රුපියල් පන්දාහක් අරගෙන ගෙදරින් එළියට ගියාම ආපහු ගෙදරට එන්නේ අතේ සතේ නැතුව. අද තියෙන වියදමත් එක්ක ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද? මේ විදිහට කියන ආත්ම අරගලයක ඔබ යෙදී සිටින යුගයක්. මේ වගේ අවස්ථාවකදී උපයන මුදලින් යම් කොටසක් ඉතිරි කරන්න කිව්වොත් ඔබේ හිතට සියුම් තරහක් ඇති වෙන්නත් පුළුවන්. අපට මේ අද දවස ගෙවා ගන්න අපහසුවෙන් ඉන්න කාලයක හෙට දවසක් ගැන හිතන්න පුළුවන්ද? ඔබ එසේ කියාවි ඔබ නිවැරදි විය හැකියි. නමුත් පවතින අරගලය සමග අපි ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද? කියන බවත් බුදු දහමට අනුව හිතන්න අපට පුළුවන්.
කාලය සමග අපි වෙනස් වුණා
ලෝකය වෙනස් වන විට අපිත් වෙනස් වෙනවා. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසාම අපේ බාල කාලයේ අපේ මව්පියන්ට නොතිබුණ ආර්ථික ගැටලු අද මව්පියන්ට ඇති වෙනවා. එදා තිබුණ සරල සමාජය තුළ මව්පියන් වගේම දරුවන් ලද දෙයින් සතුටු වුණා. නමුත් අද තත්ත්වය එසේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කළ අන්දමට ඌණෝ ලෝකෝ අතිත්ථෝ තණ්හා දාසෝ ( ලෝකය අසම්පූර්ණභාවයෙන් යුක්තයි. තණ්හාවේ දාසයෙක්ය පුද්ගලයා ලද දෙයින් සතුටු වන්නේ නැහැ. යම් දෙයක් ලැබුණාම එතැනින් නවතින්නේ නැහැ.
තවත් දෙයක් නැති දෙයක් වෙනුවෙන් තැවෙනවා. තමන්ගේ ජීවන තත්ත්වය දියුණු කර ගැනීම වෙනුවෙන් එක් එක් ඉලක්ක ගොඩනගා ගෙන ඒවා ඉෂ්ට කර ගැනීමට යොමු වීම වරදක් නැහැ. ඒත් තමන්ගේ හැකියාව අනුව ඒ ගැන වෙහෙසෙන්න ඕන.බොහොම අමාරුවෙන් නිවසක් ගොඩනගා ගත් පුද්ගලයෙකු එයින් සෑහීමට පත් නොවී තවත් තට්ටුවක් එකතු කර ගන්න වෙහෙසෙනවා. නමුත් අද ඒ වෙනුවෙන් ඔහුට හැකියාවක් නැහැ. ඒත් ඔහුගේ අවශ්‍යතාවය වෙනුවෙන් දිවා රාත්‍රි තැවෙනවා. අපේ සමාජයේ කියනවා වගේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන අපට ඇති හැකි අයුරින් කටයුතු කරනවා නම් ජීවිතයේ ආර්ථික අපහසුතාවයන් බොහෝ දුරට අවම කර ගන්න පුළුවන්.
අල්පේච්ඡ බව
අපේ ජීවිතය සරල විදිහට ගොඩනගා ගන්න අපටම පුළුවන්. නමුත් බොහෝ විට අපි සරල නැහැ. මඟුල් ගෙයකට ආරාධනාවක් ලැබුණොත් ඒ දෙන ත්‍යාගයේ වටිනාකමට වඩා ඇඳුම් වලට වැය කරනවා. මීට ඉස්සර ඇන්ද සාරිය ඒ අය දැකල තියෙනවා. එදා ආව කාණ්ඩයමයි අදත් මුණ ගැහෙනවා. ඒ නිසා තියෙන සාරි අඳින්න බැහැ. දරුවන්ටත් හොඳට අන්දවාගෙන යන්න ඕන. අලුතින්ම ඇඳුම් ගන්න ඕන. වාහනයක් හයර් කරගෙන යන්න ඕන. ඒකත් ටිකක් හොඳ වෙන්න ඕන. නැත්තං එතැනට ගිහින් බහින්න ලැජ්ජයි.
කී දෙනෙක් බලාගෙන ඉන්නවාද?නමුත් මේ සේරම උත්සව ශාලාවට ඇතුළු වෙනකම් විතරයි. එතැනින් පසුව ඔබ ගැන කාගෙවත් අවධානයක් නැහැ. අනවශ්‍ය වියදම් නිසා ඔබට උත්සවයට දෙන ත්‍යාගයට වඩා කොතරම් මුදලක් වැය වෙන්න ඇතිද? ඊළගට ඔබ මැසවිලි නගනවා. මාසයකට මඟුල් ගෙයක්, මළ ගෙයක් ආවොත් හමාරයි. නමුත් සමාජ යුතුකම් ඉටු කිරීම අවශ්‍යයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලද පංච බළි මගින්ද සමාජයේ පැවැතිය යුතු අන්තර් සම්බන්ධතාවයන් ගැන කියැවෙනවා.
