මී උණ හෙවත් Leptospirosis රෝග තත්ත්වය මීයන් සහ වෙනත් ක්ෂිරපායී සතුන් නිසා ඇතිවන රෝග තත්ත්වයක්. මෙම රෝගය “පතල් උණ” “වෙල් උණ” යන නම් වලින්ද හඳුන්වනවා. අපේ රටේ මුළු වසර පුරාම මී උණ රෝගීන් වාර්තා වුණත් මාර්තු සිට මැයි දක්වාත් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. මෝසම් වැසි කාලය මෙන්ම යල, මහ කන්නයන්හි ගොයම් වැඩ කටයුතුවල නිරත වන කාල වකවානුවලදීත් මී උණ රෝගීන්ගේ වාර්තාවීමක් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ මෙම රෝගය බෝ කරන ප්‍රධාන සත්ත්වයා ලෙස මීයා හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ලෝකයේ නිවර්තන සහ අර්ධ නිවර්තන රටවලිනුත් මී උණ රෝගීන්ගේ ගහණය බහුලව දක්නට ලැබෙනවා.අපේ රටේ දැනට මී උණ රෝගීන් 7500 ක් පමණ වාර්තා වී තිබෙනවා. ඒ අතර රත්නපුර, ගාල්ල, මාතර, කළුතර වැනි ප්‍රදේශවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ගම්පහ සහ කුරුණෑගල වැනි ප්‍රදේශවලිනුත් යම් සංඛ්‍යාවක් වාර්තා වෙනවා.
මී උණ සෑදීමේ අවදානමක් සහිත කණ්ඩායම් කවුද?
■ රත්නපුරය වැනි මැණික් කර්මාන්තය ආශ්රිත ප්‍රදේශයන්හි පතල් කැනීම් කටයුතුවල යෙදෙන පුද්ගලයන්, කුඹුරු වැඩවල යෙදෙන ගොවීන් මෙම රෝගයට වඩාත් ගොදුරු වනවා.
■ තද වැසි කාලයේදී ඇතිවන ගංවතුර තත්ත්වය නිසා රෝගයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා.
■ කීර කොටු ආශ්රිත කටයුතු කරන පුද්ගලයන්ට වගේම වෙල්වල සරුංගල් යවන දරුවන්ට සහ මඩ ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන්ටත් රෝගය බලපානවා.
මී උණ බැක්ටීරියාවකින් බෝ වෙන රෝග තත්ත්වයක්. රෝග කාරක බැක්ටීරියාව Leptospira යන නමින් හැඳින්වෙනවා. මීයන්ගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍රා මගින් ජලයට එකතු වෙනවා. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග සහ කාණු පතල්වල ජලයේ මෙම බැක්ටීරියාව රැඳී තිබෙන්න පුළුවන්.
බැක්ටීරියාව ශරීරගත වෙන්නේ කොහොමද?
සිරුරේ ඇති කැපීම්, සීරීම්, තුවාල හෝ ශරීර පටල ( ඇස්, හෝ මුඛය ) හරහා මිනිසාගේ සිරුරට ඇතුළු වෙනවා.
මී උණ රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීරගත වී දින දෙකක සිට දාහතරක කාලයේදී රෝග ලක්ෂණ ඇති විය හැකියි.
උණ
මස් පිඬු වේදනාව
ඇස් රතු වීම
හිසරදය
මුත්‍රා කහ වීම
මුත්‍රා යෑම අඩු වීම
වමනය
සිරුරේ අප්‍රාණිකත්වය
ඒ වගේම මී උණ රෝගය වැළඳුන පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ වෙන්නෙත් නැහැ.
මී උණ රෝගය මාරාන්තිකද?
නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදුවිය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්රිය පද්ධතිවලට හානි සිදුකිරීමට පුළුවන්. බැක්ටීරියාව තවදුරටත් සිරුරේ වර්ධනය වී කම්පනය, පෙනහලුවලට රුධිර වහනය ( pulmonary haemorhage) සංතෘප්ත ඔක්සිජන් මට්ටම බැසීම නිසා හුස්ම ගැනීමේ වැනි අපහසුතාවන් සිදුවීම වැනි සංකුලතාවන් ඇති වෙනවා.
වකුගඩුවලට ඇති වෙන බලපෑම නිසා මුත්‍රා පිටවීම අඩු වීම, ඒ වගේම මී උණ රෝග සංකුලතාවයන් හෘදයවස්තුවට සහ අක්මාවටත් බලපෑම් ඇති කරන අවදානමක් ඇති කරනවා. එවැනි තත්ත්වයකදී ජීවිත හානිවීමට වැඩි අවදානමක් තිබෙනවා.ඒ වගේම නිදන්ගත රෝග තත්ත්වයන්ගෙන් පසුවෙන රෝගීන්ට සහ වැඩිහිටියන්ට යම් අවදානමක් තිබෙනවා.
මී උණෙන් වළකින්නේ කොහොමද?
■ කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කාණු සහ පතල් ආශ්රිත රැකියාවන්හි නිතර වන පිරිස් උණ තත්ත්වයක් ඇති වූ විට මී උණ යැයි සැක කරන රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
■ තුවාල, සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වළකින්න. නොඑසේ නම් එම තුවාල නිසි පරිදි ආවරණය කරගන්න.
■ කුඹුරු, වගුරු බිම් ආශ්‍රිතව වැඩ කටයුතුවල නිරත වන්නේ නම් වැඩ ආරම්භ කිරීමට සතියකට පෙරාතුව මේ වෙනුවෙන් නිර්දේශිත ඖෂධ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවීමෙන් මෙම ඖෂධ ඔබට මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් නොමිලයේ ලබාගත හැක. මෙම ප්‍රතිජීවක ඖෂධ නිසි කාලයට වගේම නිසි මාත්‍රාවෙන් ලබාගැනීමත් වැදගත්.
■ ගං වතුර වැනි ආපදා තත්ත්වයන් පවතින කාලවලදී රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.
■ විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමෙන් හෝ දිය නෑමෙන් පසුව වුවද රෝග ලක්ෂණ ඇත්නම් වහාම නිසි ප්‍රතිකාර වෙත යොමුවන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා