ඈත අතීතයේදී මිනිසුන් බොහෝමයක් ඉතා අඩු වයසින් මියගොස් තිබුණා. බොහෝම කලාතුරකින් කෙනකු තමයි වයසට ගොස් මියගිහින් තිබුණේ. පාරම්පරික මතවාදවල එල්බ සිටින අය නම් ඉහත කාරණාවට එකඟ නැතිව ඇති. ඒ වුණාට විද්‍යානුකූල සාධක අනුව නම් සත්‍යය ඒක තමා. වර්ෂ 1820 දී ලෝකයේ දියුණු රටක පවා උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 35 ක් තරම් අඩු අගයක තමා තිබුණේ. නමුත් වර්ෂ 2000 වනවිට ලෝකයේ දියුණු රටක උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 80 ක් තරම් ඉහළ අගයක පැවතුණා. අද එම අගය ඊටත් වඩා වැඩියි. මේකට හේතුව කුමක්ද?
අතීතයේදී බොහෝමයක් මිනිසුන් මියගොස් තිබුණේ බෝවන රෝග නිසා. ඒ කියන්නේ බැක්ටීරියා, වෛරස, දිලීර සහ ප්‍රොටොසෝවා ආසාදන නිසා. ඒ කාලයේදී මේ කියන අසනීප සුවකිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ සොයාගෙන තිබුණේ නෑ. මේ නිසාම කොළරාව, පාචනය, මැලේරියාව, වසූරිය, ක්ෂය රෝගය, ලාදුරු, කක්කල් කැස්ස, ඩිප්තීරියාව ආදී බෝවන රෝග නිසා මිනිසුන් මියගියේ ගම් පිටින්. බොහොම කලාතුරකින් තමා එම රෝග වැලඳුණ කෙනෙක් ජීවිතය බේරගත්තේ. සාම්ප්‍රදායික හෝ ගෝත්‍රික ප්‍රතිකාර ක්‍රම තුළ මේ රෝග සුව කිරීමට නිසි ප්‍රතිකාර තිබුණේ නැහැ.
මිනිසුන් ජීවත්වන කාලය තීරණය කළ හැරවුම් ලක්ෂය…
වර්ෂ 1910 දී සායනිකව යොදා ගැනීමට, ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය නිර්මාණය වනවා. ඒ සැල්වසාන් (salvarsan) නමුත් එය සායනික භාවිතයේ අද දක්නට ලැබෙන්නේ නෑ. වර්ෂ 1928 දී පෙනිසිලින් නම් ප්‍රතිජීවක ඖෂධය සොයාගැනීමත් සමඟ නව ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමේ ස්වර්ණමය යුගය ආරම්භ වෙනවා. එය 1950 දශකයේ මැද භාගයේදී ප්‍රශස්ථ මට්ටමකට පත්වූ අතර මේ කාලයේදී නවීන වෛද්‍ය විද්‍යාවේ ඇතිවූ ශීඝ්‍ර දියුණුවට පින් සිදුවන්නට මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වේගයෙන් වැඩිවෙනවා. ඒ කියන්නේ වෙනදා මෙන් මැලේරියාව, ක්ෂය රෝගය, කක්කල් කැස්ස හෝ ඩිප්තීරියා වැනි රෝග නිසා ගම් පිටින් මිනිසුන් මියයෑම නවතිනවා. ඒ කියන්නෙ අඩු වයසින් මිනිසුන් මියයෑමේ සම්භාවිතාව බොහෝ සෙයින් අඩුවෙනවා.
අතීත ආවර්ජනය 2019 දී…
වර්ෂ 2019 යේ අගභාගයේදී ඇතිවී වසර හතරක පමණ කාලයක් මුළු ලෝකයම සසල කළ කොවිඩ් 19 වසංගත තත්ත්වය අපට අතීත ආවර්ජනයක් බඳු වුණා. අතීතයේදී බෝවන රෝගවලින් ගම් පිටින් මිනිසුන් මියගිය ආකාරය නැවතත් ලෝකවාසීන්ට මතක් කරදීමක් සිදුවුණා. අතීතයේදී නම් මෙවැනි ව්‍යසනයකදී ඉරණම දෙවියන්ට සහ යක්ෂයන්ට භාරදුන්නද නවීන විද්‍යාවේ ඇති දියුණුව නිසා මෙම වසංගතය මැඬපැවැත්වීමට ඉක්මණින්ම හැකියාව ලැබුණා.