රාජ බළි
(රජය වෙනුවෙන් කළ යුතු යුතුකම් )
ඥාති බළි
(ඥාතීන් වෙනුවෙන් කළ යුතු යුතුකම්)
පුබ්බපේත බළි
(මියගිය ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් කළයුතු යුතුකම්)
අතිති බළි
(නිවසට පැමිණෙන ආගන්තුකයන් වෙනුවෙන් කළ යුතු යුතුකම්)
දේවතා බළි
(තමන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කළ යුතු යුතුකම්)
මෙම පංච අතර එන එක් කාරණාවක් ලෙස “ඥාති බළි“ ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේක. සැබැවින්ම යුතුකම් ඉෂ්ට කිරීමේදී අපේ තරාතිරම පෙන්වන්න අවශ්‍ය නැහැ. සරල පැවැත්මෙන් අන්තර් සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවා නම් අද වගේ කාලයක ඔබ අනවශ්‍ය අන්දමින් අසීරුතාවයට පත් වන්නේ නැහැ.
ලද දෙයින් සතුටු වන්න
යථා ලාභ සන්තුට්ඨි’ නිතරම නොලද දෙය ගැන දුක් වෙන්න එපා ඔබට ලද දෙය ගැන සතුටු වෙන්න. සපත්තුවක් නැතුව හඬන ඔබ දෙපා අහිමි පුද්ගලයෙක් දෙස බලන්න. එවිට ඔබට සපත්තුව නැති අඩුව දැනෙන්නේ නැහැ. නමුත් අපි නිතරම අනුන් දෙස බලා දුක් වෙනවා. එහා ගෙදර උදවිය වාහනයක් ගත්තාට ඔබේ නිවසේ තියෙන මෝටර් බයිසිකලය අදට ඇති හැකියාවක් ලද දිනක ඔබ මෝටර් රථයකට යන්න එය කිසිම ගැටලුවක් නොවෙයි. අනුන් කළ පළියට නොව ඔබට හැකි අන්දමින් ජීවිතය ගොඩනගා ගන්න. ලද දෙය ගැන නිතරම සතුටු වන්න.
ඔබේ කැපවීම වැදගත්
මේ අසීරු යුගයක ඔබේ පැත්තෙන් කැප වීම පුරුදු කරන්න. වෙනදා ව්‍යංජන හතරක් පහක් හදා ගත්තා නම් අද එය ක්‍රමයෙන් දෙකකට සීමා කරන්න. දුෂ්කර අනාගතයට මුහුණ දීමේ ශක්තියක් ලැබෙනවා. මුහුණු පොතේ එක් පෝස්ටුවක් තිබුණා එක මාළුවෙක් පුංචි වතුර වළකට වැටෙනවා. මාළුවා ඒ වළේ කැරකි කැරකි වළක් හාරාගෙන වැල්ලේ ඇදෙනවා. එහෙම යද්දී මාළුවාගේ කොරපොතු ගැලවිලා ලේ ගලනවා. නමුත් මාළුවා නැවතුනේ නැහැ. ලේ ගලන සිරුරෙන් තව දිගට යනවා. අවසානයේදී මුහුදට එකතු වෙනවා.
දැන් මාළුවාට සතුටුයි. අර තරමට දුෂ්කර ක්‍රියාවක යෙදුනත් දැන් මාළුවාට මුහුදේ සුවසේ කාලය ගෙවන්න පුළුවන්. අන්න ඒ වගේ අපිත් අද දවසේ දුෂ්කර කාලය වෙනුවෙන් කැප කිරීම පුරුදු කරමු. එවිට ආර්ථික වශයෙන් වූ දුෂ්කර කාලපරිච්ඡේදයට මුහුණ දීම එතරම් අපහසු කාර්යක් වෙන්නේ නැහැ.
ඔබේ වපසරියට අනුව දරුවන් පවා හැඩගසා ගැනීම වැදගත්. ඔබට ලබා ගත නොහැකි වුණ සමාජය දරුවන් ලවා ග්‍රහණය කර ගැනීමට අද දෙමව්පියන් තමන්ට දරාගත නොහැකි බරක් කර පින්නා ගන්නවා. නගරයේ ජාත්‍යන්තර පාසලට දරුවා යවනවා. අවසානයේදී දරුවාට ඒ සමාජ පරිසරයට අනුව අවශ්‍යතාවයන් ලබා දෙන්න ඔබට අපහසුයි. දරුවා මව්පියන් ගැන තරහක් ඇති කර ගන්නවා. මම පංතියේ කොන් වෙනවා යැයි මව්පියන්ට දොස් නගනවා. ඒ නිසා නිතරම ඔබේ අද දවස අනුව සැලසුම් ගොඩ නගා ගන්න.
දැන් බොහෝ දෙනා ක්ෂණික මුදල් හොයන්න යනවා. අන්තිමේදී මුදල් සොයන තණ්හාව ඔස්සේ හඹා යනවා. මුදල් උපයන විවිධ ජාවාරම් වෙනුවෙන් ආයෝජනය කරන්න තමන්ගේ දේපල පවා උගස් තබනවා. අන්තිමේදී ඔවුන් තව තවත් ආර්ථික ප්‍රපාතයට වැටෙනවා. ඒ නිසා නිතරම බුද්ධිමත් වන්න. ඔබේ වපසරිය හඳුනා ගන්න. අද දවසේ ඔබේ ජවයෙන් උත්සාහවන්තව කටයුතු කරන්න. සාධාරණ ඉපැයීමෙන් ජීවිතය ගොඩනගා ගන්න.
කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල
ශ්‍රි ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය,
කඩවත ”සිතු රුවන”මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ
අනුශාසක පූජ්‍යපාද ශාස්ත්‍රපති කොටියාගල සීවලී ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️