platelet rich plasma -PRP – PRP ප්‍රතිකාර ක්‍රමය
සමාජයේ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පවත්වා ගැනීමේදී පුද්ගලයෙකුගේ බාහිර පෙනුම ඉතාම වැදගත්. විශේෂයෙන් සමේ සහ හිසකෙස් ආශ්‍රිතව ඇති වන ගැටළු නිසා බොහෝ දෙනෙක් මානසිකව පීඩාවට පත් වෙනවා.
ඒ නිසාම ඔවුන්ගේ පෞරුෂය බිඳ වැටෙනවා. ඒ වගේම සමේ සහ හිසකෙස්වල ඇති වන ගැටළු වෙනුවෙන් ලබා දෙන විවිධ ප්‍රතිකාර තිබෙනවා. බාහිරව ලබාදෙන ආලේපන වර්ග, සිරුර අභ්‍යන්තරයට ලබා දෙන ඖෂධීය ප්‍රතිකාර, පාරජම්බුල ප්‍රතිකාර ( UV ), ලේසර් ප්‍රතිකාර, Chemical Peeling සහ රුධිර පට්ටිකා ප්‍රතිකාර (platelet rich plasma – PRP) වැනි විකල්ප ප්‍රතිකාර බොහොමයක් අද තිබෙනවා.
මොකක්ද මේ PRP (PRP Platelet rich plasma)
PRP යනුවෙන් හඳුන්වන්නේ ඉතාම ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රමයක්. අපේ රුධිරයේ විවිධ සංඝටක තිබෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී රුධිරයේ තිබෙන අනිත් සංඝටක ඉවත් කරලා රුධිර පට්ටිකා සාන්ද්‍රණයක් ලබා ගන්නවා.
මෙම වර්ධක සාධක මගින් අපට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමය වෙනුවෙන් භාවිත කරනවා. රුධිර පට්ටිකා සාන්ද්‍රණයෙන් ලබාගත් වර්ධක සාධක අවශ්‍ය ගැටළුව වෙනුවෙන් (හිසේ ඇති වන ගැටළු එහෙම නැත්නම් සමේ කොලැජන් ප්‍රශ්නවලට ) භාවිත කරන්න පුළුවන්.
මෙම ප්‍රතිකාර ක්‍රමයේදී රෝගියාගෙන් ලබා ගන්නා රුධිරය රෝගියාටම එන්නත් මගින් හෝ යන්ත්‍රයක් මගින් ලබා දෙන නිසා ආසාත්මිකතාවයක් ඇති වන්නේ නැහැ. බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුක රුධිරය ලබා දුන් විට එය රුධිරය මගින් ප්රතික්ෂෙප වීමට ඉඩ තිබෙනවා.
සාමාන්‍යයෙන් එන්නතක් ලබා ගැනීමේදී දැනෙන මද වේදනාව සහ අදාල එන්නත ලබා දුන් ස්ථානයේ රතු වීමක් වැනි ඉතාම සුළු අතුරු තත්ත්වයන් හැර වෙනත් කිසිදු බරපතල අවදානමක් ඇති වන්නේ නැහැ. අදාල ස්ථානයේ හිරි වැටෙන්නට ඖෂධ ආලේප කිරීම නිසා වේදනාව අවමයි.
PRP ප්‍රතිකාර ලබාගත යුත්තේ කවුද …?
අද කාන්තාවන් වගේම පුරුෂ පක්ෂයටත් හිසකෙස් තුනී වීමේ ගැටලු තිබෙනවා. හිසකෙස් තුනී වීම නිසා තට්ටය පෑදීම වැනි තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තිබෙනවා. කෙස් ගසක විෂ්කම්භය සහ දිග කාලයත් සමඟ අඩු වීම හිසකෙස් තුනී වීම යනුවෙන් හැඳින්වෙනවා.
