූපයක් නිසා සමහරු රිපෝට් කරලත් තිබුණා. බනින අයට මම කියන්නෙ මේක කලාවක් ඒක ඒ විදිහට දකින්න කියලයි.
ඒ වගේම ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් තමයි මෙහෙම මොඩ්ල්ස්ලා තියාගෙන චිත්‍ර අදින එක. ඒ මොඩ්ල්ටවත් නැති ප්‍රශ්න තමයි ෆෙස්බුක් එකේ ඉන්න අයට තිබුණේ. හැබැයි මේ නිර්මාණය ෆෙස්බුක් දැම්මාම ඒ අක්කට ප්‍රශ්නයක් වෙයි කියල එයාගෙ මූණ සම්පූර්ණයෙන්ම අයින් කරලා මම මගේ හිතෙන් හාදාගත්තු වෙනස්ම මූණක් එකතු කරලා තමයි මේ නිර්මාණය අවසන් කරලා එළියට දැම්මෙ.
ප්‍රසිද්ධ වුණ නිර්මාණයට අමතරව කරපු වැඩ ඇති. ඒ ගැන කිව්වොත්…
මේ නිර්මාණයට කලින් මම කරපු ක්ලියෝපැට්රගේ නිර්මාණයක් තියෙනවා. ඒකත් මැටිවලින් නිම කරපු එකක්. ඒ වගේම සිමෙන්ති, ෆයිබර්, යකඩ, ලී සහ ගල්වලින් වගේ ඕනම මාධ්‍යකින් මට මූර්ති නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම ප්‍රමාණයක නිර්මාණයක් මට කරන්න පුළුවන්. ඒකට ඕන කරන පිරිසත් මා ගාව ඉන්නවා. ඊට අමතරව චිත්‍ර අදින එක මම කරනවා.පන්සල්වලට ඕන කරන පිළිම සහ චිත්‍ර මම කරල දීලා තියෙනවා. ඒ වගේම මම ඇණවුම්වලටත් නිර්මාණ කරනවා.
ඔබේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?
ඒ ගැන නම් කියන්න වචන නැහැ. එයාල නැත්නම් මට මෙච්චර දුරක් එන්න ලැබෙන්න නැහැ. මම කැම්පස් ආපූ මුල් කාලෙ වියදමට ඕන සල්ලි ඔක්කෝම එව්වෙ මගෙ අම්මයි තාත්තයි තමයි. එයාල මට ගොඩක් ආදරෙයි. ඉගෙනගෙන නැති වුණත් අපිට උගන්වන්න එයාල නොකා අපට ඕන කරන දේවල් අරගෙන දෙන්න මහන්සි වුණා. හොදට ඉගැන්නුවා. දැන් ඒ දෙන්නටම 65ක්. තාමත් දුක් විදිනවා. හේන් කොටනවා. ගමේ වල්අලි ප්රශ්නය තියෙනවා. වගාවල් පාළු කරනවා.
තාත්ත අදටත් රෑට පැල් රකිනවා. තවමත් හිතන්නෙ අපි ගැනම තමයි. අම්මත් එහෙමයි දවස් පුරා එයාලගෙ වැඩේ මං ගැන හොයන එක. මම දැන් ඉන්න තැන ගැන වැඩියෙන්ම සතුටු වෙන්නෙ ඒ දෙන්නා. මේ නිර්මාණයට මොඩ්ල් කෙනෙක් විදිහට මට උදව් වුණ චන්ද්‍රිකා වන්නියආරච්චි අක්කවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම මගේ පාසලේ චිත්‍ර ගුරුවරු, විශ්වවිද්‍යාලයෙ ගුරුවරු හැමෝම මට හුගක් උදව් කළා. ඒ හැමෝටම මම ස්තූති කරනවා.
ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවාද ?
මගෙ පොඩි කාලෙ ඉදලම මට තිබුණ බලාපොරොත්තුවක් තමයි මේ මූර්ති කලාවෙන් ඉදිරියටම යන එක. මම එකෙන් අඩකට වඩා දැන් ඇවිල්ලා ඉවරයි. ඉතිරි වැඩ ටිකත් මම කොහොම හරි කරනවා. අපි කරන සබ්ජෙක්ට් එකට ඉතින් රජයෙ රස්සාවක් නම් නැහැ. මම කැමතිත් නැහැ වෙන රස්සාවක් කරන්න. මේ පැත්තෙන් යන්න පුළුවන් උපරිම දුර මම යනවා. මොනදේ වුණත් මූර්ති කලාව නම් මගෙ පණ තියෙනකම් මම අත්හරින්නෙ නැහැ.
මෙහෙම අවස්ථාවක් මට ලැබුණේ මගේ නිර්මාණය ෆෙස්බුක් එකෙ ශෙයාර් කරපු අය නිසයි. ඒ වගේම මගෙ හොඳම යාළුවා චතුර අතපත්තුවත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
අර්චිත ඉඳුවර ✍️