මේ මාතෘකාව දකින ඔබේ හිතට මේ විදිහට හිතෙන්න පුළුවන්. දරුවන්ගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද? හැම දරුවකුගේම මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවෙනවාද? එවැනි සැක සහිත හිත් ඇති මව්පියන්ට ඒ ගැන කරුණු පැහැදිළි කිරීමක් තමයි මේ.
Childhood Nephrotic Syndrome යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වය කුමක්ද?
දරුවන්ගේ මුත්‍රා සමග අධික වශයෙන් ප්‍රෝටීන් පිටවීම (>3 g/day ) සමග ශරීරය ඉදිමීම, රුධිරයේ ඇල්බියුමින් සාන්ද්‍රනය (Sereum Albumin) අඩුවීම Childhood Nephrotic Syndrome තත්ත්වය ලෙස හැඳින්වෙනවා. දරුවන්ගේ මුත්‍රාවල ප්‍රෝටීන මැන බැලීම උදෑසන ලබාගන්නා පළමු මුත්‍රා සාම්පලයකින් පරීක්ෂා කිරීම වැදගත්.
උදේ පළමු මුත්‍රා සාම්පලය වැදගත් ඇයි?
අවදි වීමත් සමග දරුවාගේ ක්‍රියාකාරකම් සිදුවනවා. ඒ නිසා නින්දෙන් අවදි වූ උදෑසන ලබාගන්නා පළමු මුත්‍රා සාම්පලය මගින් නිවරැදි වාර්තාවන් ලබාගත හැකි වනවා.
Childhood Nephrotic Syndrome රෝග ලක්ෂණ මොනවාද?
මෙම රෝග තත්ත්වය ඇති දරුවන් වෙතින් දක්නට ලැබෙන රෝග ලක්ෂණ කීපයක් තිබෙනවා.
- ඇස් වටා ඉදිමීම.
- උදරයේ ඉදිමීම.
- දෙපා ඉදිමීම සහ අවපැහැ ගැනීම.
- කිරි පැහැයෙන් මුත්‍රා පිටවීම.
මෙවැනි රෝග ලක්ෂණ ඇති දරුවන් රෝහලට රැගෙන එනවා. නමුත් බොහෝ විට ආසාත්මිකතාවයක් නිසා ඉදිමුම් තත්ත්වය ඇතිවන බවට වරදවා වටහා ගන්නා අවස්ථාවන්ද තිබෙනවා. කාලය සමග මුත්‍රා ප්‍රමාණය අඩු වී ඉදිමුම වැඩි වීමට පුළුවන්.
දරුවන්ගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීමට හේතු මොනවාද?
Childhood Nephrotic Syndrome රෝග තත්ත්වය සඳහා බලපාන තනි එක් හේතුවක් සඳහන් කිරීම අපහසුයි. නමුත් මෙම රෝග තත්ත්වය සඳහා බලපාන හේතු කීපයක් මේ අන්දමින් සඳහන් කරන්න පුළුවන්.
- පසු ආසාදන.
- වෛරස හා බැක්ටීරියා රෝග.
- එන්නත්.(මෙය ඉතා කලාතුරකින් ඇති වියහැකි තත්ත්වයක් )
- ඖෂධ වර්ග.
ජානගත රෝග නිසාත් ප්‍රෝටීන් කාන්දු වීමට පුළුවන්
කිසියම් හේතුවක් නිසා වකුගඩු තුළ මුත්‍රා පෙරන ඒකක (Glomeruli) තුළ ක්‍රියාකාරීත්වය අඩපණ වී ඒවා ප්‍රෝටීන කාන්දුවට විවර වෙනවා. මෙම මුත්‍රා පෙරන පටල විවර වීමක් සිදුවනවා. මෙම මුත්‍රා පෙරන පටල හරහා (Leaky membrane) ඇල්බියුමින්, ග්ලුකොලින් හා රුධිර කැටි ගැසීමේ සංඝටක ප්‍රෝටීන්ද පිටවිය හැක.
Childhood Nephrotic Syndrome රෝග සංකුලතාවන් මොනවාද?
