පෙනහල්ල විසින් නිපදවන සෙම, අපේ ශරීරයේ පවතින සාමාන්‍ය වගේම අත්‍යවශ්‍ය දෙයක්. සෙම හෙවත් ශ්ලේෂ්මල නිසා පෙනහලු ආරක්ෂා වනවා. අපි හුස්ම ගන්නා විට දූවිලි අංශු සහ වෙනත් ආගන්තුක දේ ආශ්වාස වෙනවා. මේවා පෙනහලු වෙතට නොගොස් අතරමගදී වළක්වා ගැනීමට සෙම යනුවෙන් අපි හඳුන්වන ශ්ලේෂ්මල උදව් වනවා. ඒ නිසා සෙම යනුවෙන් හඳුන්වන මේ ශ්ලේෂ්මල නිසා පෙනහලුවලට විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා. දවසකට සෙම මිලි ලීටර් 80-100 ක් පමණ නිෂ්පාදනය වෙනවා.
සෙම රෝග ලක්ෂණ ඇතිකරන අවස්ථා තිබෙනවාද?
රෝග ලක්ෂණයක් නොමැතිව සෙම තිබුණත් විවිධ හේතු නිසා විවිධ අවස්ථාවලදී සෙම වැඩියෙන් නිෂ්පාදනය වනවා. ඒ වගේම ශ්වසන මාර්ගය ආශ්රිත රෝග තත්ත්වයන් අද අප අතර ඉතාම සුලබයි. ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ වගේම ශ්වසන මාර්ගයේ පහළ කොටසේ රෝග සංකුලතාවන් ඇති වනවා.
ශ්වසන මාර්ගය ආශ්රිත රෝග තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු මොනවාද?
1 ශ්වසන මාර්ගයට ඇතුළු වන විෂබීජ ආශ්රිත රෝග තත්ත්වයන්.
උදාහරණ ලෙස නිව්මෝනියාව,ක්ෂය රෝගය, උගුර ආසාදන, කෝටාරක ප්‍රදාහය ( Sinusitis) වැනි රෝග පෙනහලු ආශ්‍රිතව හෝ ඉහළ ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇති විය හැක.
2 ආසාත්මික රෝග තත්ත්ව.
උදාහරණ ලෙස ඇදුම, පීනස වාතයේ තිබෙන ආසාත්මිකකාරක අංශුවලට නාසය, උගුර, වාත කෝටාර සහ ඇස්වල ඇති ශ්ලේෂ්මල පටල සංවේදී වීම නිසා ඇතිවන ඉහළ ශ්වසන මාර්ගය ආශ්රිත ආසාත්මිකතා.
මෙය සාමාන්‍ය ව්‍යවහාරයේදී පීනස යනුවෙන් හඳුන්වනවා.මෙම සංවේදී අංශු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. මෙට්ටයක හෝ කොට්ටයක සිටින මයිටා ( House dust mite ), මල් පරාග, බල්ලන් සහ බළලුන්ගේ ලොම්, දිලීර සහ දූවිලි මේ අතරට ඇතුලත්.
පෙනහලුවලට වාතය ගෙනයන නාළ අවහිර වීම නිසා ඇති වන ඇදුම
ඇදුම රෝගය බොහෝ විට ඇතිවන්නේ පෙනහලුවල ඇති වායු නාළ ආසාත්මික කාරකයන්ට නිරාවරණය වීම නිසයි.
සෙම නරක්වීම හඳුනාගන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් සෙම අවර්ණයි. තුනී ස්වභාවයකින් යුක්තයි. නමුත් විෂබීජ නිසා ආසාදිත වුණවිට සෙමවල විවිධ වර්ණයන් දක්නට ලැබෙනවා. උදාහරණ විදිහට කොළ, දුඹුරු හෝ ලේ මිශ්‍ර ස්වභාවයකින් දකින්න ලැබෙනවා. සමහර අවස්ථාවල සෙම සමග උණ රෝග තත්ත්වයන් ඇතිවනවා.
ප්ලූරසි තත්ත්වය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
පෙනහලු දෙක සහ සහ පපු බිත්තිය ඇතුළත ‘ප්ලූරා’ (pleura) නමින් වූ තුනී පටලයකින් ආවරණය වී තිබෙනවා. ඒ අතර ඇති අවකාශය තරලයකින් පිරී ඇති අතර ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අපහසුවක් නොවන අන්දමින් සිදුවීමට මෙම තරලය උපකාරී වේ. පෙනහලුවලට වගේම ප්ලූරා පටකයට විෂබීජ ඇතුළු වුණොත් ආසාදනයක් ඇතිවීමට පුළුවන්.
මේ පටලය ප්‍රදාහය වූ විට ඒ රෝග තත්ත්වය ‘ප්ලූරසි ආසාදනය’ යනුවෙන් හැඳින්වෙනවා.ප්ලූරසි රෝග තත්ත්වය ඇතිවීමට විවිධ හේතු බලපානවා. විෂබීජ නිසා ආසාදනය වීම, ක්ෂය රෝග තත්ත්වය නිසා ප්ලූරසි ආසාදනය ඇතිවනවා. ක්ෂය රෝග තත්ත්වය බොහෝ විට බලපාන්නේ පෙනහලුවලට වුණත් ප්ලූරා පටලය ආසාදිත වූ විට ‘ප්ලූරස’ තත්ත්වය ඇතිවිය හැකියි.
ප්ලූරසි රෝග තත්ත්වයකදී ඇතිවන රෝග ලක්ෂණ
රෝගියාගේ පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි අතුරු සංකුලතාවන් ඇතිවනවා.
