මවක් තම කුසයේ සිටින දරුවා රැකගැනීමට මහත් සේ වෙහෙසක් ගන්නවා. ඇගේ ආහාර පාන, ජීවන රටාව වගේම ගමන් බිමන් පවා කුසයේ සිටින දරුවාගේ ආරක්ෂාව සහ නීරෝගිතාව වෙනුවෙන් කැප කරනවා. එවැනි ප්‍රශ්න අතර ගැබිණි කාලයේදී ගර්භණී මවකට ගුවන් ගමන් සුදුසුද යන්න බොහෝ මව්වරුන්ට ඇතිවන ගැටලුවක්.
ඔබේ ගර්භණීත්වය සමග වෙනත් කිසිදු සංකුලතාවක් නොමැති නම් ඔබට ගුවන් ගමන් පිළිබඳව කිසිදු බාධාවක් නැහැ. දරු ගැබට සති 37 සම්පූර්ණ වීමට පෙරාතුව ගුවන් ගමනක යෙදීම ආරක්ෂිතයි. සති 37 සම්පූර්ණ වූවාට පසු දරු ප්‍රසූතිය සිදුවීමට ඉඩ තිබෙන නිසා සති 37 න් පසුව ගුවන් ගමන්වල යෙදීම සුදුසු නැහැ. ඒ වගේම නිවුන් ගර්භණී මවක් නම් සති 32 න් පසුව ගුවන් ගමන්වල නොයෙදෙනවා නම් වඩාත් සුදුසුයි
ගුවන් ගමන්වල යෙදීමෙන් ගර්භණී මවකට ඇතිවන සංකුලතාවන් මොනවාද?
ගුවන් ගමනක් කියන්නේ දිගු කාලයක් ගත වන ගමනක්. මේ කාලය තුළ ඇය නිශ්චලව සිටින නිසා පාදවල ශිරා තුළ ලේ කැටි ගැසීමට ඉඩ තිබෙනවා. මේ රෝග තත්ත්වය Deep vein Thrombosis යනුවෙන් හැඳින්වෙනවා. මේ අන්දමින් පාදවල ඇති රුධිර කැටි ශිරා දිගේ පැමිණ පෙනහලුවල නහර අවහිර කරනවා. එම අවහිරතාව නිසා Pulmonary Embolism නමැති මාරාන්තික රෝග තත්ත්වය ඇතිවීමට ඉඩ තිබෙනවා. හැම ගුවන් ගමනකදීම Deep vein Thrombosis ඇතිවීමටත් අවදානමක් නැහැ. ඇගේ ගමනාන්තය පැය හතරකට වඩා අඩු නම් එවැනි ලේ කැටි ගැසීමට ඇති අවදානම අඩුයි.
ගුවන් ගමන දීර්ඝ නම්…
ගර්භණී මවගේ ගුවන් ගමන් මාර්ගය දීර්ඝ නම් ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ හැකි විකල්ප ගැනත් අවධානයක් දැක්වීම වැදගත්.
- ලිහිල් ඇඳුම් ඇඳීම සහ සුව පහසු පාවහන් පැළඳීමෙන් පාදවල ලේ කැටි ගැසීමට ඇති අවදානම අඩුවනවා.
- ගුවන් යානයක අසුන් ගැනීමේදී එහි මං තීරුවට ළගින් ආසනයක් තෝරාගන්න.
- ගමනාන්තය තෙක් වාඩි වී සිටින්න එපා. ගමන අතරවාරයේ විටින් විට ආසනයෙන් නැගිට එහා මෙහා ඇවිදින්න.
- හොඳින් ජලය පානය කරන්න.
- කෝපි, ඇල්කොහොල් වැනි පාන වර්ග ගැනීමෙන් වළකින්න.
- පාදවල රුධිර කැටිගැසීම වැළැක්වීම වෙනුවෙන් සකස් කරන ලද මේස් වර්ගයක් වන Anti Embolism Stockings පැළඳීමෙන්ද ඔබට රුධිර කැටි ගැසීමේ අවදානම අඩු කරගන්න පුළුවන්.
