ඇය වයස අවුරුදු 35 ක සුරූපී තරුණියක්. විවාහ වෙලා හිටියෙ “පාස්ටර්” කෙනෙකු සමඟ. ඇයට අවුරුදු 2 ක පමණ හුරුබුහුටි දඟකාර දියණියක් හිටියා. සිංහල භාෂාව එතරම් ඇයට හුරු නොවූයේ බොහෝ කාලයක් ඔස්ට්‍රේලියාවේ වාසය කළ නිසා විය හැකියි. ඇය මාගේ “පියයුරු පිළිකා සායනයට” පැමිණියේ විටින් විට ඇයට ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාව නිසයි. කරුණු කාරණා විමසීමේදී බොහෝ දේ මට දැනගන්න පුළුවන් වුණා.
ඇය තම දියණිය ප්‍රසූත කර මාස දෙකක් පමණ ගතවන විට ඇගේ දකුණු පියයුරේ තරමක කුඩා ගෙඩියක් ඇති බව දැනගත්තා. එයින් තරමක් තිගැස්සුණු ඇය ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමුවුණා. කිසිදු පරීක්ෂණයක් නොකරම එය “කිරි ගෙඩියක්” බවට අවාසනාවන්ත ලෙසට නිගමනය කරනු ලැබුවා. මේ කාලය වනවට මුළු ලෝකයම කොවිඩ් – 19 වසංගතයෙන් පීඩා විඳිමිනුයි හිටියේ. ශ්‍රී ලංකාවේ තත්ත්වයත් බොහෝ සෙයින් නරක අතට හැරෙමින් තිබුණා.
තම පියයුරේ ගෙඩිය ක්‍රමක්‍රමයෙන් විශාල වුණත් නිතරම රෝහල් වෙත යාමට ඇයට හැකියාවක් නොතිබුණේ කොවිඩ් වසංගත තත්ත්වය නිසාම වෙන්නට ඇති. මේ වනවිටත් එය පිළිකාවක් බවට සොයාගෙන තිබුණේ නෑ. තම රෝගී තත්ත්වය සුව නොවන නිසා ඇය තම සැමියා සහ දියණිය සමඟ නැවත ඔස්ට්‍රේලියාවට ගියා. එහිදී පියයුරේ ගෙඩියක් සඳහා කළයුතු පරීක්ෂණයන් ක්‍රමානුකූලව කර එය පිළිකාවත් නිසා ඇතිවූවක් බව සොයා ගත්තා. ඒ අවස්ථාවේ කළ පෙට් – සීටී (PET – CT) ස්කෑන් පරීක්ෂාවෙන් පිළිකාව ඒ වනතුරුත් එය හටගත් පියයුරට සහ දකුණු කිහිල්ලේ කුද්දැටිවලට පමණක් සීමා වී ඇති බවට තහවුරු වුණා.
මේ තොරතුරින් කලබලයට පත්වූ ඇය මේ රෝගී තත්ත්වය පිළිගැනීමට කැමති වුණේ නෑ. ඒ නිසාම ඒ සඳහා නියම වූ කිසිදු සම්මත ප්‍රතිකාරයක් ගැනීමට කැමති වුණෙත් නෑ. ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. පිළිකාව සුවකිරීම සඳහා තම ස්වාමියා සහ පවුලේ ඇය සමඟ එකතු වී යාඤ්ඥා කිරීම සිදුකළා. ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් ඔවුන් තුළ තිබුණා. යාඤ්ඥා කිරීමෙන් හෝ ගොඩ වෙදකම්වලින් පිළිකා සුව කළ නොහැකි බව 21 වන සියවසේ ජීවත්වන ඕනෑම කෙනෙකු දන්නා සරල කාරණාවක්. නමුත් මෙවැනි උගත් මිනිසුන් පවා අන්ත අසරණ භාවයට පත්කිරීමට පිළිකා රෝග එතරම්ම ජන සමාජය තුළ දැඩි භීතිකාවක් නිර්මාණය කර තිබෙනවා.
මෙලෙස කාලය ගෙවී යද්දී තමයි විටින් විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව නිසා ඇයට මගේ පියයුරු පිළිකා සායනයට එන්න වුණේ. පපුවේ එක්ස් කිරණ ඡායාරූපයක් ගත් විට පැහැදිලිවම දක්නට ලැබුණේ වම් සහ දකුණු පෙනහලු පුරාවටම කුඩා බෝල මෙන් සුදු පාට පැල්ලම් රාශියක් ලෙසට පියයුරු පිළිකාව පෙනහලු පුරාම පැතිරී තිබූ ආකාරයයි.