මරණ වරෙන්තුව වෙනස් වූ හැටි…
මිනිසුන් වැඩි කාලයක් ජීවත් වනවිට ඔවුන් මියයාමට හේතුවන කාරණාවන්ද වෙනස් වන්නට පටන් ගත්තා. වැඩිපුරම හෘද රෝග ඇතිවන්නේ වයසට යනකොට. වැඩිපුරම පිළිකා රෝග ඇති වෙන්නේ වයසට යනකොට. අක්මා රෝග සහ වකුගඩු රෝග මඟින් එම අවයව අකර්මණ්‍ය වන තත්ත්වයට පත්වන්නේ වැඩිපුරම වයසට යනකොට. නිධන්ගත ශ්වසන රෝග, නිධන්ගත ස්නායු රෝග, ඩිමෙන්ෂියා, අඝාතය වැනි තත්ත්වයන් වැඩිපුරම ඇතිවන්නේත් වයසට යනකොටයි.
මෙයින් පැහැදිලි වන්නේ වැඩි කාලයක් මිනිසුන්ට ජීවත්වීමේ භාග්‍යය ලැබෙනකොට බොහෝවිට ඒ අයගේ මරණය සිදුවන්නේ බෝනොවන රෝගවලින් ඇතිවන බලපෑම් නිසා බොහෝ සෙයින් පීඩා විඳිමිනුයි. වර්තමානයේ ලෝකයේ සිදුවන මරණවලින් වැඩි හරියක්ම සිදුවී තිබෙන්නේ හෘද රෝග සහ පිළිකා රෝග නිසයි. බෝවන රෝග ඉතා කෙටි කාලයකින් නිට්ටාවටම සුව කිරීමේ හැකියාව අද තිබුණත් බෝනොවන රෝගවලින් පීඩා විඳින රෝගීන්ගෙන් වැඩි කොටසක් දීර්ඝ කාලීනව එම රෝගවලින් සහ එම රෝග සඳහා කරන ප්රතිකාරවලින් පීඩාවන්ට ලක්වෙමින් ඉතා දුක්ඛිත ලෙස ජීවත් වනවා දැකගත හැකියි.
දුක, දුකට හේතුව, දුක නැතිකිරීමේ මාර්ගය සහ දුක නැතිකිරීම…
බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන ඉතා ගැඹුරු චතුරාර්ය සත්‍යයේ එන මූලධර්මයන් ලෞකික ජීවිතයේ මුහුණ දීමට සිදුවන ජීවිතයට තර්ජනයක් ගෙන දෙන රෝගවලින් පීඩා විඳීමෙන් මුදවා ගැනීමටද යොදාගත හැකියි. අතීතයේදී නම් රෝගවලට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනු ලැබූයේ ‘Biological Model’ හෙවත් ජෛව විද්‍යාත්මක නිරූපණයයි. මෙහිදී කිසියම් පුද්ගලයකුගේ රෝගයට හේතුව කුමක්ද කියා සොයා බලා ඊට ප්‍රතිකාර කිරීම සිදුකරනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමවේදයේ අඩුපාඩු රැසක් තිබූ නිසා වර්තමානයේ එය දියුණු රටවල්වල ප්‍රතිකාර ක්‍රමවේදයෙන් ඉවත් කොට තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් යොදාගත්තේ ‘Biopsychosocial-Spiritual Model’ හෙවත් ජෛව විද්‍යාත්මක, මානසික, සමාජියික සහ අධ්‍යාත්මික නිරූපණයයි. මෙහිදී රෝගියාගේ සමස්ථයම සලකා බලන අතර ඔහුගේ හෝ ඇයගේ කායික, මානසික, සමාජියික සහ අධ්‍යාත්මික යන පැතිකඩවල් අතර අන්තර් ක්‍රියාවන් පූර්ණ ලෙස සලකා බලා රෝගි සත්කාරය සහ රෝගියාගේ සුබසිද්ධිය ළඟා කරදීම සිදු කරනු ලබනවා. මේ සඳහාම සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන් තුළට අලුතින්ම එකතු වූ අත්‍යවශ්‍යම ප්‍රතිකාර ක්‍රමවේදයක් වනුයේ සහන සත්කාරයයි (Palliative Care).
මෙහිදී ජීවිතයට තර්ජනයක් ගෙනදෙන රෝගවලින් පීඩාවිඳින රෝගියාත් පවුලේ සාමාජිකයනුත් උපස්ථායකයිනුත් කායික මානසික සමාජයික සහ අධ්‍යාත්මික වශයෙන් සිදුවන පීඩාවන් කල්තබා හඳුනා ගන්නවා. එසේ නොමැති නම් එවැනි ඇතිවිය හැකි පීඩාවන් ඇතිවීමට පෙර හඳුනාගන්නවා. එම පීඩාවන් ඇතිවීමට හේතුව කුමක්ද කියා ඉතා ක්රමානුකූලවත් සවිස්තරාත්මකවත් සොයා බලා ඒවාට ඉතා ඉක්මනින් පිළියම් යොදා එම පිරිස් එම පීඩාවන්ගෙන් මුදවා ගන්නවා.
