වැස්සත් සමඟ ඇතිවන ගං වතුර තත්ත්වයත්, ගංවතුරෙන් පසුව ලෙඩ රෝග පැතිරීමේ වේගයත් ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් සිදුවනවා. විශේෂයෙන් ගං වතුර බැස යෑමත් සමඟ ජලයෙන් බෝවන රෝග තත්ත්වයන් ගැන වාර්තා වීම් ඉහළ යෑමක් සිදුවනවා.
ගං වතුරෙන් පසුව ලෙඩරෝග පැතිරීම වේගවත් වන්නේ ඇයි?
ගං වතුර තත්ත්වයකදී පොළොවේ ජල මට්ටම ඉහළ යෑමක් සිදුවනවා. මේ අන්දමින් ජලයේ ධාරිතාව වැඩිවීමත් සමගම පොළොව මතුපිට ඇති කුණුකසළ වගේම නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව ඉදි නොකළ වැසිකිළි පද්ධතිවලින් අපවිත්‍ර වුණ ජලය ගසාගෙන විත් පානීය ජලය සපයන ජල මූලාශ්‍ර සමඟ එකතු වීමක් සිදුවනවා. ඒ නිසා රක්තපාතය, මී උණ, පාචනය වැනි රෝග තත්ත්වයන් වැලඳීමට තිබෙන අවදානම ඉතාම ඉහළයි.
රෝගවලින් ආරක්ෂා වීමට…
ගංවතුර බැස ගියත් රෝග ඇතිවීමේ අවදානම අඩුවන්නේ නැහැ. ඒ නිසා ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.උණුකර නිවාගත් පිරිසිදු ජලය පානයට ගැනීම රෝග වැළඳීමෙන් ඔබට ආරක්ෂාව සලසාගත හැකි සරලම සහ පහසුම පිළිවෙතයි.
ඔබ නළ ජලය පාවිච්චි කළත් පාන වර්ග ආදිය සකස් කිරීමේදී උණුකර නිවා ගැනීම වැදගත්. ඒ වගේම ආහාර පිස ගැනීමට පෙරාතුව එළවළු සහ පලතුරු හොඳින් පිරිසිදු කරගන්න.
එළවළු අමුවෙන් ආහාරයට ගැනීම (සලාද ලෙස) මේ දිනවල එතරම් සුදුසු නැහැ. හොඳින් පිසගත් ආහාර වගේම පිසින ලද ආහාර වුණත් වැඩි වේලාවක් පිටත තබාගැනීම සුදුසු නැහැ. ඒ වගේම පිසින ලද ආහාර මැස්සන් නොවසන පරිදි හොඳින් වසා තැබීමට අමතක කරන්න එපා.
මැස්සන් වැනි කෘමීන් රෝග බෝ කරන වාහකයන් නිසා ඔබ කොතරම් ආරක්ෂිත ලෙස පිසින ලද ආහාරයක් වුණත් මෙම කෘමීන් වැසීම නිසා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙනවා.
ඔබගේ ඉඩමේ ඇති ළිඳ ගං වතුරට යට වූවා නම් නැවත එම ළිඳේ වතුර පරිභෝජනයට පෙරාතුව ළිඳ ඉස පිරිසිදු කර ක්ලෝරීන් නාශක යොදාගත යුතුයි.
මේ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් සහ ක්ලෝරීන් ඔබ පදිංචි ප්‍රදේශයේ මහජන පරීක්ෂක මහතාගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගත හැකියි.
ගං වතුර බැස යෑමත් සමඟ තැන තැන ඉතිරි වන ජලයේ ඩෙංගු, බරවා වැනි මදුරුවන් බෝ වීමට ඉඩ තිබෙන නිසා එවැනි ස්ථාන ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.
හදිසි ආපදා තත්ත්වයකදී ආරක්ෂා වෙන්නේ කොහොමද?