මේ තත්ත්වය කිසිවක් නොසඟවා ඔවුන්ට තේරුම් කර දුන්නද කිසිදු ප්‍රතිකාරයක් සඳහා ඔවුන් එකඟ වූයේ නැහැ. හුස්ම ගැනීමේ අපහසුතාව පමණක් සමනය කරදෙන ලෙසට ඉල්ලා සිටි බැවින් ඒ සඳහා ප්‍රතිකාරයන් ලබා දුන්නා. යාඤ්ඥා කිරීම මඟින් පිළිකා වැනි දරුණු රෝග සුවකරන එක කෙසේ වෙතත් හුස්ම ගැනීමේ අපහසුව නම් සුවකළ නොහැකි බව එයින් පැහැදිලි වුණා.
කාලය සතියකින් පමණ ගෙවී ගියා. අර කාන්තාව නැවතත් මාගේ සායනයට පැමිණියා. හැබැයි කලින් වතාවේ ඇවිදගෙන ආ ඇය මේ වතාවේ නම් ආවේ රෝද පුටුවකින්. එවර නම් ඇයට දින කිහිපයක් රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවුණා. පිළිකාව පෙනහලුවලට පැතිරීමේදී ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවන් අවම කිරීම සඳහා සහන සත්කාරයේදී ලබාදෙන ප්‍රතිකාරයන් ලබාදී ඇයව නැවතත් යථා තත්ත්වයට පත් කරනු ලැබුවා. මෙවර ගෙදර ගිය ඇය නැවතත් සතියකින් පමණ රෝහල්ගත වුණා.
මෙවර නම් ඇය ආවේ රෝද පුටුවෙන් නොවේ. ඇඳ ඉහළ කොටස ඔසවා තැබූ “ස්ට්රේචර්” එකකින්, ඔක්සිජන්ද ලබා ගනිමිනුයි ආවේ. දැඩි කලබලකාරී තත්ත්වයක් පෙන්නුම් කළ ඇය දැඩි ලෙස භීතියට පත්වී සිටියා. මෙවර නම් ඇයට ගෙදර යාමට හැකියාවක් නොලැබෙන බව මා දැන සිටියා. මේ කාලය පුරාවටම යාඤ්ඥා කිරීම නොකඩවාම ඇය සහ පවුලේ අය සිදුකරනු ලැබුවා. ඉතා අවාසනාවන්ත ලෙස ඇයගේ ප්‍රාණය ඉන් දින කිහිපයකට පමණක් සීමා වුණා.
පියයුරු පිළිකාවක් නිසා මෙලෙස අවාසනාවන්ත ලෙස තම ජීවිතය අහිමි කරගත යුතුද ?
පියයුරු පිළිකා කියා කියන්නේ දැනට ලෝකයේ සොයාගෙන තිබෙන 200 කට ආසන්න පිළිකා රෝග සමූහයකට අයත් බහුලවම දක්නට ලැබෙන පිළිකා රෝග සමූහයක එකතුවක්. පිළිකා රෝගවලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් සෑදීම වළක්වා ගතහැකි වුවත් පියයුරු පිළිකා ඇතිවීම වැළැක්වීමට නම් තවම ක්‍රමයක් සොයාගෙන නැහැ
ඉතා බහුලව දැකගත හැකි පියයුරු පිළිකා සඳහා එසේ නම් කළ හැක්කේ කුමක්ද ?
පියයුරු පිළිකාව ආරම්භ වූ ස්ථානයෙන් වෙනත් ස්ථානවලට පැතිරීමට පෙර මුල් අවස්ථාවේම හඳුනාගෙන ඒ සඳහා කළ යුතු, සමස්ත ලෝකයම පිළිගත්, සම්මත ප්‍රතිකාර ප්‍රමාදයකින් තොරව සිඳුකළ යුතුයි. එවිට එම පියයුරු පිළිකාව නිට්ටාවම සුවකරගත හැකියි. ඉතා අවාසනාවන්ත ලෙස ඉහත කාන්තාවට ඒ අවස්ථාව අහිමිව තිබුණා. ඇයගේ පියයුරු පිළිකාව හඳුනාගත් අවස්ථාවේ එය ආරම්භ වූ පියයුරෙන් පිටතට පැතිරී තිබුණා. ඒ කියන්නේ ඇගේ කිහිල්ලේ කුද්දැටිවලට පිළිකාව පැතිරී තිබුණා.
