අපේ ශරීරයේ අවයවයන්ට වගේම මොළයටත් රුධිරය සැපයීමක් සිදුවනවා. ධමනීන් මගින් හෘදය වස්තුවේ සිට මොළයට රුධිරය රැගෙන යන අතර ශිරා පද්ධතිය මගින් එම රුධිරය නැවත හෘදය වස්තුව වෙත ගෙන එනු ලබනවා. මේ ක්‍රියාවලිය අතරවාරයේදී යම් හේතුවක් නිසා ධමනියක් අවහිර වීම හෝ පුපුරා යෑම නිසා රුධිර සංසරණය නිසි පරිදි සිදුනොවීමට වගේම සම්පූර්ණයෙන්ම නැවතීමට පුළුවන්. මේ අන්දමින් මොළයේ පටකවලට රුධිරය සැපයීම නතර වුණොත් පටකවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇණ හිටිමට හෝ පටක මියයෑමට පුළුවන්.
ආඝාත රෝග තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද?
- අධික රුධිර පීඩනය
- දියවැඩියාව
- රුධිරයේ ඇති අහිතකර කොලස්ටරෝල් මට්ටම
- දුම්පානය
- හෘදරෝග සංකුලතාවන්
ආඝාත එහෙම නැත්නම් අංශබාග තත්ත්වයක් ඇතිවන්නේ කොහොමද?
ධමනියක් අවහිර වීම නිසා අදාළ ධමනියෙන් ලබාදෙන කාර්යන් අඩපණ වෙනවා. මොළයේ අක්‍රිය වූ කොටස මගින් පාලනය වන ශාරිරික ක්‍රියාකාරකම් අඩාල වෙනවා. ඒ වගේම අපේ මොළයේ දකුණු කොටසින් සිරුරේ වම්පසද මොලයේ වම්පසින් සිරුරේ දකුනු කොටසද පාලනය වෙනවා.
ඒ නිසා මොළයේ හානියට පත් කලාපය අනුව සිරුරේ ක්‍රියාකාරකම් සිදුවන පැත්ත තීරණය වෙනවා. සමහර විට ශරීරයේ එක් පැත්තක පමණක් ඇතිවන ආඝාත තත්ත්වයක් හෝ අතක හෝ කකුලක ක්‍රියාකාරිත්වය නැතිවීම හෝ අත හෝ කකුල හිරිවැටීමකට (Sensory stroke) පත්වන්න පුළුවන්.
ආඝාත රෝග ලක්ෂණ මොනවාද?
- ශරීරයේ එක් අංශයක් අප්‍රාණික වීම
- මුහුණ ඇදවීම
- කතාකිරීමේ අපහසුතාව
ආඝාත රෝග තත්ත්වයකින් පසුව ඇතිවිය හැකි අතුරු සංකුලතාවන් මොනවාද?
ආඝාත එහෙම නැත්නම් අංශභාග රෝග තත්ත්වයකින් පසුව ජීවිතය බේරාගැනීමට හැකි පුද්ගලයකුගේ යම් යම් ශාරීරික දුර්වලතාවන් ඉතිරි වනවා. සමහර විට ඒ රෝගියාගේ අත සහ කකුල වෙනදා හසුරුවන ලද ආකාරයට හැසිරවීමට නොහැකි වනවා. සාමාන්‍යයෙන් බලන අයකුට වුණත් ඒ අපහසුතාව පැහැදිළිවම පෙනෙනවා.
මෙහෙම වෙන්නේ ඇයි?
අංශබාග තත්ත්වයකට පසුව මෙවැනි අත සහ කකුලේ වෙනසක් ඇතිවීමට බලපාන හේතු තිබෙනවා. ආඝාතයෙන් පසුව මොළයට සිදුවන හානිය නිසා පණිවිඩ සන්නිවේදනය නිසියාකාරව සිදුවන්නේ නැහැ. ඒ නිසා රෝගියාගේ ඇවිදීමේ වෙනසක් දකින්න ලැබෙනවා. මේ තත්ත්වය Stasticity යනුවෙන් හැඳින්වෙනවා.
■ රෝගියා ඇවිදින ඉරියව් අසාමාන්‍යයි.
■ උරහිස, අත, වළලුකර, ඇඟිලි හසුරුවන ඉරියව් වෙනස් වීම.
මේ වෙනුවෙන් ප්‍රතිකාර තිබෙනවාද?
අංශභාග රෝග තත්ත්වයකින් පසුව ඇතිවන මෙම දුර්වලතාවන් වළක්වා ගැනීමට නම් රෝග තත්ත්වය ඇතිවුණ අවස්ථාවේ පටන් ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වෙනවා. අද බොහෝ රෝගීන්ට මේ ප්‍රතිකාරය නිසි වේලාවට ලැබෙන්නේ නැහැ. බොහෝ අය රෝග තත්ත්වයෙන් පසුව මේ සඳහා භෞත චිකිත්සක සහ වෙනත් ප්‍රතිකාර ලබාගන්නවා. නමුත් එවිට ප්‍රමාදයි.
මොළයට හානිවීමෙන් අපගේ අවශ්‍යතාව මත අතපය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන පරිපථ අඩපණ වනවා. එවිට හැකි ඉක්මනින් නැවත එම පරිපථ ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි.නමුත් රෝගියා විසින් බලපෑමට ලක් වූ අංග, මනසින් හෝ චලනයන් භාවිත කිරීමෙන් මොළයට ලැබෙන සංඥා ඔස්සේ පියවරෙන් පියවර මෙම පරිපථ ස්ථාපිත වෙනවා. රෝගියාගෙන් රෝගියාට මේ සඳහා ලබාදෙන උපදෙස් වෙනස් වනවා.
මුල් අවස්ථාවේදී එවැනි ව්‍යායාමවල යෙදීම සිදුනොවුණොත් අවාසි සහගත තත්ත්වයක් ඇතිවනවා. එවිට අපගේ පාලනයෙන් තොර පරිපථ සබඳතා ඇතිවනවා. එවිට Stasticity තත්ත්වය වගේම බලපෑමට ලක්වුණ අතපය හිරවීමට පත්වනවා.
එතැනින් පසුව එම පරිපථ අපට පාලනය කළ නොහැකියි. හානියට පත් ප්‍රදේශ (අතපය) අතගෑම, පිරිමැදීම නිසා රෝග තත්ත්වය අඩුවනවා වගේම වැඩිවනවා. හානියට පත් පරිපථ නැවත ස්ථාපිත වන්නේ පළමු සති කීපය තුළයි. ඒ නිසා මෙම කාලයේදී උපරිම ශක්තියෙන් රෝගියාට අවශ්‍ය සහයෝගය ලබාදීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️