රුධිර කැටිගැසීමේ අවදානම වැඩි කණ්ඩායම…
මේ අන්දමින් රුධිර කැටිගැසීමේ අවදානම ඇති අය ගැනත් හඳුනාගැනීම වැදගත්. සාමාන්‍ය ගර්භණී කාන්තාවකට වඩා මෙවැනි අවදානම් සාධක ඇති ගර්භණී කාන්තාවකට පාදවල රුධිර කැටි ගැසීමට වැඩි අවදානමක් තිබෙනවා.
- තරබාරු බව
- දියවැඩියාව
- අධික රුධිර පීඩනය
- වකුගඩු ආබාධ
මෙවැනි රෝග සංකුලතාවන් තිබෙනවා නම් එවැනි අය ගුවන් ගමනට පෙරාතුව රුධිර කැටිගැසීම වැළැක්වීම වෙනුවෙන් ලබාදෙන ඖෂධ එන්නත් කරගැනීම වැදගත්.
ගුවන් ගමන්වලින් වැළකී සිටිය යුතු ගර්භණීන් කවුද?
ගුවන් ගමන්වල යෙදීම ගර්භණීත්වයේදී ගැටලුවක් නැතැයි කිව්වත් ඇතැම් ගර්භණී මව්වරුන්ට එම අවවාදය ගැළපෙන්නේ නැහැ. ඔවුන්ගේ ගර්භණීත්වයේ ඉතිහාසය සහ පවතින රෝග තත්ත්වයන් අනුව කනගාටුවෙන් වුණත් දරු ප්‍රසූතිය සිදුවන තෙක් ගමන ප්‍රමාද කිරීමට හෝ ගමන වෙනුවෙන් ඔබ විසින්ම වාරණයක් පනවා ගත යුතු වනවා. පහත දැක්වෙන හේතු කාරණා ඔබටත් ඇත්නම් ඔබත් ගුවන් ගමනක් වෙනුවෙන් සුදුසුකම් නොලබන ගර්භණී කාන්තාවක් යැයි නිර්දේශ වෙනවා.
■ මීට පෙර දරු ප්‍රසූතියකදී ඔබ නියමිත දිනට පෙරාතුව දරුවා ප්‍රසූත කළේ නම් මේ වතාවේදීත් එවැනි අවදානමක් ඔබට තිබෙන්න පුළුවන්. ඒ නිසා ගුවන් ගමනක් වෙනුවෙන් ඔබ සුදුසු නොමැති බැව් දන්නවා ඇති.
■ නීරක්තිය
■ විශාලුකර ලේ හීනතාව ( Sickle cell Anemia )
■ ගර්භණි කාලයේදී මෑතක රුධිර වහනයක් වූයේ නම්
■ හුස්ම ගැනීමේ අපහසුතාවන් සහිත පෙනහලු රෝගී තත්ත්වයන්
ඔබ ගර්භණීත්වය සමග ගුවන් ගමනක යෙදෙන්නට අදහස් කරනවා නම් වෛද්‍ය වාර්තාවන් සියල්ල ඔබ සමග රැගෙන යෑම වැදගත්. ගර්භණී සමයේ සියලුම වෛද්‍ය වාර්තාවන් ඔබ ළඟ තබාගන්න.
ඒ වගේම දරු ගැබට සති 28 කට වඩා වැඩි නම් ගුවන් ගමනක් වෙනුවෙන් යෝග්‍ය බවට ලිපියක් ඔබේ වෛද්‍යවරයාගෙන් ලබාගෙන එය ගුවන් සේවාවට ඉදිරිපත් කිරීමත් වැදගත්.එසේ නම් ඔබ වගේම ඔබ කුස දරණ නූපන් දරු පැටියාගේද ආරක්ෂාව සහිතව ගුවන් ගමනක යෙදීමට නම් ඒ වෙනුවෙන් අදාළ පරිදි කටයුතු කරන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️