නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිත සුවපත් කරන්නත් සිත පාරවන්නත් වචනයට පුළුවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සිත සුවපත් කරන්නත් සිත පාරවන්නත් වචනයට පුළුවන්

Published January 15, 2024

පරිස්සමෙන් කතා කරන්න

මානෙල් සුවඳමය – කුඩමසු පිළී ගඳමය
දෙකට එක විලමය – හොඳට නරකට දෙකට කටමය

මානෙල් මල් පිපෙන්නේද පිළීි ගඳ ඇති මසුන් හැසිරෙන්නේද එකම විලකය. එසේම අපේ වචන නිසා පුද්ගලයෙකගේ මනස සුවපත් කිරීමට මෙන්ම මානසිකව බිඳ දැමීමටද හැකිය. බුද්ධ දේශනාවන්හි වචන භාවිතය සහ භාවිතයේදී ඇති කර ගත යුතු හික්මීම පිළිබඳව නිරන්තරව සඳහන් වේ.

වචන භාවිතයේදී හික්මීම ඉතා වැදගත්

සමාජයේ ජීවත්වන අප සන්නිවේදනය පවත්වා ගැනීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස වචන භාවිත කරමු. වචන භාවිතයේදී මුසාවාදය හෙවත් බොරු කීම, පරුෂ වචන, කේලම් බස් කීම සහ හිස් වචන භාවිතයෙන් වැළකීමේ ඇති වැදගත්කම පිළිබඳ බුදුරජාණන්වහ්නසේ දේශනා කොට තිබේ. බොහෝ විට බොරු කීම විශාල අකුසලයක් ලෙසින් නොසිතා එය සරලව සලකති. එහෙත් ජාතක පොතේ සඳහන් “කපිල” මාළුවාගේ මුඛ දුර්ගන්ධයට හේතු වූයේද පෙර ආත්ම භවයන්හි බොරු කීමේ අකුසල කර්මයන්හි විපාකය බව සඳහන් වේ.

එසේම ලෝවැඩ සඟරාවේ සඳහන් මේ පද්‍ය අනුව විහිළුවකට පවා බොරු කීම සුදුසු නැති බව මනාව පැහැදිලි වේ.ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා නැතුව සෘද්ධි බලයෙන් ඒ මිනිස්කයා පොළොව පළාගෙන ගොස් වැටුණි නරකයා මෙළොව සතුනි ඉන් බොරු කීම නරකයා මුසාවාදයෙහි කර්ම විපාක කොතරම් බලවත්ද යත් සෘද්ධි බලයෙන් යුක්ත රජෙකු විසින් විහිළුවට බොරු කීමේ විපාකය නිසා ඒ අසහාය සෘද්ධි බලය පවා නැති වී විපතට පත් වූ බව දැක්වෙන සිදුවීම් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

පරුෂ වචන කීම

තවත් පුද්ගලයකු මුල් කරගෙන සිත තුළ උපන් ද්වේශය හෙවත් තරහව නිසා පරුෂ වචනයෙන් ආක්‍රෝශ පරිභව කිරීම සිදු වේ. අතීතයේදී සිදුවීම් බොහෝ විට මුහුණට මුහුණ සිදු වූවත් වර්තමානයේ සමාජ මාධ්‍ය භාවිතය මගින් සහ අන්තර්ජාලයේ විවිධ අවස්ථා භාවිත (Social Media Platform) සහ සම්ප්‍රදායික ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිත කරමින්ද එකිනෙකාට පරුෂ වචනයෙන් පරිභව කිරීම නින්දා කිරීම, අවමන් කිරීම, හෙළා දැකීම වෙනස් කොට සැලකීම වැනි ද්වේශ සහගත සිදුවීම් දකින්නට ලැබීම 21 වන සියවසේ ඩිජිටල්කරණය වූ ස්මාර්ට් සමාජයක ජීවත්වන අපට කොතරම් සුදුසු වන්නේදැයි සිතා බැලිය යුතුය.