සහන සත්කාරය බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන්ට පමණද?
නැහැ. වර්තමානයේ අලුතින් ඇති වී තිබෙන ඇතැම් බෝවෙන රෝග කිහිපයක් නිසාත් දීර්ඝ කාලීනව රෝගීන් පීඩාවට පත්වීම සිදුවෙනවා. මේ අතර ඒඩ්ස් රෝගි තත්ත්වය සහ ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝදී ක්ෂය රෝගි තත්ත්වයන්ද අයත් වෙනවා. ජලභීතිකා රෝගී තත්ත්වය නිසා පීඩාවිඳින රෝගීන්ටද සහන සත්කාරය ඉතා ප්‍රයෝජනවත් බවට වර්තමානයේ මතයක් ගොඩනැඟෙමින් තිබෙනවා.
ලෝකයේ දියුණු රටවල්වල සහන සත්කාරය සඳහා සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ඉතා ඉහළ අවදානයක් ලබාදී තිබුණද දියුණුවෙමින් පවතින සහ නොදියුණු රටවල්වල මේ සඳහා ඇති ප්‍රමුඛතාව මෑතක් වනතුරුම පැවතියේ ඉතාම අවම මට්ටමකයි. රෝග නිවාරණය, මාතෘ සහ ළදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතා ඉහළ තැනක සිටින ශ්‍රී ලංකාව සහන සත්කාරය සම්බන්ධයෙන් ඉතාම පහළ මට්ටමක තවමත් සිටීම විමතියට කාරණාවක්. මේ නිසාම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළම නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම සාමාජිකයින්ගේ
පවා මරණය ඉතාම පීඩාකාරි දුක්ඛිත අත්දැකීමක් වී තිබෙනවා. තත්ත්වය මෙසේ වූ විට කිසිවක් කරකියාගත නොහැකි දුප්පත් මිනිසුන් ගැන කුමන කතාද? ශ්‍රී ලංකාව තුළ සහන සත්කාරය දියුණු කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් අතර සිදුවන ඇතැම් සාකච්ඡාවලදී පවා පැහැදිලි වන්නේ සහන සත්කාරය පිළිබඳ ඇති නොදැනුවත්කම සහ අත්දැකීම් අඩුකම නිසාම එය දියුණු කිරීම සඳහා සාර්ථකව තීරණ ගැනීමට දැඩි ප්‍රතිරෝධයක් ඇති බවයි.
මීට හොඳම උදාහරණය වන්නේ රෝහල්වලින් පිටත තම නිවෙස්වලදී පිළිකා වැනි රෝග හේතුවෙන් මියැදෙන රෝගීන්ගේ අසීමිත වේදනාවන් සමනය කිරීම සඳහා එන්නතක් ලෙස මෝෆීන් නම් දිව්‍යමය වේදනානාශක ඖෂධය යොදාගැනීමට ශ්‍රී ලාංකීය සෞඛ්‍ය නිලධාරීන් තුළ ඇති අහේතුක භීතිකාවයි.
එංගලන්තය වැනි ලෝකයේ දියුණු රටවල්වල ඉතා සාර්ථකව රෝගීන්ගේ නිවෙස් තුළදී පවා මෙම ඖෂධය භාවිත කරන අතර එමඟින් මරණය අභිමුඛයේ ඇතිවන දැඩි වේදනාවන් සියල්ල මැඬගෙන පීඩාවන්ගෙන් තොරව මරණයට මුහුණදීමට හැකියාව ලබාදී තිබෙනවා. කිසිදු රෝගියකු වේදනාවන්ගෙන් මිරිකෙමින් තම ජීවිතයේ අවසන් ගමන යායුතු නැහැ. මෙවැනි පසුබිමක පවා ශ්‍රී ලංකාව තුළ සිය ගණන් පිළිකා රෝගීන්ට එම අමිහිරි වූ අත්දැකීම පීඩාවන්ගෙන් තොරව ඉතා සහනයෙන් යුතුව ගත කිරීමට අවස්ථාව ලබාදීමට හැකිවීම ගැන මට ඇත්තේ නිහතමානි සංතෘෂ්ඨියක්.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/07/shaama-gunathilake.jpg)
හරින්දී ලියනගේ ✍️