එදින මා හට රෝහල තුළ තරමක් කාර්යබහුල දිනයක්. හදිසියේ ආ දුරකථන ඇමතුමකට කාලය ලබා දෙන්නට මට සිදුවුණේ එය මා දන්නා මහාචාර්යවරයකුගෙන් වූ නිසාම නොවේ. “හදිසි ප්‍රතිකාර ඒකකයට අමාරු ලෙඩෙක් ඇවිල්ලා ඇති පොඩ්ඩක් බලලා පුළුවන් දෙයක් කරලා දෙන්න.” උදේ පාන්දර 6.30 සිට සවස 6 පමණ වනතුරු සෑම දිනකම නොකඩවා රෝහල තුළ රෝගී සත්කාරයේ යෙදෙන මා හට නොයෙකුත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙම ඉල්ලීම බහුලව ලැබීම සාමාන්‍ය දෙයක්.
ඉක්මණින් හදිසි ප්‍රතිකාර ඒකකයට පියමන් කළ මා හට දක්නට ලැබුණේ ගැඹුරු, දීර්ඝ හුස්ම ගනිමින් ජීවිතයේ අවසන් හෝරා කිහිපය සමඟ පොර බඳින අසරණ රෝගියෙක්. ඔහු සිටි ඇඳ පසෙක තරුණයන් දෙදෙනකු එහි සිටි වෛද්‍යවරයා හට යමක් විස්තර කරමින් සිටි අතර මාගේ පැමිණීමත් සමඟ ඒ සැමගේ අවධානය මා වෙත යොමුවුණා. ඔවුන්ට සාවදානව සවන් දීමෙන් රෝගියාගේ විස්තර බොහෝමයක් දැනගන්නට ලැබුණා.
“ඩොක්ටර්, මේ අපේ මාම කෙනෙක්. එයාගේ නෝනා එළියේ වාඩිවෙලා ඉන්නේ. මාමට අමාරු වෙලා මාසයක්වත් නෑ. එයාව බලපු ඩොක්ටර්ස්ලා කිව්වේ හොඳ කන්න බැරි පිළිකාවක් එයාගේ ලිවර් එකේ තියෙනවා කියලා. කරන්න දෙයක් නැති හින්දා ගෙදර එක්කගෙන යන්න කිව්වා. ඊයේ ඉඳන් එයාට හොඳටම අමාරුයි. අපි ඊයේ නැන්දට ලෙඩේ ගැන කිව්වා. එයාට එකපාරට වගේ ෂොක් එකක් ආවා. කලන්තෙ දාලා වැටුණා.”
මේ රෝගියාට “සිරෝසිස්” නම් අක්මාවේ ඇතිවන දරුණු රෝගී තත්ත්වයක් ඇති බවට මාසයකට පමණ කලින් හඳුනාගෙන තිබුණා. සිරෝසිස් ඇති රෝගීන්ට එම රෝගී තත්ත්වය නිසාම අක්මාවේ පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. මෙම රෝගියාට මෙම රෝගී තත්ත්වයන් දෙකම ඇති වී තිබුණා. අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනකම් බොහෝවිට රෝග ලක්ෂණ කිසිවක් මතුවෙන්නෙ නැතිව බොහෝ කාලයක් පවතින්න පුළුවන්. හැබැයි අක්මාව අකර්මණ්‍ය වූ විට රෝගියාට ජීවත් වෙන්න පුළුවන් ඉතාම කෙටි දින ගණනක් පමණයි. මෙම රෝගියා ගතකරමින් සිටියේ මෙන්න මේ අවස්ථාවයි.
ඉතා ඉක්මනින් බොහෝ දේ කළ යුතුව තිබුණා. පළමුව රෝගියාගේ බිරිඳට කරුණු පහදා දී මේ මොහොතේ කළ යුතු වැදගත්ම ප්‍රතිකාරයන් පිළිබඳ කැමැත්ත ලබාගත යුතුව තිබුණා. ඇයව ඇගේ ඥාතීන් කිහිපදෙනකු ද සමඟ හිඳුවා කරුණු විමසීමට පටන් ගත්තා.
“මහත්තයගේ තත්ත්වය ගැන දැනට මොන වගේ දෙයක්ද දන්නේ?”