පෙනහලුවල වතුර පිරෙන අවස්ථාවන් මොනවාද?
විවිධ හේතු නිසා පෙනහලුවල තරල පිරෙන අවස්ථාවන් තිබෙනවා. හෘදය දුර්වල වීම නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව වකුගඩු අක්‍රිය වීම නිසා අක්මාව අක්‍රිය වීම.මෙවැනි රෝග තත්ත්වයන් නිසා පෙනහලුවලට තරලය එකතු වීමට පුළුවන්. අපි මේ තත්ත්වයන්හිදී සෙම යැයි අනුමාන කළත් එය වැරදියි. තරලය පිරෙන්නේ රෝගියාගේ අවයවයන්හි ඇති දුර්වලතාවන් නිසා බැවින් එවැනි අවස්ථාවන්හිදී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතා වැදගත්.
දිගුකාලයක් එක්තැන්ව සිටින රෝගීන් සෙම වැඩිවී මරණයට පත් වන්නේ ඇයි?
බොහෝ විට විවිධ රෝග තත්ත්වයන් නිසා කාලයක් එක්තැන්ව සිටින රෝගියෙක් මරණයට පත්වන්නේ ඔහුගේ රෝග තත්ත්වය නිසාම නොවන අවස්ථා තිබෙනවා. එවැනි රෝගීන් බොහෝ විට නිව්මෝනියාව වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වෙනවා.
රෝග තත්ත්වය නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිය දුර්වල වීම එක් හේතුවක්. ඊට අමතරව ඔවුන් එක්තැන් වී සිටින නිසා කන බොන දේ පෙනහලුවලට යෑම නිසා නිව්මෝනියාව ( Aspiration pneumonia) සෑදී මරණයට පත් වෙනවා.
සෙම රෝග තත්ත්වය නිසා අවදානමක් ඇතිවිය හැකි පුද්ගලයින්.
පිළිකා රෝග තත්ත්වයේදී ලබාදෙන ඖෂධ නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. ඒ නිසා ආගන්තුක විෂබීජවලට ඔරොත්තු දීමේ හැකියාව නැති නිසා ඉතා පහසුවෙන් ශ්වසන මාර්ගය ප්‍රදාහ සහ ආසාත්මිකතාවන්ට ගොදුරු වීමට පුළුවන්.
ප්‍රතිකාර ගන්නා පිළිකා රෝගීන් නිතරම තමන්ගේ ප්‍රවේසම ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.බාහිර පරිසරයට නිරාවරණය වෙනවා නම් මුව ආවරණ පැළඳීම වැදගත්.අවයව බද්ධ කළ රෝගීන් ( වකුගඩු, අක්මා වැනි ) පහසුවෙන්ම විෂබීජවලට නිරාවරණය වීමේ අවදානම තිබෙන නිසා ශ්වසන ආශ්රිත රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසා ගැනීම වැදගත්.
වයස්ගත පුද්ගලයින්
රෝගාබාධ නිසා එක්තැන්ව සිටින රෝගීන් සහ කුඩා දරුවන්ද ඉතා පහසුවෙන් සෙම රෝග තත්ත්වයන්ට ගොදුරු වීමට ඉඩ තිබෙනවා.
ප්‍රතිශක්ති ඌනතාවන් ඇති පුද්ගලයින්
දිගුකාලීනව පෙනහලු රෝග තත්ත්වයන් පවතිනවා නම් එවැනි රෝගීන් විසින් නිව්මෝනියාව සහ ඉන්ෆලුවන්සා වැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ප්‍රතිශක්ති එන්නත් ලබා ගැනීම වැදගත්.
සෙම ඉවත් කිරීම ප්‍රතිකාරයක් නොවෙයි
සෙම නිසා ආහාර පිට යෑම හෙවත් පිට උගුර තත්ත්වයන් ඇති වූ විට සෙම ඉවත් කිරීම සිදු කළත් එය ප්‍රතිකාරයක් නොවෙයි. එයින් සිදුවන්නේ රෝගියාට යම් පහසුවක් ලබාදීම පමණයි.
සෙම රෝග තත්ත්වයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ
සෙම ආශ්රිත රෝග තත්ත්වයක් හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ වාර්තා, සෙම පටල පරීක්ෂාව සහ එක්ස්රේ පරීක්ෂණ ලබාගැනීම සිදුකරනවා.
සෙම රෝග තත්වයන්ගෙන් ආරක්ෂා වීමට
1 බැක්ටීරියා සහ වෛරස නිසා ශ්වසන මාර්ගයේ ආසාදන ඇතිවනවා. ඔබගේ ප්‍රතිශක්තිය අඩු නම් එළියට යෑමේදි ප්‍රවේසම් වන්න. සමහර එන්නත් මගින් උදාහරණ Influenza, නිව්මෝනියාව වැනි සමහර වෛරස රෝග වළක්වා ගත හැකියි.
2 ඔබට ආසාත්මිකතා සෙම් රෝග ඇත්නම් ( ඇදුම, පිනස ) ඔබට අහිතකර වන දුම, දූවිල්ල ආදි හේතු කාරණාවන්ගෙන් දුරස් වෙන්න.
3 දුම්පානය කරනවා නම් එයින් වැළකී සිටින්න.
4 ඔබ ශ්වසන රෝගයකට (ඇදුම, පීනස) ප්‍රතිකාර ලබාගන්නේ නම් වෛද්‍ය අනුමැතිය මත අඛණ්ඩව ප්‍රතිකාර ලබාගන්න.
ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
තුෂාර ගලබඩ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️