ගීතයෙන් මුළු ලොවක් වසඟයට ගත් පොප් රජු ලෙස විරුදාවලි ලත් මයිකල් ජැක්සන් අදටත් ලොව පුරා වෙසෙන ඔහුගේ රසික රසිකාවියන් අතර අමරණීය චරිතයක්. මයිකල්ගේ කොන්සර්ට් එකක් බලන්න දවස් ගණන් දුර ගෙවාගෙන ලෝකෙ එහා කෙලවරේ ඉඳන් පවා ආපු රසිකයෝ හිටියා. ඔහුව එක්වරක් හෝ සිපගන්න, වැළඳගන්න පොරකාපු මහ විශාල ජනකායක් හිටියා. එහෙව් උන්මාදයක් රසිකයන් අතර ඔහු වෙනුවෙන් තිබුණා.
මේ කියන්න යන්නෙ ලෝකෙන් බාගෙකට වැඩිය ආදරය කළ මේ අපූරු ප්‍රේමවන්තයා එක්ක ඔහුගේම ගීතයක ඔහු එක්කම එකට රංගනයේ යෙදෙන්නට වාසනාවන්ත වූ ශ්‍රී ලාංකික යුවතියක් ගැනයි. ඇය නමින් යමුනා සගරසිවම්. Black or White සින්දුව බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැකලා ඇති වාහන යන එන පාරක මයිකල් ජැක්සන් පත්තරයක් දිගෑරගෙන ඉද්දි රතු පාට ලස්සන සාරියක් ඇඳන් ඔඩිසි නර්තනයේ යෙදෙන යමුනාව. නර්තනය අතුරතුරේ මයිකල් දිහා බොහොම ආදරණීය බැල්මක් හෙලන කළු කෙල්ලව.
1991දි ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ Black or White ගීතයේ ඔඩිසි නර්ථනාංගය කරන්නට වාසනාව ලැබුණේ ඇයට. විනාඩි 11 ක් පමණ දිවෙන ගීතයේ තත්ත්පර 22 ක පුංචි කාලයට සම්බන්ධ වෙන්න නැට්ටුවො 3000 ක් ඇය පැරදෙව්වා. සින්දුවෙ නම් ඒක හරි පුංචි කෑල්ලක් වුණාට පැය 14 ක් තිස්සෙ නටලයි ඇය ඒ අවස්ථාව තමන්ගෙ කරගත්තේ.
යමුනා ඉපදුණේ යාපනයේ. නමුත් අවුරුදු 09 දි ත්‍රස්තවාදී කලබල හේතුවෙන් ඇගේ මුළු පවුලම ඇමෙරිකාවට යනවා. අවුරුදු 06 ඉඳලම සම්භාව්‍ය නර්ථනය, භරත නර්ථනය හැදෑරූ යමුනා ඇමෙරිකාවෙදිත් එය අත්හැරියෙ නෑ. ඒ නිසාමයි ඇයට ලේසියෙන් කෙනෙකුට හිමි නොවන මේ දුර්ලභ අවස්ථාව ලැබෙන්නෙත්.
යමුනා කියන්නෙ මයිකල් ජැක්සන්ගේ හොඳ රසිකාවියක්. ඒත් ඇයවත් හිතුවෙ නෑ මයිකල් ජැක්සන්ගේ ගීතයක රංගනයේ යෙදෙන්නට තියා ඔහුව ජීවමානව දකින්නවත් ඇයට අවස්ථාවක් ලැබේවි කියලා. Black or White කියන්නෙ විවිධ සංස්කෘතික අංග රැසකින් සමන්විත වුණු ගීතයක්.
මේ වෙනුවෙන් මයිකල් ජැක්සන් නර්තන ශිල්පීන් කැඳවූ අවස්ථාවේ ඒ සඳහා යමුනාත් අයදුම් කළා. දවසක් යමුනාව මේ ගීතයට තෝරාගෙන ඇති බවට දුරකථන ඇමතුමක් ලැබුණා. ඇමතුම දුන්න පුද්ගලයා එක්ක සුහදව කතා කරලා රිසීවරය පැත්තකින් තියපු ඇය ටික වෙලාවක් ඇය ඉදිරියේ තිබූ බිත්තිය දෙස ඔහේ බලාගෙන හිටියා. පස්සෙ සතුට දරාගන්න බැරි තැන හයියෙන් කෑගැහුවා.