මෙවැනි අපහසුතාවයන් රැධිර ඇති පට්ටිකාවල ඇති වර්ධක සාධක මගින් හිසකෙස්වල මූලයට උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා හිසකෙස් වර්ධනයක් ඇති වෙනවා.සමේ ඇතිවන විවිධ ලප කැලැල් නිසා පුද්ගලයෙකුගේ පෙනුමට වගේම පෞරුෂයට යම් බලපෑමක් ඇති වෙනවා. කැලැලක් කියන්නේ සමේ ඇති වලක් වගේ තත්ත්වයක්.
PRP ප්‍රතිකාරය නිසා කොලැජන් වර්ධනය වීමෙන් කැලැල්වල තිබෙන ගැඹුර අඩු වී අවලස්සන නැති වෙනවා.ඒ නිසා කුරුලෑ කැලැල්වලට, සමේ ඇති වන වෙනත් කැලැල්වලට, ශල්‍යකර්ම නිසා ඇති වන කැලැල්වලට, සමේ ඇති වන පිලිස්සුම් තුවාලවලට සහ සමේ තරුණබව රැක ගැනීමට භාවිත කරන්න පුළුවන්. වයසත් සහ අපේ ජීවන රටාවේ යම් යම් වැරදි පුරුදු නිසා සමේ කොලැජන් තන්තු මට්ටම අඩු වෙනවා.
මේ විදිහට කොලැජන් අඩු වුණාම තන්තු නැති වීම නිසා සම රැලි වැටීම, සම එල්ලා වැටෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ අන්දමින් ඇති වන සමේ වයස්ගත පෙනුම අඩු කරගන්න කොලැජන් තන්තු උද්දීපනය කරන්න PRP දෙන්න පුළුවනි.
ඒ වගේම ඇස් වටා ඇති වන රැලි වැටීම් සහ කළු පැල්ලම් උඳුගොව්වා කෑම වැනි හිසේ ඇති වන රෝගවලටත් මෙම ප්‍රතිකාර භාවිත කරනවා.
PRP ප්‍රතිකාර වෙනුවෙන් යොමු වන රෝගියෙකුගේ සූදානම…
PRP ප්‍රතිකාර ගැනීමට පෙරාතුව හෝ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව යැයි රෝගියාට විශේෂ සූදානමක් හෝ ප්‍රවේසමක් අවශ්‍ය නැහැ. මේ ප්‍රතිකාර ලබා ගැනීමේදී වයස් භේදයක් හෝ ඒ පුද්ගලයාට තිබෙන වෙනත් රෝග තත්ත්වයන්ගෙන් බලපෑමක් ඇති වෙන්නෙත් නැහැ.
PRP ප්‍රතිකාරයේ ප්‍රතිඵල…
මේ ප්‍රතිකාර ක්‍රමයෙන් ප්‍රතිඵල පෙන්වන්න සාමාන්‍යයෙන් කාලයක් ගත වෙනවා. ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සමහර විට දෙතුන් වතාවක් ලබා ගැනීමටත් සිදු වෙනවා. පුද්ගලයාගේ ප්‍රශ්න අනුව වාර ගණන වෙනස් වෙනවා.
විශේෂයෙන් ජානගත හේතු නිසා තට්ටය ඇති වන පුද්ගලයන්ගේ ජානගත සම්භාව්‍යතාවය මත මාස හයකට හෝ වසරකට වතාවක් විතර PRP ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා.PRP ප්රතිකාරලබා ගැනීම සමග ආලේපන, සිරුර අභ්‍යන්තරයට ලබා දෙන ඖෂධීය ප්‍රතිකාර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සහ නිවරැදි විදිහට ජීවන රටාව පවත්වා ගැනීමත් අවශ්‍යයි.
PRP ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම්..
ඕනෑම රජයේ රෝහලකින් PRP ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් තිබෙනව. මේ ප්‍රතිකාර චර්ම රෝගවලට පමණක් සීමා වෙලා නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️