පස් සහ මඩ වතුරෙන් Burkholderia Pseudomallei බැක්ටීරියාව පැතිරෙන නිසාම මේ රෝගය පාංශු උණ මෙලියොයිඩෝසිස් ( Melioidosis ) යනුවෙන් හැඳින්වෙනවා. පාංශු උණ රෝගය වැළඳීම නිසා පුද්ගල මරණයක් වාර්තා වීම සමග මේ රෝගය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් දැන් ඇති වී තිබෙනවා.
රෝගය අලුත් එකක්ද?
නැහැ. අපට මේ රෝගය නමින් නුහුරු වුණත් මෙහි දිගු ඉතිහාසයක් තිබෙනවා. Burkholderia Pseudomallei බැක්ටීරියාව මගින් ඇතිවන පාංශූ උණ රෝගය 1911 වසරේ ඇල්ප්‍රඩ් වෛටිමෝ සහ ඔහුගේ සහායක සී.ඒ.සී. ක්රිස්නස්වාමි විසින් හඳුනා ගත්තා.
1927 වසරේ ශ්‍රී ලංකවේ මුල්ම පාංශු උණ රෝග මරණයක් වාර්තා වුණා. යුරෝපීය ජාතික බ්රෝකර්වරයෙකුගේ පාංශු උණ රෝග තත්ත්වය නිසා මරණයට පත්වුණා. ඔහුගේ මරණයට හේතුව Burkholderia Pseudomallei බැක්ටීරියාව ශරීරගත වීම නිසා ඇතිවුණ රෝග තත්ත්වයක් බැව් තීරණය වුණා. එතැනින් පසුව නැවතත් අපේ රටේ පාංශු උණ රෝග තත්ත්වය ගැන වාර්තා වුණේ නැහැ. 2000 දශකයේ මුල් කාලයේදී රෝගීන් කීප දෙනෙකුගෙන් බැක්ටීරියාව ලෙස මේ තත්ත්වය Burkholderia Pseudomallei හඳුනාගත්තා.
මේ බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ හඳුනාගැනීමේ පරීක්ෂණවල මුලින්ම නියැළුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ති තෙවනේසම් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ එනෝකා කොරෙයා විසින් මේ රෝග තත්ත්වය ඇතිවීමට හේතුව ඔවුන් Burkholdeira Pseudomallei ආසාදිතයන් වීම බැව් හඳුනා ගත්තා. අදටත් මේ රෝගය පැහැදිලිව හඳුනා ගැනීමේ ගෞරවය අපි ඒ දෙදෙනාට ලබා දිය යුතුමයි.
පාංශු උණ රෝගයේ ප්‍රාදේශීය ව්‍යාප්ත වීමක් තිබෙනවාද?
පාංශූ උණ රෝගය වැඩියෙන් ව්‍යාප්ත වෙන්නේ වියළි දේශගුණයක් සහිත ප්රදේශවලයි. උදාහරණයක් විදිහට සඳහන් කරනවා නම් කුරුණෑගල, පොළොන්නරුව, ගාල්ල, මාතර වගේ ප්‍රදේශවල ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙනවා. නමුත් අපට ඒ විදිහටම සීමා කරන්න බැහැ. ශ්‍රී ලංකාවේ සමහර පළාත්වලිනුත් අවම වශයෙන් එක් රෝගියෙක් හෝ හමු වී තිබෙනවා. මෝසම් වැසි කාල සමග වැඩි වෙනවා.
පාංශු උණ රෝගය ව්‍යාප්ත වෙන්නේ කොහොමද?
මේ රෝග තත්ත්වය විවිධ අන්දමින් පැතිරෙනවා.
පාංශු උණ රෝගය බොහෝ විට ව්‍යාප්ත වෙන්නේ රෝග කාරක බැක්ටීරියාව ආශ්වාස වීමෙන්
විෂබීජ රැගත් දූවිලි ආඝ්රාහණයෙන්
සම හරහා විසබීජ ඇතුළු වීමෙන්
පාංශු උණ රෝගයේ අවදානම් කණ්ඩායම් සිටිනවාද?
ඔව් සාමාන්‍යයෙන් ඕනෑම රෝග තත්ත්වයක අවදානම් කණ්ඩායම් සිටිනවා. ඒ වගේම පාංශු උණ රෝග තත්ත්වයේදීත් අවදානම් කණ්ඩායම් සිටිනවා.
දියවැඩියාව
ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වලතාවන් ඇති
දීර්ඝකාලීනව මද්‍යසාර සහ දුම්පානය කරන පුද්ගලයන් පාංශු උණ රෝග තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා.
රෝග ලක්ෂණ මොනවාද?
■ පාංශු උණ රෝග තත්ත්වය විවිධ අන්දමින් මතු වෙන්න පුළුවන්. උණ, කැස්ස සමග ඇතිවන දරුණු නියුමෝනියා තත්ත්වයක් ලෙසින්
■ සමේ හෝ ශරීර අභ්‍යන්තරයේ ඇති වෙන විෂ ගෙඩි ( Abscess ) ලෙසින්
■ සෙප්සිස් රෝග තත්ත්වයක් ලෙසින්
■ ඒ වගේම අපේ ශරීරයේ ඕනෑම අවයවයක හෝ ග්‍රන්ථියක රෝග තත්ත්වය ඇති කිරීමේ හැකියාවක් Burkholderia Pseudomallei බැක්ටීරියාවට කිබෙනනවා. පාංශු උණ රෝග ලක්ෂණ නොයෙක් ආකාරයෙන් දක්නට ලැබෙන්න පුළුවන්.
