අපේ මොන දේ කියන්නත් අපිට ඇහුම්කන් දෙන කෙනෙක්ව තෝරගන්නෙ අපිමනෙ. නමුත් සමහර ප්‍රශ්න තියෙනවා අපි අපේ අම්මා තාත්තට කියන පිට කෙනෙක්ට කියනවට වඩා අපේ ජීවිතේට ළඟම දෙන්නට ප්‍රශ්නයක් කියන එක හොඳයි. නමුත් දෙමාපියන්ට වුණත් දේවල් කියන්න කලින් අපි හිතන්න ඕන දෙයක් තමයි එයාලට ඒ ප්‍රශ්නෙ භාරගන්න, දරාගන්න පුළුවන්ද කියන එක. මේ කියන දේ පාසල් වියේ දරුවන්ට අදාළ නෑ. අදාළ වෙන්නෙ තරුණ දරුවන්ට සහ වැඩිහිටියන්ට විතරයි. දරුවෙක් වුණාම ඕනම ප්‍රශ්නයක් ආවම ඇවිත් කියන්න ඕනෙ අම්ම තාත්තට තමයි. එතකොට තමයි දෙමාපියෝ අපිට නිවැරදි විසඳුම් හොයලා දෙන්නෙ.
නමුත් වැඩිවියට පත්වෙන්න වෙන්න තමයි මේ ගැටලුව අපිට අදාළ වෙන්නෙ. අම්ම, තාත්තා ඕනම වෙලාවක ලෑස්තියි තමන්ගෙ දරුවන්ට සීමාවකින් තොරව ඕනම ප්‍රශ්නයකදි උදව් කරන්න. නමුත් ඔවුන් වුණත් ඇතැම් ප්‍රශ්න දිහා බලන්නෙ ආදරේ පෙරදැරි කරගෙන. එහෙම වුණාම තමන්ගෙ දරුවන්ගෙ පැත්තෙ තියෙන වැරදි පේන්නෙ නැති වෙන්නත් පුළුවන්. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වැරදි නිගමනවලට එළඹෙන්නත් පුළුවන්. දරුවන්ගෙ ප්‍රශ්න දරාගන්න බැරුව මානසික ප්‍රතිකාර ගන්න දෙමාපියො මට මුණගැහිලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ සමහර ප්‍රශ්න තියෙනවා අම්මලට උත්තර හොයන්න බැරි.
ප්‍රශ්න කියන්න අපි තෝරගන්න අනිත් කොට්ඨාසය තමයි තමන්ගෙ සහෝදර සහෝදරියො. සහෝදරයෝ කියන්නෙ මිල කරන්න බැරි වටිනාකමක් තියෙන තමන්ගෙම අය. ඒ අය ප්‍රශ්නෙට බැහැලා ප්‍රශ්නෙ දිහා හොඳට බලලා උත්තරේ හොයනවා. ඒ වගේම නෑදෑයෝ, හොඳම යාළුවන්ටත් අපි අපේ ප්‍රශ්න, පෞද්ගලික දේවල් කියන අවස්ථා තියෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදි ඔවුන්ගේ මැදිහත් වීම ඕනවට වඩා වැඩිවෙන්නත් පුළුවන්.
නෑදෑයො තමන්ට දැනමුතුකම් දෙන්න එන්නෙ අපි ප්‍රශ්නයක් කිව්වම අපේ දෙමාපියන් හරහා. සමහර වෙලාවට දෙමාපියන්ටත් වඩා ඉහළින් ඇවිත් දැනමුතුකම් දෙනවා. ඒ වගේම මුළු පරම්පරාවම ඒ දේ ගැන දැනගන්නවා. ඒකෙ ගැටලුව එන්නෙත් ඔයාටමයි. නෑදෑයින්ගේ අනවශ්‍ය මැදිහත්වීම් නිසා තමන්ගේ ජීවිතේ හානිකරගන්න තැත්කරපු දරුවො පවා ඉන්නවා.
මුලින්ම තමන්ට තියෙන ප්රශ්නයේ ස්වභාවය මොනවගේද කියලා දැනගන්න ඕනෙ. අපි හිතමුකො අපේ හොඳම යාළුවෙක්ට අපි ප්‍රශ්නෙ කියනවා කියලා. ඒ යාළුවා අපිව හොඳටම දන්න යාළුවෙක් වෙන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න අපිත් එක්ක එකටම ඉන්න, අපි ගැන හොඳටම දන්න යාළුවා අපි ගැන එළියෙ ගිහින් කියන හැමදේම අනිත් අය පිළිගන්නවා කියලා. මොකද පිට අය හිතනවා ‘ආ… එයානෙ හොඳම යාළුවා. එයා තමයි අහවලාගෙ දේ ගැන හොඳටම දන්නෙ’ කියලා. හොඳම යාළුවා ජීවිතේට ආශිර්වාදයක් වෙන්න පුළුවන් වගේම ජීවිතේට ලොකු සාපයක් වෙන්නත් පුළුවන්.