අවසානයේ ඇයගේ දවස උදාවුණා. ඇයට මුලින්ම කරන්න තිබුණේ මයිකල් එක්ක ශාලාවක නර්තය පුහුණු වෙන්න. ඇයට කරන්නට තිබූ පුංචි කොටස හරිම විදිහට එනකල් පැය 12 ක් මයිකල් ජැක්සන් එක්ක පුහුණුවීම් කරන්න ඇයට සිද්ධ වෙනවා. පැය 12 ක ශාලා පුහුණුවීම්වලින් පස්සෙ තිබුණේ සීතල එළිහනේ පුහුණුවීම්.
මේ වෙද්දි දින ගණනාවක පුහුණුවීම් නිසාම මයිකල් සහ යමුනා අතර හොඳ අවබෝධයක්, මිත්‍රත්වයක් ගොඩනැගිලා තිබුණා. එතැන් පටන් පුහුණුවීම් සඳහා යමුනා පැමිණෙන සෑම දිනකම ඇය සහ මව වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් යමුනාගේ ගේ ඉස්සරහට එවන්න මයිකල් අමතක කළේ නෑ.
වරක් සීත කාලයක එළිමහනේ රූගතකිරීම් සිදුකෙරුණු අවස්ථාවක යමුනාගේ මව වෙනුවෙන් උණුසුම් බ්ලැන්කට්ටුවක් ගෙන එන්නටත් මයිකල් ජැක්සන්ම ගිය අවස්ථාවක් ගැන යමුනා මාධ්‍ය සාකච්ඡාවක පවසා තිබුණේ මයිකල් ගැන උපන් හද පිරි ආදරයකින්. “මයිකල් හරිම කරුණාවන්ත, නිහතමානී පුද්ගලයෙක්. ඔහු සමඟ වැඩ කිරීම මට ඉතාම විශේෂ කටයුත්තක් වුණා.” ඇය වැඩිදුරටත් එසේ කියා තිබුණා.
සම්පූර්ණයෙන්ම පැය 14 ක පුහුණුවීමකින් අනතුරුව ලොස් ඇන්ජලීස්හි අධිවේගී මාර්ගයක් වසා අවසාන රූගත කිරීම් ආරම්භ වුණා. පසුබිමට නිශ්පාදන කණ්ඩායම විසින් යොදාගත් රියදුරන් සහ වාහන පමණක් යොදාගත්තා. යමුනා ඔඩිසි නර්ථන ශිල්පිණියක් විදිහට නර්තනයේ යෙදෙද්දි මයිකල් ජැක්සන් ඔහුගේම විදිහේ නර්තනයක යෙදෙනවා. නමුත් ටික වෙලාවක් යද්දි ඔහුත් යමුනා ලෙසම ඔඩිසි නර්තනයේ යෙදී අවසානයේ දෙදෙනාම සිනාසී මුහුණට මුහුණ බලාගෙන නර්තනය අවසන් කරනවා.
ඒ විදිහට එදා රටවල් 27 ක මිලියන 500 ක ප්‍රේක්ෂක පිරිසක් වෙත එළිදැක්වූ Black or White ගීතයේ එක් නර්තනාංගයක් ලංකාවේ කෙල්ලෙක් කරනවා. යමුනා මේ ගීතයට සම්බන්ධ වෙන්නෙ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ නැටුම් හා මානව විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටි අවදියේ.
මේ වනවිට ඇය නිව්යෝර්ක්හි නසාරෙත් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් ලෙස සහ එම විශ්වවිද්‍යාලයේම කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන වැඩසටහනේ අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කරනවා.
ඒ වගේම යමුනා ඇමෙරිකාවට වටින ලේඛිකාවක්. සංගීත විද්‍යාව සහ කාර්ය සාධන අධ්‍යයන සම්මන්ත්‍රණවලදී Black or White ගීත වීඩියෝවේ අඩංගු විවිධත්වය, සංස්කෘතික ඒකාග්‍රතාවය සහ අන්තර් ජාතික ආකෘතීන් වැනි තේමා අදටත් ඇයගේ ප්‍රධාන මාතෘකා වෙනවා.
එරංදි කෞශල්‍යා ✍️