මෙවැනි ආකාරයෙන් පරුෂ වචන භාවිත කොට කෙනෙකු හිංසනයට පත් කිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේදැයි වඩාත් සිතා බැලිය යුතුය. විශේෂයෙන් මුහුණු පොත ඔස්සේ මෙවැනි වෛරී ප්‍රකාශන සිදු කොට ආගමික භේද, පවුල් සංස්ථා අවුල් කිරීම, ආයතන සහ පුද්ගලයින් අපකීර්තියට පත් කිරීම නිසාම ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ අංශයට ලැබෙන පැමිණිලි කොතරම් තිබේද? අනෙකුගේ දුක කැමති නොවන ආගමික ශික්ෂණයන්ගෙන් හික්මුණු නීතිගරුක පුරවැසියෙකු ලෙසින් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකිය.

සමාජ මාධ්‍යයේ අරමුණ තේරුම් ගැනීම

සමාජයේ ජීවත්වන විට සහජීවනයෙන් ජීවත්වීම ඉතා වැදගත් වේ. ජාති, කුල, ආගම්, ලිංගිකත්වයන් සහ ප්‍රදේශයන් මුල් කරගෙන පරතරයන් ගොඩනඟා ගැනීම සහ වෙනස් කොට සැලකීම කිසිසේත්ම අනුමත කිරීමට නොහැක. එමෙන්ම සමාජ මාධ්‍ය යනු අපට එකිනෙකාට නිග්‍රහ කිරීමට සහ හෙළා දැකීමට සහ වෛරී ප්‍රකාශනයන් සමාජගත කිරීමට ඇති මාධ්‍යයක් නොවේ. තොරතුරු සන්නිවේදන තාක්ෂණයට අනුව අද ලෝකයම පුංචි ගම්මානයක් බවට පත්ව තිබේ.

සමාජ මාධ්‍ය තුළින් පුද්ගල සම්බන්ධතාවයන් සහ ආදරය, කරුණාව සහිත කළ්‍යාණ මිත්‍රත්වය වර්ධනය තහවුරු කර ගැනීම වඩාත් පහසු වී තිබේ. නමුත් මෙම සමාජ මාධ්‍ය ඔබ කිසිම විටකදීවත් වෛරී සහගතව අනුන්ට පහර ගැසීමට, හෙළා දැකීමට වෙනස්ව සැලකීමට භාවිත කිරීම සුදුසු නැත. “පරුෂ වචනයෙන් වැළකීම” බුදුරජාණන්වහන්සේ විසින් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අනුදැන වදාළ බව සිහි තබා ගැනීම ඉතාම වැදගත්.

හිස් වචන කතා කිරීම

හිස් වචන හෙවත් දෙලොවටම වැඩක් නැති කතා කිරීමෙන් වැළකී වාග් සංවරය ගොඩනඟා ගැනීම ඉතාම වැදගත්. එයින් අදහස් වන්නේ අප එකිනෙකා අතර කතාබහ නොකර සිටීම නොවේ. පුද්ගලයන් අතර අන්තර් සන්නිවේදනය වෙනුවෙන් කතාබහ කිරීම, සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ඉතාම වැදගත්. නමුත් මෙහිදී අපේ ස්වයං විනයක් පනවා ගැනීම අත්‍යවශ්‍යයි. තව කෙනෙකු හෙළා තලා පෙළා කතා කිරීම, අනවශ්‍ය අන්දමින් ඔවුන්ගේ චරිත ඝාතනය වන පරිදි කටයුතු කිරීම වැනි පැවැතුම් නිසා සමාජයේ පුද්ගලයන් අතර විවිධ මත ගැටුම් ඇති වේ. අවසානයේදී ඒවා මත ගැටුම්වලට සීමා නොවී එයිනුත් ඔබ්බට ගොස් සදාකාලික වෛරකාරයන් පවා බිහිවන තරම් හිස්වචනවලින් ඔබට ලැබෙන විපාක ප්‍රබල වේ.