“ඊයේ මේ ගොල්ලො කියනකම් පිළිකාවක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ. මාසෙකට කලින් හොඳටම හිටියා. මාසෙක ඉඳලා බලාගෙන ඉද්දි අමාරුව වේගයෙන් වැඩි වුණා.”
“මහත්තයාගේ දැන් තත්ත්වය ගැන නිවැරදි තොරතුරු දැනගන්න කැමතිද?”
“ඔව් ඩොක්ටර්. කියන්න. තියෙන දේවල් හංගලා වැඩක් නෑනේ”
“එයාට හොඳ කරන්න බැරි තත්ත්වයට පත්වුණ ලෙඩ දෙකක්ම තියෙනවා. එකක් අක්මාව අකර්මන්‍ය තත්ත්වයටම පත්කරපු සිරෝසිස් රෝග තත්ත්වය. අනෙක සිරෝසිස් නිසා ඇතිවුණ ලිවර් කැන්සර් එක.”
ඇගේ නෙත්වලින් කඳුළු ගුලි කිහිපයක් ඇද හැලුණා. එහෙත් ඒ වේදනාව යටපත් කරගත් ඇය නැවතත් කතා කරන්න පටන් ගත්තා.
“හොඳ කරන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ කියලා මට තේරෙනවා. එතකොට මොකක්වත්ම කරන්න බැරිද ඩොක්ටර්.”
“ලෙඩාටත් එයාගේ පවුලේ අය වෙනුවෙනුත් කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඒවා ඉක්මනටම කරන්න ඕනේ. අපට තියෙන කාලය ගොඩක් අඩු නිසා. මෙවැනි සුවකළ නොහැකි තත්ත්වයට පත්වූ රෝග නිසා ජීවිතයේ අවසාන දින කිහිපය ගත කරන රෝගීන්ට ලබාදෙන සත්කාරය, සහන සත්කාරයේ (Palliative Care) ඇති අදියර තුනෙන් අවසාන අදියරේ සත්කාරයි. ඒකට “Terminal Care” කියල කියනවා.”
මේ ප්‍රතිකාර ක්රමයේ ඇති වැදගත්ම දෙයක් තමයි රෝගියා පීඩාවට පත්කරන අනවශ්‍ය ප්රතිකාරවලින් වැළකී සිටීම. මෙවැනි රෝගියකුගේ හෘදය වස්තුව හදිසියේ නතර විය හැකියි. එවිට හෘද සම්බාහනය ( Cardiac Massage) ලබාදුන්නාය කියා රෝගියා නැවත යථා තත්ත්වයට පත්වන්නේ නෑ.
එමඟින් බොහෝවිට සිදු වන්නේ රෝගියාට අනවශ්‍ය වද වේදනාවන්වලට ලක්වෙමින් ජීවිතේ අවසන් තත්පර කිහිපයත් පීඩාවන්ගෙන් මිරිකෙමින් විඳවන්නටයි. හදිසියේ පෙනහලු අක්‍රීය වුවහොත් කෘත්‍රිමව ශ්වසන මාර්ගයට බට දමා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවලට සම්බන්ධ කිරීමෙන්ද සිදුවන්නේ රෝගියාගේ පීඩාවන් දිගු කිරීම පමණයි.
තවද මෙයින් පැහැදිලි වන්නේ මෙවැනි රෝගීන් දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කිරීමෙන් කිසිදු වාසියක් රෝගියාට අත් නොවන බවයි. කෙසේ නමුත් මෙවැනි රෝගීන් දැඩිසත්කාර ඒකකයට දැමිම මගින් රෝගියාගේ ජීවිතයේ අවසන් මොහොතේදීත් පීඩාවන් රැසකට ලක්කිරීම වළක්වන්නට බැහැ.
“ඔයාගේ මහත්තයා නිරෝගීව හිටිය කාලේ, මේ වගේ තත්ත්වයකට පත්වුණොත් කළයුතු, නොකළ යුතු දේ ගැන නිකමටවත් කියලා තිබුණද? මොකද දැන් එයාගෙන් මේව අහන්න බෑනේ. එයාගේ සිහිකල්පනාව නැති නිසා.”
