දේශපාලඥයෙකුගේ ජනප්‍රියත්වයට වගේම ඔවුන් අපකීර්තියට පත් වීමට එතරම් කාලයක් අවශ්‍ය නැත. මේ අන්ත දෙක අතර ඔවුන්ගේ දෝලනය සැනින් සිදු විය හැකිය. ඒ වගේම යම් පුද්ගල චරිතයක් දේශපාලන වශයෙන් මහජන විශ්වාසයෙන් ගිලිහෙන විට ඒ තැනට ආදේශවන්නාට අතිමහත් ජනප්‍රියත්වයක් ඇති වීමත් දේශපාලන භුමිකාවේ ස්වභාවයයි.
පසුගිය සතියේ ප්‍රංශයේ නව අගමැති ලෙසින් පත් කරන ලද ග්‍රේබියල් අතාල් ගැන ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඊට වඩාත් සමීපම හේතුව වන්නේ ඔහුගේ ආකර්ෂණීය පෙනුම සහ තාරුණ්‍යයයි. බොහෝ දේශපාලනඥයින් වයසත් සමග පරිණත වූ පුද්ගලයන් නිසා නව අගමැති අතාල් සමාජයේ වැඩි ආකර්ෂණයට පත් තරුණයෙක් බවට මේ වනවිටත් පත් වී අවසන්. තවමත් 34 හැවිරිදි වියේ පසුවන ඔහු උසට සරිලන මහතකින් සහ ප්‍රියමනාප වූ පෙනුමකින් යුක්ත තරුණයෙකි.
École alsacienne පෞද්ගලික පාසලේ මූලික අධ්‍යාපනය ලත් අතාල් 2008 සිට 2011 දක්වා වූ කාලයේදී Science Po විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගන්නා ලදි. 2012 වසරේදී මහජන සම්බන්ධතාවයන් වෙනුවෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.
අපට ඔහු අලුත් වුණත් දේශපාලනයට අලුත් නැත
අපි අද අතාල් ගැන කතා කරන්නේ ඔහුගේ ප්‍රියමනාප පෙනුම සමග සහ ප්‍රංශයේ අගමැති ලෙසින් තේරී පත්වීම නිසාය. නමුත් ඔහු ප්‍රංශයට අලුත් නැත. ඔහු අගමැති වීමට ප්‍රථම ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරන ලදි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරයා ලෙසින්ද කටයුතු කර තිබේ. එමෙන්ම අතාල් ප්‍රංශයේ ප්‍රථම සමලිංගික අගමැතිවරයා බවත් වාර්තා වේ.
ප්‍රංශයේ අගමැතිනිය ලෙසින් ඒ වනවිට කටයුතු කළේ කාන්තාවක්. ඇය එලිසබෙත් බෝර්න්ය. පසුගිය කාලයේදී ප්‍රංශයේ සිදු කරන ලද විශ්‍රාම සංශෝධන, සංක්රමනික නීති පිළිබඳ ගැටලු නිසා එලිසබෙත් බෝර්න් විශාල අභියෝග රැසකට මුහුණ දුන්නාය. ප්‍රංශ පාර්ලිමේන්තුව තුළ ඇයට බහුතරයක් නොමැති වීම නිසා නිරන්තරව අරගල ඇති විය. මේ නිසා අවසානයේදී ඇය අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. ඇගෙන් හිස් වූ අගමැති තනතුර වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයි වන එම්මානුවල් මැක්රෝන් විසින් ග්‍රේබියල් අතාල් නම් කරන ලදි.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/01/Gabriel-Attal-l-homme-presse.jpg)
ප්‍රංශ ජනාධිපතිවරයා විසින් අතාල් ආමන්ත්රනය කරන්නේ “Baby Macron” යන සුරතල් නමින්ය. හුරතලයට වඩා එම්මානුවෙල් ජනාධිපතිවරයා විසින් අතාල්ගේ ජනප්‍රියත්වයෙන් අයුතු ලෙසින් ප්‍රයෝජන ගැනීමට ඉඩ ඇති බවත් ප්‍රංශයේ දේශපාලන විචාරකයන් විසින් සඳහන් කර තිබෙනවා. දේශපාලනය තුළ තරුණයෙකු සහ නව සංකල්ප දැකීම අලුත් දෙයක් සඳහා තීරණ ගැනීමේදී මැක්රොන්ගේ ආධිපත්‍යය තුළ නව අගමැතිවරයාද අසරණ වනු ඇති බවටත් විවේචන එල්ල වී තිබෙනවා. මැක්රොන්ගේ රූකඩයක් බවට අතාල් පත් වුණොත් ඔහුගේ දේශපාලන පෞර්ෂය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙනු ඇත. රට වෙනුවෙන් වූ ජනාධිපතිවරයාගේ අනාගත ව්‍යාපෘතිය අතාල් විසින් ඉතා සාර්ථකව ඉදිරියට ගෙනයනු ඇති බැව් තමාගේ විශ්වාසය බව මැක්රොන් ජනාධිපතිවරයාගේ පුනරුද පක්ෂයේ ප්‍රධානී සිල්වේන් මයිලර්ඩ් සඳහන් කරනවා.
වාර්තාවක් බවට පත්වීම
මේ වනවිට ග්‍රේබියල් අතාල් ප්‍රංශයේ අගමැති තනතුරට පත් ලාබාලම අගමැතිවරයා ලෙසින් වාර්තාවක් තබා ඇත. 1984 වසරේදී ප්රංශුවා මිතරොන් විසින් ලෝහා ෆැබියුස් අගමැති තනතුරට පත් කරන ලදි. ඒ වනවිට ෆැබියුස්ගේ වයස අවුරුදු 37 කි. නමුත් අද වනවිට අගමැති තනතුර දරන අතාල්ගේ වයස අවුරුදු 34 ක් වීම නිසා ඔහු විසින් පැවැති වාර්තාව බිඳ දමා ඇත.
මම ඔබගේ හැකියාව සහ ශක්තිය ගැන දන්නවා. ඔබ ප්‍රංශයට නව පුනර්ජීවනයක් විය හැකි බැව් මා විශ්වාස කරනවා. යැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවල සමාජ මාධ්‍ය ඔස්සේ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. කොහොම වුණත් ප්‍රංශ ජනතාව නව අගමැතිවරයා ගැන විශ්වාස තබා තිබුණත් ඔහු ජූනි මාසයේ පැවැත්වෙන මැතිවරණයෙන් ජය ගත යුතුය. එහිදී අතාල් ඉදිරියේ විශාල අභියෝගයක් ඇත.
ඔහු බහුතර මනාප ලබා ජයග්‍රහණය කළොත් මේ ලබා ගත් ආකර්ෂණය තව දුරටත් ආරක්ෂා වනු ඇත. එසේ නොමැතිව පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගැනීමට අසමත් වුවහොත් දේහ ආකර්ෂණයට පමණක් ප්‍රංශ ජනතාව මුලා නොවන බවට වූ පණිවිඩය සමාජගත විය හැක.
(රොයිටර් පුවත් ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️