ප්‍රමාදව තිබූ ඒ අවස්ථාවේ වුවද ඇය නිසි සම්මත ප්‍රතිකාරවලට යොමු වූවා නම් අදටත් ඇයට ඇගේ දියණියගේ සුරතල් බලමින් ජීවත් වීමට භාග්‍යය හිමිවෙනවා. ඒ වෙනුවට ඇය තෝරා ගත්තේ යාඤ්ඥා කිරීමයි. කෙතරම් ලෝකය දියුණුව තිබුණද ඇයි මිනිසුන් මෙවැනි දේවල්වලට යොමු වන්නේ? රෝග සුවකිරීම සඳහා යාඤ්ඥා කිරීම යොදා ගත්තේ ගෝත්‍රික සමාජය තුළයි. අද සමාජය කොතරම් දියුණු වුවත් වසර දහස් ගණනකට පෙර අපේ මුතුන් මිත්තන් ජීවත් වූයේ ගෝත්‍රික සමාජයක් තුළයි. අසරණ වූ අවස්ථාවලදී එම ගෝත්‍රික පුරුදු ඉස්මතු වී එන්නේ මේ නිසයි.
පියයුරු පිළිකාවක් කල්තබා හඳුනාගන්නේ කෙසේද?
මෙහිදී පියයුරු පිළිකාවක් කල්තබා හඳුනාගන්නවා කියා අදහස් කරන්නේ එය ගෙඩියක් ලෙස ඇසට පෙනීමට හෝ අල්ලා බැලූ විට අතට අසුවීමට හෝ පෙර ඉතා කුඩාම අවස්ථාවේදී හඳුනාගැනීමයි. ඒ කියන්නේ රෝග ලක්ෂණ මතුවීමට ප්‍රථම පියයුරු පිළිකාව හඳුනාගැනීමයි.
රෝග ලක්ෂණ මතුවීමට පෙර පියයුරු පිළිකාවක් හඳුනාගන්නේ කෙසේද?
මේ සඳහා මැමෝග්‍රැෆි පරීක්ෂාවක් කරගත යුතුයි. වයස අවුරුදු 40 ට පසු සෑම වසර දෙකකට වතාවක්ම මෙම පරීක්ෂාව සිදුකරගත යුතු වෙනවා. මෙහිදී ඉතා අඩු ශක්තියකින් යුතු X-Ray ( එක්ස් කිරණ ) යොදාගෙන පියයුරු දෙකේම වෙන වෙනම ප්‍රතිබිම්බ ලබාගන්නවා. එම ඡායාරූප මගින් පියයුරු දෙකෙහි පිළිකා බවට සැක සිතිය හැකි වෙනස්වීම් සිදුවී ඇත්දැයි සොයා බලනවා. මෙම පරීක්ෂාවේ සංවේදීතාව වැඩි කරගැනීම සඳහා පියයුරු දෙකේම අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් ද සිදුකරනවා.
මෙම පරීක්ෂාවන් දෙකෙන් පසු සැක සහිත යම් වෙනසක් ඇත්නම් එය පියයුරු පිළිකාවක් නිසා ඇතිවූවක් දැයි සොයා බැලීමට තවත් පරීක්ෂණ කිහිපයක් කළ යුතු වෙනවා. මේ සඳහා එම සැක සහිත ගෙඩියෙන් සෛල නියැදියක් හෝ පටක නියැදියක් ලබාගෙන එහි පිළිකා සෛල හෝ පිළිකා පටක ඇත්දැයි පරීක්ෂණාගාරයේදී අන්වීක්ෂ උපකාරයෙන් සොයා බලනවා.
පියයුරේ ඇති ගෙඩිය පිළිකාවක් නම් ඊළඟ පියවර…
පියයුරේ ඇති ගෙඩිය පිළිකාවක් බවට තහවුරු වූ පසු ඊළඟට කරනු ලබන්නේ එම පිළිකාව පියයුරෙන් පිටතට පැතිරී ඇත්දැයි සොයා බැලීමයි. එනම් පිළිකාවේ පැතිරීම අනුව එහි අවස්ථාව හෙවත් ‘Stage’ එක සොයා බැලීමයි.
පිළිකාවට ප්‍රතිකාර කිරීමට පෙර එම පිළිකාවේ අවස්ථාව සොයා බැලීම කෙතරම් වැදගත්ද?