අපි අපේ ජීවිතේට ඇති වුණ ප්‍රශ්නයක් හෝ තමන්ගෙ පෞද්ගලික දෙයක් ගිහින් විශ්වාසනීය හොඳම යාළුවට හෝ යාළු කාණ්ඩයට කියනකොට එයාලා හොඳට අහගෙන ඉන්නවා. යාළුවන්ට ප්‍රශ්න කියල ජීවිතේ ගොඩදාගත්ත අනන්තවත් ඉන්නවා. ඒ වගේම ප්‍රශ්නෙ හොඳට අහගෙන ඉඳලා ජීවිතේ තිබුණ වටිනම දේවල් නැති කරලා ගිය යාළුවො ඊට වඩා වැඩියෙන් මේ ලෝකෙ ඉන්නවා.
හොඳම උදාහරණ හොඳම යාළුවොත් එක්ක බිස්නස් එකක් පටන් අරන් නැති නාස්ති වුණ අය කොච්චර ඉන්නවද? හොඳම යාළුවට තමන්ගෙ බිරිඳගෙ ප්‍රශ්න පවා කියන්න ගිහින් අන්තිමේ බිරිඳව අරගෙන යාළුවො කොච්චර ඉන්නවද? ඒ වගේ හොඳම යාළුවො නිසා ජීවිතේ වටිනම දේවල් අහිමිකරගත්ත අය ඉන්නවා.
අපේ ‘හොඳම’ ලිස්ට් එකේ ඉන්න අයටත් ප්‍රශ්න කියනකොට, එයාලා කොච්චර ඇහුම්කන් දෙනවා වුණත් අපි පරිස්සම් වෙන්න ඕනෙ. ඔය සේරම පැත්තකින් තිබ්බම තවත් පිරිසක් ඉන්නවා තමන්ගෙ ප්‍රශ්නවලට ආගමික නායකයින්ගෙන් උත්තර හොයන. ආගමික ස්ථානයකට ගිහින් අපේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බෑ. නමුත් අධ්‍යාත්මයක් ලබන්න පුළුවන්. මනස ඒකාග්‍රතාවයට පත්කරගන්න පුළුවන්. එතකොට ප්රශ්නය විනිවිදව දකින්න පුළුවන්. නමුත් ආගමික ස්ථානවලින් උත්තර හොයන්න ගියොත් අපි එතනදිත් අමාරුවෙ වැටෙනවා.
අපිට ව්‍යාපාරයක් පටන්ගන්න අවශ්‍යනම් අපි යන්න ඕනෙ ආර්ථික උපදේශකවරයෙක් ගාවට. නැත්නම් ඒ ඒ ක්ෂේත්රයන්ට අදාළ නිපුණතාවයක් දක්වන නෑදෑයෙක්, යාළුවෙක් ඉන්නවනම් එයාලා එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන්.
මුලින්ම ප්රශ්නය හොඳින් ඇනලයිස් කරගන්න. පවුලේ හෝ දරුවන්ගේ ප්‍රශ්නයක්නම් මානසික උපදේශකවරයෙක්ව මුණගැහෙන්න. සමහර ප්‍රශ්න තියෙයි නෑදෑයෝ එක්ක, යාළුවො එක්ක කතා කරලා විසඳුම් ගන්න පුළුවන්.
නමුත් හැම ප්‍රශ්නෙම උත්තර නෑ වගේම ඔයාගෙ ප්‍රශ්නෙ කියන කෙනා ඒ ප්‍රශ්නෙ සුරක්ෂිතව ආරක්ෂා කරන කෙනෙක් නොවෙන්නත් පුළුවන්. අපි ප්‍රශ්න කියන්න තෝරගන්න පුද්ගලයෝ මත තමයි අපේ අභිමානය නැති වෙන්නෙත්, ආර්ථිකය වගේම මානසිකව කඩාගෙන වැටෙන්නෙත්. අපි අපේ දේවල් කියනකොටනෙ එයාලා ඇහුම්කන් දෙන්නෙ. ඒ නිසා හැම ඇහුම්කන් දෙන්නෙකුටම හැමදේම කියන්න යන්න ඕනෙ නෑ.
මනෝ චිකිත්සක
මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ
එරංදි කෞශල්‍යා ✍️