“මේ ගැන නම් කෙලින්ම මොකුත් කියලා නෑ. හැබැයි හරි අමුතු දෙයක් නම් වුණා. මාස 2 කට විතර කලින් එයා එක පාරටම සිහි නැතිවෙලා “කෝමා” එකකට ගියා. අපි එයාව ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඩොක්ටර්ස්ලා ගොඩක් මහන්සි වෙලා එයාව බේරගත්තා.
හැබැයි එයා නම් කීවේ ජීවිතයේ එයා විඳිමින් හිටිය සුන්දරම අත්දැකීම එයාට නැතිකරා කියලා. ඒ වෙලාවේ එයා පුදුම සතුටකින් හිටියේ කීවා. එයාව බේරගත්ත එක ගැන ලොකු තරහකිනුයි හිටියේ. මම ඒත් ඇහුවා මෙච්චර ආදරෙන් ගොඩක් කාලයක් එකට හිටපු මාව දාලා යන්න දුක හිතුනේ නැද්ද කියලා.
එතකොට එයා කිව්වේ පිස්සුද අනේ ! ඔයාව ඒ වෙලාවේ මතක් වුණේවත් නෑ. මම හිටියේ වෙනමම ලෝකෙක කියලා.
මේ කරණුවලින් මරණය පිළිබඳ රෝගියාගේ අදහස් ගැන යම් අවබෝධයක් ලබාගැනීමට මා හට හැකි වුණා.
“ඒ කියන්නේ මරණය ඒයාට අපි හිතනවට වඩා සුන්දර අත්දැකීමක්.”
“එහෙම වෙන්ඩ ඇති ඩොක්ටර්.”
“හරි අපි කවුරුත් තේරුම් අරන්නෙ තියෙන්නේ එයාගේ මරණය වළක්වන්න පුළුවන් එකක් නොවන බව. හැබැයි අපිට පුළුවන් එයා එතැනට යනකම් කිසිම වද වේදනාවක් නැතිව සුව පහසුවෙන් තියන්න. ඒකට ඔයාලා කැමතිද?”
“වද වේදනා විදින්නෙ නැතිව ජීවිතයේ අවසන් කාලය ගතකරන්න තියනවා නම් කොච්චර දෙයක්ද? අපි ඒකට කැමතියි ඩොක්ටර්”
“මේ වෙලාවේ එයාට වේදනාව නැති කරන්න තිබෙන හොඳම බෙහෙත මෝෆීන් (Morphine) . හැබැයි ඒක පෙත්තක් විදිහට කටින් ගන්න මේ වෙලාවේ එයාට බැහැ. ඒ නිසා හමට යටින් ස්ථානගත කරපු ( Sub Cutaneous) කැනියුලා එකක් මඟින් එන්නතක ආකාරයට ලබාදෙනවා. මේ වෙලාවේ ශ්වසන මාර්ගයේ එකතු වන දියර සෙම විදියට පිටකරන්න එයාට ශක්තියක් නැහැ.
ඒවා ශ්වසන මාර්ගයේ එකතු වෙනවා (Terminal Secretions). සකර් දාලා ඒවා ඉවත් කරන්න ගියොත් එයාට ලොකු වේදනාවක් ඇතිවෙනවා. ඒ නිසා ඒ දියර වියළීමට බෙහෙතකුත් අර කැනියුලා එකෙන්ම දෙනවා. බැරි වෙලාවක්වත් එයා මේ වෙලාවේ කලබලකාරී හැසිරීමක් (Terminal Agitation) පෙන්නුම් කරොත් ඒකටත් අර කැනියුලා එකෙන්ම බෙහෙතක් දෙන්න පුළුවන් එයාව කලබල නැතිව තබන්න.”
ජීවිතයේ අවසන් දින කිහිපය ගත කරන රෝගියකුට බෙහෙත් හෝ කෑම දීමට නාසයෙන් අමාශය තෙක් දමන බට දැමීමත්, ශ්වසන මාර්ගයේ එකතුවන ශ්‍රාවයන් ඉවත් කිරීමට සකර් එක යොදාගැනීමත්, කලබලකාරී හැසිරීමත් පෙන්නුම් කළොත් අත් පා ගැටගසා තැබීමත් දෙතිස් මහා වද බන්ධනයන්ට ලක්කිරීමක් වැනියි. එබැවින් ශිෂ්ට සම්පන්න සමාජයක ඉහත ප්‍රතිකාර මගින් මේ පීඩාවන්ගෙන් අසරණ රෝගීන් ආරක්ෂා කර තිබෙනවා.