මෙම රෝග ලක්ෂණ සහිත දරුවන්ගේ රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර ප්‍රමාද වීම හෝ රෝග ලක්ෂණ නොසලකා සිටීම නිසා විවිධ සංකුලතාවන් ඇතිවීමට පුළුවන්.
උදරය, මුත්‍රා මාර්ගය අධික ලෙස ඉදිමීම.
උදර කුහරය, පෙනහලු ආශ්‍රිතව තරල එකතු වීම නිසා ශ්වසන අපහසුතාවන් ඇතිවීම (Fluid Overload)
ප්‍රෝටීන කාන්දු වීම නිසා
වකුගඩු දුර්වල වීම.
රුධිර කැටිති ඇතිවීම. (Thrombosis)
ශරීරයේ කුහර ආශ්‍රිතව තරල එකතු වී ආසාදන තත්ත්වයන් ඇතිවීම.
Childhood Nephrotic Syndrome රෝගයට ප්‍රතිකාර තිබෙනවාද? සුවකළ හැකිද?
මෙම රෝග තත්ත්වය සඳහා මූලික ප්‍රතිකාර ලෙස කාන්දු වන වකුගඩු මුත්‍රා පෙරන ඒකක ප්‍රතිෂ්ඨාපනය අවශ්‍ය වෙනවා. ඒ සඳහා Prednisolone (Steroid) නමැති ඖෂධ භාවිත කරනවා. එයින් අතුරු ආබාධ ඇතිවිය හැකි නිසා ඖෂධ වෙනස් කරමින් ලබාදුන්නත් සමහර විට රෝගය පාලනය සඳහා දෙවන කාණ්ඩයේ ඖෂධ ලබාදීමටත් සිදුවනවා.
Prednisolone ඖෂධය නිසා ඇතිවන අතුරු ආබාධ මොනවාද?
බහුලව භාවිත කිරීම නිසා ඇතිවන අතුරු සංකුලතාවන් කීපයක් තිබෙනවා.
■ නින්ද පිළිබඳ ගැටලු.
■ නිතර තරහ යෑම.
■ අධික ලෙස ආහාර රුචිය ඇතිවීම.
■ ශරීරයේ බර වැඩිවීම.
■ හැසිරීම වෙනස් වීම
වැනි ලක්ෂණ දක්නට ලැබෙනවා. නමුත් ඖෂධ මාත්‍රාව වෙනස් කිරිමත් සමග මෙම සංකුලතාවන් අවම වෙනවා. තත්ත්වය නිට්ටාවටම සුව කිරීම පිළිබඳව සඳහන් කිරීම අපහසුයි.මෙම රෝගය වැළඳෙන සංවේදී දරුවන් අතරින් 60%-90% අතර ප්‍රතිශතයකට රෝගය නිතර නිතර උත්සන්න වීමද, නැවත රෝග පාලනයට (Relapse and remission) ලක්වීමද, යම් ප්‍රතිශතයක් වැඩිවියට එළැඹීමත් සමග පූර්ණ රෝග පාලනයටද පැමිණෙනවා.
මෙවැනි දරුවන් සම්බන්ධයෙන් මව්පියන්ගේ වගකීම කෙසේද?
■ වෛද්‍ය උපදෙස් අනුව නිවරැදි ඖෂධ මාත්‍රාව ලබාදෙන්න.
■ වෛද්‍ය උපදෙස් නොමැතිව Prednisolone මාත්‍රාවන් වැඩි නොකරන්න.
■ දිනපතා උදෑසන මුත්‍රා ප්‍රෝටීන පරීක්ෂණය සිදුකර දින පොතක සටහන් කරන්න.
මෙම කටයුතු ඔබේ දරුවාගේ රෝග තත්ත්වය පාලනය සඳහා උපකාරී වෙනවා. දරුවාගේ බර වැඩිවීම රෝග පාලනයට අහිතකර ලෙස බලපාන නිසා නිසා පෝෂණය සහිත ආහාර වේලක් ලබාදීම, දෛනික ක්‍රියාකාරකම් හෝ ශාරීරික ක්‍රියාකාරකම්වල දරුවා යොමු කිරීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️