පියයුරු පිළිකාවේ සඳහා සාර්ථක ප්‍රතිකාරය තීරණය කිරීම සඳහා එහි පැතිරීම මුලින්ම දැනගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් ලෙස පියයුරෙන් පිටත දුරස්ථ පටක දක්වා පිළිකාව පැතිරී ඇත්නම් එවැනි අවස්ථාවකදී පියයුරේ පිළිකාව කෙතරම් කුඩාවට තිබුණත් ශල්‍යකර්ම එකවර කිරීම අනුමත කරන්න බැහැ. එවිට සුදුසුම ප්‍රතිකාරය වන්නේ ඒ පියයුරු පිළිකාවට ගැළපෙන මුළු ශරීරයටම බලපාන ප්‍රතිකාරයක් හෝ ප්‍රතිකාරයන් කිරීමයි.
නමුත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ බොහෝමයක් පියයුරු පිළිකා රෝගීන් පිළිකාවේ අවස්ථාව සොයා ගැනීමටත් ප්‍රථම ශල්‍යකර්ම කරගැනීමට නැඹුරු වෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙස ශල්‍යකර්මවලට ලක්වූ බොහෝ පිළිකා රෝගීන් අපට හමුවනවා.
පියයුරු පිළිකාවේ අවස්ථාව සොයා බැලීමට කරනු ලබන පරීක්ෂාවන්
1. PET – CT පරීක්ෂාව ( සම්පූර්ණ සිරුරම මෙයින් ආවරණය වනවා )
2. CT ස්කෑන් පරීක්ෂාව ( පපුව, උදරය සහ ශ්‍රෝණිය ආවරණය වනවා )
3. ටෙක්නීෂියම් බෝන් ස්කෑන් පරීක්ෂාව (අස්ථිවලට පිළිකාවේ පැතිරිම බැලීමට)
4. උදරයේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව
5. MRI ස්කෑන් පරීක්ෂාව
ඉහත කරන ලද පරීක්ෂණවලින් යම් සැක සහිත ස්ථානයක් නිරීක්ෂණය වුවහොත්, එය නිශ්චිතවම පිළිකාව නිසා ඇති වූ වෙනසක් ද කියා සොයා බැලීමට එම කුඩා ස්ථානය ආවරණය වන පරිදි MRI ස්කෑන් පරීක්ෂාව කරනු ලබනවා.
පිළිකාවේ හැසිරීම බැලීමට අමතර පරීක්ෂණ
පියයුරු පිළිකාවේ පැතිරීම අනුව එහි අවස්ථාව හෙවත් “Stage” එක දැනගැනීමට කරන පරීක්ෂණවලට අමතරව පිළිකාවේ ආක්රමණශීලීතාවයේ තත්ත්වයත් එය කුමන පිළිකා ප්‍රතිකාර ඖෂධවලට ඉතා හොඳින් විනාශ වේද යන්නත් සොයා බැලීමට තවත් පරීක්ෂණ රැසක් කරනු ලබනවා. මෙය පිළිකාවෙන් ලබාගත් පටකවලින් සිදුකළ හැකිවනවා. ප්‍රතිශක්ති පටක රසායනික (Immuno Histo Chemistry හෙවත් IHC) පරීක්ෂාවන් මඟින් පියයුරු පිළිකාවේ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරොන්, හර්2නියු ප්‍රතිග්‍රාහකවල පැවතීම සහ ,Ki 67, අගය ලබාගත හැකි වනවා. තවද පියයුරු පිළිකා සඳහා කරනු ලබන ජාන පරීක්ෂාවන්ද එම පිළිකා පටකවල සෛල යොදාගෙන සිදුකළ හැකි වෙනවා. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පියයුරු පිළිකාව සඳහා ලබාදිය හැකි ප්‍රතිකාර තීරණය කිරීමටත් එම පිළිකාවේ දරුණුතාව කෙතරම් දැයි අවබෝධ කරගැනීමටත් හැකිවනවා.
පියයුරු පිළිකා සඳහා කරනු ලබන සම්මත ප්‍රතිකාර
පියයුරු පිළිකාව තරම් සායනික සහ රසායනාගාර පරීක්ෂණවලට ලක්වූ තවත් පිළිකා වර්ගයක් නැති තරම්. ඒ තරමටම විශාල පරීක්ෂණ ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් කර ඇති නිසාම එක් එක් වර්ගවලට අයත් පියයුරු පිළිකා සඳහා ගැළපෙන ප්‍රතිකාර ද විශාල ප්‍රමාණයක් අද වනවිට සොයාගෙන තිබෙනවා.
