ආසාදිතයකුගෙන් දින 10ක් තුළ ගොනෝරියා බෝවේ
ගොනෝරියා (Neisseria gonorrhea) යනු ඉතාම සුලබ ලිංගාශ්‍රිත රෝගයක්. මේ රෝග තත්ත්වයට පත් රෝගීන් අපට නිතරම වාර්තා වෙනවා. ගොනෝරියාව බැක්ටීරියා ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඇතිවන්නක්. මෙය ලිංගික හැසිරීම් නිසා බෝවන රෝගයක් වන අතර ආසාදිතයෙකු සමග ලිංගිකව හැසිරී දින 1- 10 ක් වැනි කාලයක් තුළ රෝග ලක්ෂණ මතුවේ.
රෝග ලක්ෂණ
පිරිමි පාර්ශ්වය
ගොනෝරියා රෝග තත්ත්වයෙන් ආසාදිත වුණ පිරිමි පුද්ගලයෙකුගේ මුත්‍රා මාර්ගයෙන් සැරව හෝ ඝන ඝ්‍රාවයන් පිටවෙනවා. ඒ වගේම රෝගියාට මුත්‍රා කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා.
කාන්තා පාර්ශ්වය
අස්වභාවික ඝ්‍රාවයන් පිටවීම
යටි බඩ ප්‍රදේශයේ වේදනාව
මුත්‍රා දැවිල්ල
ශ්‍රෝණි ආශ්‍රිත ආසාදනය
සැරව ගෙඩි
ශරීරය පුරා බැක්ටීරියාව ව්‍යාප්ත වීම
නිසා ඇති වෙන හන්දි වේදනාව
නමුත් සමහර අවස්ථාවන්හිදී ආසාදිතයෙකු වුණත් රෝග ලක්ෂණ නොපෙන්වා සිටින අවස්ථාවන්ද තිබෙනවා.
ගොනෝරියාව නිසා ඇති වෙන සංකුලතාවයන්
පිරිමි පුද්ගලයෙකුගේ නම් වෘෂණ කෝෂ ඉදිමීම (epididymis) පුරස්ථි ග්‍රන්ථි ආසාදනය (prostate) මේ අවස්ථාවන්ට ප්‍රතිකාර නොකළහොත් බැක්ටීරියාව ශරීරය පුරාම ව්‍යාප්ත වීමට පුළුවන්. ඒ වගේම හන්දි වේදනාව ඇති වීමට හැකියාව තියෙනවා.
ගොනෝරියා රෝග තත්ත්වය හඳුනා ගන්නෙ කෙසේද?
පලපුරුදු වෛද්‍යවරයෙකුට සැරව සහිත ඝ්‍රාවයන් දුටු විට මේ රෝග තත්ත්වය හඳුනා ගැනීමට පුළුවන්. ඒ කෙසේ වෙතත් රෝගය ස්ථිර කර ගැනීම සඳහා මෙම ඝ්‍රාව සාම්පලයන් අන්වික්ෂයකින් පරීක්ෂා කිරීමෙන් බැක්ටීරියාව දැක ගත හැකියි.
culture හෙවත් බැක්ටීරියා වර්ධන පරීක්ෂාව මගින්ද මේ තත්ත්වය තහවුරු කර ගැනීමට පුළුවන්. අපේ සායනවල අන්වීක්ෂ පරීක්ෂාව නොමැතිව වුණත් රෝග තත්ත්වය ගැන තහවුරු කර ගැනීමට පුළුවන්. මෙහිදී රෝග ලක්ෂණ, රෝගියාගේ ලිංගික හැසිරීම් ඉතිහාසය තුළින් පමණක් වුණත් ගොනෝරියා ආසාදිත බවට වූ තහවුරු කර ගැනීමට හැකියාවක් තිබෙනවා.
ගොනෝරියා රෝගයට ප්‍රතිකාර තිබෙනවාද?
ඔව්, ගොනෝරියා රෝගය නිට්ටාවටම සුව කිරීමට පුළුවන්. රෝග සංකුලතාවයන් මතු වීමට පෙරාතුව රෝගියා හඳුනා ගතහොත් ප්‍රතිජීවක ඖෂධ මගින් සුව කිරීමට පුළුවන්. රජයේ රෝහල්වල පරීක්ෂණ කිරීමට පහසුකම් නැති ක්ලැමඩියා (clamadia) බැක්ටීරියාව ඇතැයි උපකල්පනය කරමින් ඒ වෙනුවෙනුත් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර ලබා දෙනවා.
රෝගියා ප්‍රතිජීවක ඖෂධ ආරම්භ කිරීමෙන් තුන්වන දිනයේදී නැවත මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කළ යුතු වෙනවා. එහිදී බැක්ටීරියාව විනාශ වී ඇත්දැයි පරීක්ෂා කරනවා. ඒ නිසා රෝගියෙක් ඖෂධ පටන් ගෙන දින තුනකින් අන්වාර්යෙන්ම සායනයට පැමිණීම වැදගත්.
මේ සමග වෙනත් ලිංගාශ්‍රිත රෝග ගැනත් පරීක්ෂා කරනවාද?
රුධිර සාම්පල මගින් HIV, සිෆිලිස් වැනි රෝග ඇති හෝ නැති බව තහවුරු කර ගැනීමට පුළුවන්. ස්‍රාවයන් සහ මුත්‍රා පරීක්ෂණ මගින් අනෙක් රෝග තත්ත්වයන් ගැනත් සොයාබලා ඒවාටත් අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා දෙනවා.
ආසාදිතයන් සමග ලිංගික ඇසුරක් පවත්වා ඇති අය
රෝග ලක්ෂණ ඇති වූ දින සිට සති දෙකක් දක්වා ඔවුන් ලිංගික ඇසුරක් පැවැත්වූ අය ගැන විමසා දැන ගන්නවා. ඒ වගේම ඔවුන්නුත් සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්නවා. මාස තුනක ඉතිහාසය තුළ ඇසුරු කළ අයත් පරීක්ෂා කරනවා.
රෝගීන්ගෙන් ලබා ගන්නා දෙවන සාම්පලයේ විෂබීජ ඇති බව තහවුරු වන තෙක් අනෙක් පාර්ශ්වය සමග ලිංගිකව එක් නොවන ලෙසට උපදෙස් ලබා දෙනවා.
ගොනෝරියාව සුළුවෙන් සලකන්න පුළුවන්ද?
නැහැ, අනාරක්ෂිත ලිංගික සබඳතාවයන්, එක් අයෙකුට වඩා වැඩි දෙනෙකු සමග ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම රෝගය ඇති වීමට හේතුවක්. ඒ නිසා නිතරම ලිංගික ඇසුර විශ්වාසවන්ත එක් අයෙකුට සීමා කිරීම වැදගත්. බොහෝ විට ජීවිත කාලය පුරාම ශරීරයේ පවතිනවා. සමහර රෝග හඳුනා ගන්නේ එයින් සංකුලතාවයන් ඇති වූ පසුවයි. එවැනි අවස්ථාවකදී එක් ප්‍රතිජීවක ඖෂධයකින් ප්‍රතිකාර කර අවසන් කිරීමට හැකියාවක් නැති වෙනවා. ඒ නිසා කවර හෝ ලිංගික රෝග තත්ත්වයකට ගොදුරු නොවී ඔබේ ලිංගික කටයුතුවලදී ආරක්ෂාව සලසා ගැනීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️