කේලම් කීම

හිස්වචන කතාබහ නිසා ඔබට ලැබෙන තොරතුරු වේගයෙන් සමාජගත වේ. සමහර විට ඒවා කේලාම් ලෙසින් තවත් අයෙකු බිඳවීමට පවා හේතු වේ. කේලම් කීමේ විපාක ලෝවැඩ සගරාවේ දැක්වෙන මෙම පද්‍යයෙන් මනා සේ පැහැදිලි වේ.

පිසුණු කියා සඟ දෙනමක් භේදකොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතව විඳි ගැහැට
පිසුණු බසක් නොකියව් අද පටන් සිට

අදටත් කේලම නිසා ඇති වන සමාජ ප්‍රතිවිපාක ගැන ඔබටත් අත්දැකීම් තිබිය හැකය. ආයතන ප්‍රධානියා තමා වෙතට ආකර්ෂණය කර ගැනීමේ ඇති හොඳම මාධ්‍ය ලෙසින් කේලම් කීම අද පුරුද්දක් බවට පත්ව තිබේ. ඔවුන් ඒවා කියන්නේත් මම මේ දේ කියන්නේ හිතවත් කමට යනුවෙන් වූ සුමට ස්වරූපයෙන්ය. ඒහෙත් ඔවුන්ගේ අරමුණ වන්නේ මෙතෙක් ඔවුනොවුන් අතර පවතින මිත්‍රත්වය, හිතෛෂීබව බිඳ දැමීම බැව් ඔවුන්ගේ හෘද සාක්ෂිය මැනවින් දනි. අද දවසේ කුමන හෝ පටු වාසියක් මත ඔවුන් කේලම් කියමින් ඔවුනොවුන් අතර පවතින විශ්වාසය බිඳ දමා සතුටු වුණත් එයින් ලැබෙන විපාක නම් සුළුපටු නැත.

සතර සංග්‍රහ වස්තු

පුද්ගල පැවැත්මට හේතු වෙන දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු අනුව ප්‍රියවචනයට ලැබෙන්නේ වැදගත් ස්ථානයකි. මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් පවා ප්‍රියවචනයට කැමති බැව් නන්දිවිසාල ජාතකයේ සඳහන් වේ. දඬුවම් දීමෙන් පවා මෙල්ල කර ගැනීමට අපහසු පුද්ගලයන් ප්‍රිය වචනයෙන් දමනය කර ගැනීමේ හැකියාව පවතී. මේ බව විවිධ පර්යේෂණයන් මගින් පවා පෙන්වා දී තිබේ.

එක් උදාහරණයක් සඳහන් කරන්නේනම් පාසල්වල විනය විරෝධී කටයුතු නිසා දඬුවම් ලබා දී දරුවන්ට පංති තහනම, පාසලෙන් අස් කිරීම වැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ. මේ ආකාරයේ දඬුවම් නිසා දරුවන් තව දුරටත් නොමග යන බැව් ඔහියෝ විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනය මගින් පෙන්වා දී තිබේ.

නමුත් එවැනි විනය විරෝධී දරුවන් සමග කතා බහ කරමින් ඔවුන්ට සවන්දීම මගින් විනය විරෝධීව හැසිරෙන දරුවන් ඉතා පහසුවෙන් සුමගට යොමු කර ගත හැකි බැව් මෙම අධ්‍යයනය මගින් පෙන්වා දී තිබේ. ඒ නිසා නිතරම ප්‍රියවචනයෙන් කතා කිරීම බොහෝ අයගේ හදවත් සුවපත් කිරීමේ ඇති බුද්ධ මන්තරයක් බැව් සලකා කටයුතු කළ යුතුය.

රාජකීය පණ්ඩිත
පූජ්‍ය කරවිලකොටුවේ
ධම්මතිලක හිමි
සහකාර අධ්‍යක්ෂ ( පිරිවෙන් ),
අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය, බත්තරමුල්ල

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: buddhism, Social Media Platform, සිත
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?