පියයුරු පිළිකා සඳහා කරනු ලබන ශල්‍යකර්ම
පියයුරු පිළිකා සඳහා කරනු ලබන ශල්‍යකර්ම කොතරම් දියුණු වී ඇත්දැයි කියතොත් පියයුරේ ශල්‍යකර්මයක් කළ බවට සලකුණක්වත් ඉතිරි නොවන ආකාරයට ප්‍රතිකාර කිරීමේ හැකියාව අද වනවිට දියුණු වී තිබෙනවා.
පියයුරු පිළිකා සඳහා ලබාදෙන විකිරණ ප්‍රතිකාර
අතීතයේ මෙන් නොව ඉතා නිවැරදිව සහ ආරක්ෂාකාරීව විකිරණ ප්‍රතිකාර ලබාදීමේ අති නවීන ක්‍රමවේදයන් සහ යන්ත්රසූත්ර දැන් බිහි වී තිබෙනවා.
පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර ( සම්ප්‍රදායික සම්මත පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර )
මෙම ඖෂධ බොහෝ විට එන්නත් සහ පෙති ආකාරයට ලබාගැනීමට හැකියි.
ඉලක්කගත පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර ( Targeted Cancer Therapy )
එක් එක් පිළිකා රෝගියෙකුගේ පියයුරු පිළිකාවේ ඇති ජාන විකෘතිතාවන් නිසා ඇති වන පිළිකා සෛල තුළ ඇති ප්‍රතිග්‍රාහකවල වෙනස්කම් හෝ සෘජුවම ජාන විකෘතිතා ඉලක්ක කර නිපදවා ඇති විශේෂිත ඖෂධ වර්ගයන් වන මේවාවල අතුරු ආබාධ බොහෝවිට ඉතා අඩු මට්ටමක පවතිනවා.
ප්‍රතිශක්ති පිළිකා නාශක ප්‍රතිකාර ( Cancer Immunotherapy )
මෙය ඉතා නවීන ප්‍රතිකාර ක්‍රමයක් වන අතර අතුරු ආබාධ ඉතාම අඩුවෙන් පෙන්නුම් කරන නිසා ඉතා වයස්ගත පියයුරු පිළිකා රෝගීන්ට පවා යොදාගත හැකිවනවා.
හෝමෝන ප්‍රතිකාර (Hormone therapy )
පියයුරු පිළිකා සෛලවල ඇති හෝමෝන ප්‍රතිග්‍රාහක ඉලක්ක කරගෙන කරනු ලබන ප්‍රතිකාර ක්රමයකි.
සහන සත්කාර ප්‍රතිකාර ක්‍රම පිළිකා සඳහා ප්‍රතිකාර කරන අවස්ථාවලදී ඇතැම් විට අතුරු ආබාධ රැසකට රෝගියාට මුහුණ දීමට සිදු වෙනවා. මෙවැනි අතුරු ආබාධ වළකා ගැනීමටත්, එම අතුරු ආබාධ ඇති වුවහොත් ඒවා පාලනය කර රෝගියාට සහනය සලසා දීමටත් සහන සත්කාරය අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක් වෙනවා.
සහන සත්කාරයත් සමග පිළිකා ප්‍රතිකාරය ලබාගන්නා පිළිකා රෝගීන්ට වමනය, වේදනාව, මළබද්ධය, පාචනය සහ දැඩි විඩාව ආදී අතුරු ආබාධ මඟහරවාගෙන ඉතා සාර්ථකව තම පිළිකා නාශක ප්‍රතිකාරයන් සිදුකරගත හැකිවනවා.
තවද සුවකරගත නොහැකි තත්ත්වයට පත්වූ පිළිකා සහිත රෝගීන්ට තවදුරටත් තමන් ජීවත්ව සිටිනා කාලය තුළ වදවේදනා විදිමින් ජීවත් වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉතා හොඳ ගුණාත්මක බවකින් යුතු ජීවිතයක් තම ජීවිතයේ අවසන් තත්පරය තෙක් ගත කිරීමට සහන සත්කාර ප්‍රතිකාර නිසා දැන් හැකියාව තිබෙනවා.
ඉහත සඳහන් කළ සියලුම ප්‍රතිකාර ක්‍රම අද ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකිවනවා. මේ ලිපිය මා ලියන්නේ සෛධාන්තික කරනු පමණක් පදනම් කරගෙන නොවන අතර පිළිකා ප්‍රතිකාරයේදී ලබා ඇති සැබෑ අත්දැකීම් ද උපයෝගී කරගෙනයි.
හරින්දී ලියනගේ