ඉහත රෝගියාට ජීවිතයේ තවදුරටත් ඉතිරිව තිබුණේ හෝරා කිහිපයක් පමණයි. ඒ කෙටි කාලය තුළ ඔහු වෙනුවෙන් කළ යුතු ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ වතාවත්, ඥාතීන්ගෙන් ඉටුවිය යුතු සමාජීය යුතුකම් සියල්ලත් හැකි පමණින් ඉටුකර දීමට අපට හැකි වුණා. තවද රෝගියා කිසිදු කායික පීඩාවකට ලක් නොකර ඉතා සුව පහසුව ඒ අවසන් කාලය ගත කිරීමට ඉඩ සලසා දුන්නා.
ශ්‍රී ලංකාව තුළ දිනකට මේ ආකාරයට කීදෙනෙක් නම් අවසන් ගමන් යනවා ඇත්ද? මේ සියලු දෙනාටම ඉහත රෝගියා අත්විඳි සුවපහසු අත්දැකීම ලබාගත හැකිද? බොහෝමයක් රෝගීන්ට මේ කාලයේදී රෝහල්ගත වීම ඉතාම දුෂ්කරයි.
තවද රෝහල් ගතවුවද ඉහත ආකාරයේ “Terminal care” එකක් ලබාදීමට අප රටේ රෝහල් තුළ ඊට හිතකර වටපිටාවක් තිබේද? මහා බි්රතාන්ය වැනි ලෝකයේ දියුණු රටවල්වල නම් තම නිවස තුළම මේ සියලුම පහසුකම් ලබාගැනීමේඅවස්ථාව ප්‍රජා සෞඛ්‍ය සේවාවන් මඟින් ලබාදෙනවා.
නමුත් ශ්‍රී ලංකව තුළ මීට අත්‍යාවශ්‍යම ඖෂධය (මෝෆීන් එන්නත) රෝහල්වලින් පිටත ප්‍රතිකාර සඳහා යොදාගැනීමට නීතිමය අවසරයක් තවම නෑ. තවද රෝහල් තුළ පවා අනවශ්‍ය ලෙස දැඩිසත්කාර ඒකක තුළ මෙවැනි රෝගීන් විශාල ප්‍රමාණයක් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවලට සවි වී අප්‍රමාණව දුක් විදිනවා. ඔවුන්ට මේ දුක කියාගැනීමට හැකියාවක් නෑ.
මේ පීඩාවන්ගෙන් ඉවත්වීම සඳහා (Extubation) නීතිමය ආවරණයක්ද ශ්‍රී ලංකාව තුළ තවමත් නෑ. මේ නිසාම තමයි හොඳ මරණයකට හිමිකම් කීමේ හැකියාවේ ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 90% කටත් වඩා ලබා මහා බි්රතාන්යය පළමු ස්ථානයේ සිටින විට ශ්‍රී ලංකාව ලකුණු 20% ක් තරම් අඩු ප්‍රමාණයක් ලබා ශ්‍රේණිගත කිරීමේ ඉතා පහළ ස්ථානයක සිටින්නේ.
මේ කාරණාව ගැන සමාජ සංවාදයක් ඇති විය යුතුමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ප්‍රජාව, පූජ්‍ය පක්ෂය, නීති සම්පාදකයින්, දේශපාලනය කරන උදවිය යන මේ සියලු දෙනාම ඉහත කාරණා ගැන බුද්ධිමය සංවාදයක යෙදි ප්‍රයෝගිකව කටයුතු කළ යුතුයි. එසේ නොකර සිටියහොත් අප සියලු දෙනාගෙම ජීවිතයේ අවසන් දින කිහිපය හිතනවාට වඩා බොහෝ සෙයින් අඳුරු විය හැකියි.
හරින්දී ලියනගේ ✍️