පාංශු උණ රෝග තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?
පාංශු උණ රෝගියෙකුගේ රුධිරය, සෙම, සහ සැරව මගින් රෝග තත්ත්වය හඳුනාගන්න පුළුවන්. රෝගියාගෙන් ලබා ගන්නා සාම්පල රසායනාගාරවල රෝපණය කර රෝග කාරක බැක්ටීරියාවන් සිටින බැවට තහවුරු කර ගැනීමට පුළුවන්. ඒ වගේම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සැක සහිත රෝගීන්ගේ රුධිර පරීක්ෂණයකින් රෝගය සඳහා විශේෂිත ප්‍රතිදේහ ඇත්දැයි හඳුනා ගැනීමටත් පුළුවන්. මේ රෝග තත්ත්වය මාරාන්තික විය හැකියි.පාංශු උණ රෝග තත්ත්වය අනතුරුදයක වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා. ඒ හේතු රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීමේදී වැදගත්.
බැක්ටීරියාවේ තිබෙන ඔරොත්තු දීමේ හැකියාව
රෝගියා රෝග ලක්ෂණ නොසලකා හැරිම සහ ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කිරීම
රෝගියාගේ නිදන්ගත රෝග
රෝහල්ගතව ලබා දෙන ප්‍රතිකාර සහ රෝහලෙන් බැහැරව ලබා දෙන ප්‍රතිකාර නොසලකා හැරීම ඇත්තෙන්ම කිවහොත් රෝගය භයානකයි.
නමුත් සුව කළ හැකියි. ඒ සඳහා විශේෂ ප්‍රතිජීවක දීර්ඝ කාලයක් ලබා දෙනවා. එය අනිවාර්යෙන්ම ලබා ගැනීම වැදගත්. මුලින්ම එන්නත් ලෙසින් සති කීපයක් පෙති ලෙසින් ලබා දෙනවා. මේ සති කීපය අඛණ්ඩව ලබා ගත යුතු බව මේ රෝගීන් තරයේම සිහි තබා ගැනීම වැදගත්. සමහර විට ප්‍රතිකාර ලබමින් සති කීපයක් ගෙවෙන විට රෝග ලක්ෂණ අඩු වෙනවා. දැන් රෝගය සුව වී ඇතැයි රෝගියා විසින්ම තීන්දු තිරණ ලබා ගෙන ඖෂධ ලබා ගැනීම නවත්වනවා.
එය ඉතාම අනතුරුදායකයි. මේ නිසා පාංශු උණ රෝග තත්ත්වය ඉතා දරුණු ලෙසින් නැවත ඇති වෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවකදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා දුන්නත් රෝගියා සුවකර ගැනීමේ ඇති ඉඩ ප්‍රස්ථාව අවමයි. මෙහිදී රෝගියාට රෝගයට අමතරව රෝගියා පෙළෙන අනෙකුත් නිදන්ගත රෝග ගැනත් අවධානයක් යොමු විය යුතුයි. විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට දරුණු අන්දමේ සංකුලතාවන් ඇතිවන්න පුළුවන්.
පාංශු උණ රෝග තත්ත්වයෙන් ආරක්ෂාවට
පාංශු උණ ගැන සඳහන් කරනවා නම් රෝගය ඇතිවීමට බලපාන හේතු හඳුනා ගැනීමත් වැදගත්. ඒ නිසා පාංශු උණ රෝගයෙන් ආරක්ෂාවට නම් බැක්ටීරියාව ආසාදිත වන මාර්ග වළක්වා ගැනීම අවශ්‍යයි.
පස් මගින් විෂබීජ ආඝ්‍රාණය වීමට ඉඩ තිබෙන නිසා දියවැඩියාව වැනි නිධන්ගත රෝග තත්ත්වයන් ඇති පුද්ගලයන් ගොවිතැන් කටයුතුවලදී ප්‍රවේසම් වීම.
සමේ ඇති තුවාල මගින් විෂබීජ ඇතුළු වීමට ඉඩ තිබෙන නිසා පා ආවරණ පැළඳීම. අපිරිසිදු ජලයට නිරාවරණය වීමෙන් වැළකීම.
මේ රෝග තත්ත්වය වෙනත් රෝග තත්ත්වයක ලක්ෂණ ලෙසින් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිකාර කිරීමේදී රෝගය ගැන පැහැදිලිව හඳුනාගැනීම ඉතාම වැදගත්. උණ සුලබ රෝග තත්ත්වයක් වුණත් ප්‍රතිශක්තිය දුර්වලාතාවක් ඇති හෙවත් නිදන්ගත රෝග තත්ත්වයකින් පසුවනවා නම් රෝග තත්ත්වය ගැන නොසලකා ඉන්න එපා.
ඒ වගේම ගංවතුර තත්ත්වයකට පත් හා ගොවිතැන් කටයුතුවල නිරතව සිටින පුද්ගලයෙකුට උණ තත්ත්වයක් ඇති වුණොත් ප්‍රතිකාර ගැනීමේදී වෛද්‍යවරයාට ඒ ගැන සඳහන් කරන්න.
මතක තබා ගන්න
පාංශු උණ දරුණු වුණත් හරියාකාරව ප්‍රතිකාර කිරීමෙන් සුව කර ගත හැකි රෝග තත්ත්වයක්.
● පුන්‍යා චාන්දනී ද සිල්වා