විදුලි කොටන සහ අකුණු ගසන වේලාවකදී ආවරණය වුණ ආරක්ෂිත ස්ථානයකට යෑම ඉතාම වැදගත්. ඔබේ නිවසේ ඇති කැඩුණ විදුලි රැහැන් සහ පේණු ඔස්සේ විදුලි සර වැදීමේ අවදානමක් ඇති නිසා එවැනි ස්ථානවලින් ඈත්වන්න.වැස්සට පෙඟී ගිය බිත්ති සහ තාප්ප කඩා වැටීමට වැඩි අවදානමක් ඇති නිසා එවැනි අනතුරුදායක තැන්වලින් ඈත්වන්න.
වැසි ජලයෙන් යටවුණ තැන්වල ඇවිදීමට සමහර පුද්ගලයන් බෙහෙවින් ප්‍රිය කරන අතර ඇතැමුන් එය විනෝදාංශයක් කර ගෙන ඇති අවස්ථාවන්ද තිබෙනවා. නමුත් මෙය ඉතා අවදානම් සහගත බැව් තරයේ මතක තබාගන්න.
ඔබ ජීවත්වන ප්‍රදේශය ගං වතුර, නාය යෑමේ අවදානම් කලාපයක් නම් අනතුරු දැනුම්දීම් ගැනත් සැලකිලිමත් වීම වැදගත්. එවිට ආපදාවට පෙරාතුව ඔබේ ආරක්ෂාව සලසා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙහිදී ඔබට ආරක්ෂිත ස්ථානයක නවාතැන් ලැබෙනු ඇත.
එම ස්ථානයේ පිරිසිදු බව ගැන සැලකිළිත් වීම ඔබගේ යුතුකමක් වේ. කසල බැහැර කිරීමේදී ආදාළ තැනකට ඒවා බැහැර කරන්න. තැන තැන ඉඳුල් ආදිය දැමීම නිසා රෝග බෝ වීමේ අවදානම තවත් ඉහළ නංවන අතර ප්ලාස්ටික් භාජන, පොලිතින් කොළ තැනින් තැන දැමීම නිසා ඩෙංගු මදුරුවන් බෝවීමේ ශීඝ්‍රතාව ඉහළ යෑමේ අවදානම ගොඩනැගේ.
බෝ වන රෝග පැතිරීම වළක්වා ගන්නේ කොහොමද?
ඔබට දියර ලෙස මලපහ පිට වනවා නම් මුලින්ම ජීවනී ප්‍රතිකාරය පටන්ගන්න. එසේත් අඩුවක් නොමැති නම් සෞඛ්‍ය උපදෙස් වෙත යොමුවීම වැදගත්.
උණ, කැස්ස, වමනය, සිරුරේ පලු දැමීම වැනි රෝග ලක්ෂණ වෙතොත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත්.
එළිමහනේ ඇවිදින විට වගේම වැසිකිළි යෑමේදී පාවහන් පැළඳීම වැදගත්. ඒ වගේම වැසිකිළි යෑමෙන් පසුව සහ ආහාර පිසීමට පෙරාතුව සබන් යොදා හොඳින් අත් සෝදා ගන්න. කුඩා දරුවන්ටත් වැසිකිළි භාවිතය හුරු කරන්න. ඔවුන්ගේ මලපහ නිසි පරිදි වැසිකිළියටම දැමීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක්.
ඒ වගේම මෙම ආපදා කාලයේදී දරුවාට මව්කිරි ලබා දීම නොකඩවාම සිදු කරන්න. මව්කිරි දීමෙන් බෝ වන රෝගවලින් දරුවා ආරක්ෂා වේ.ඒ වගේම ප්‍රසූතියට ආසන්න මව්වරුන් සිටිනවා නම් හදිසි ආපදා අවස්ථාවකදී ඔවුන් රෝහල්ගත කිරීමේ ගැටලු ඇති වීමට ඉඩ තිබෙනවා.
ඒ නිසා හදිසි ආපදා තත්ත්වයකදී ප්‍රසූතියට ආසන්න ගැබ්බර මව්රුන්ගේ වෙනුවෙන් විධි විධාන සලසා ගැනීමත් වැදගත් වේ. මේ නිසා ආපදා තත්ත්වයකදී අපේ සෞඛ්‍ය තත්ත්වය වගේම ආපදාවෙන් ඇතිවන අනතුරුවලින් ආරක්ෂාව ලබාගැනීමේ වගකීම තමා වෙත තබා ගැනීමත් ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️