අපේ ජනසමාජය ආගමික සහ සංස්කෘතික උත්සවයන්හිදී ඉතා උනන්දුවෙන් සහභාගි වීම සාමාන්‍ය තත්වයක්. වෙසක් උත්සවය මුල් කරගෙන ප්‍රතිපත්ති පූජාවන්ට වගේම ආමිස පූජාවන් වෙනුවෙනුත් අපි වැදගත් තැනක් ලබා දෙනවා. ඒ වගේම වෙසක් උත්සවය සමග සිදුවන හදිසි අනතුරු ගැනත් අපට නිතරම අසන්නට ලැබෙනවා...
හදිසි අනතුරක් කියන්නේ…
අපි මේ ගැන අර්ථකථනය කිරීම මේ විදිහට පටන් ගනිමු. බෝවන රෝගයක් ඇතිවීමට බාහිරව ඇති බැක්ටීරියාවන් නිසා බෝ නොවන රෝග ඇති වෙනවා. නමුත් හදිසි අනතුර ඊට වෙනස්. එක් තැනක ඇති ශක්තියක් තවත් තැනකට ගමන් කිරීම නිසා අපෙන් හෝ වෛරසයක් අපේ සිරුරට ඇතුළු වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ ඇති වන ජෛව රසායන වෙනස්කම් නිසා සිරුරට බාහිර හෝ අභ්‍යන්තර බලපෑමක් ඇති වුණොත් එය හදිසි අනතුරක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්.
වෙසක් කාලයට ඇතිවිය හැකි හදිසි අනතුරු ගැන...
වෙසක් කාලයේදී ඇතිවන හදිසි අනතුරු අපට කොටස් දෙකකට විස්තර කරන්න පුළුවන්.
වෙසක් උත්සවය සැමරීම සඳහා සිදුකරන බාහිර ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වුණ හදිසි අනතුරු.
වෙසක් වෙනුවෙන් පැවැත්වෙන සංස්කෘතික සහ ආගමික කටයුතුවලට සම්බන්ධ වීමේදී ඇතිවිය හැකි අනතුරු.
වෙසක් උත්සවය වෙනුවෙන් පෙර සූදානම…
වෙසක් උත්සවය වෙනුවෙන් සිදුකරන සැරසිලි වෙනුවෙන් ලොකු කුඩා කවුරුත් උනන්දුයි. වෙළෙඳ පොළෙන් මිලට ගත හැකි වෙසක් කූඩුවලට වඩා තමන්ගේම අතින් වෙසක් සැරසිල්ලක් සිදුකිරීමට තවමත් කැමැත්තක් දක්වන පිරිස් අප අතර සිටිනවා. ඉතා සද්භාවයෙන් කළත් මෙවැනි කටයුත්තකදී අනතුරක් වීමට තිබෙන අවස්ථාවන් ගැනත් සැලකිලිමත්ව සිටීම වැදගත්.
වෙසක් කූඩු සකස් කිරීම සඳහා බටපතුරු කැපීමේ පටන්ම මේ අවදානම තිබෙනවා. බොහෝ විට උණගස් ආශ්‍රිතව සර්පයන් ගැවසෙන නිසා බටපතුරු කැපීමේදී සර්ප දෂ්ටනයන්ට ඉඩ තිබෙනවා. ඒ වගේම උණ බට කැපීමේ පටන් ඒවා සුද්ද කිරීම ඇලවීම දක්වාම භාවිත කරන උපකරණවලින් සිරුරට තුවාල සිදුවීමේ අවදානම ඉහළින්ම තිබෙනවා.
වෙසක් සැරසිලි ආලෝකවත් කිරීමේදී ඉටිපන්දම් දැල්වීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. සමහරවිට විදුලි ආලෝකය යොදාගැනීමටත් පුළුවන්. කෙසේ හෝ වේවා විදුලිය වගේම ඉටිපන්දමක් හෝ පහනක් නිසා සිරුරට ගිනි ඇවිළීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.තොරණ් ඉදිකිරීමේදී උස ගස් කැපීමට සිදුවනවා.
මේ ගස් කපනවිට වුණත් අනතුරක් වීමට බොහෝ සේ ඉඩ තිබෙනවා. ඒ වගේම තොරණක් ඉතා උසින් සකස් කරනවිට මේ ගස් මතට නැගී ඒවා ගැටගැසීම වැනි කටයුතු සිදු කරනවා. හදිසියේ හෝ මේ උස් තැන්වලින් ඇදවැටීම වැනි අනතුරු සිදුවිය හැකියි.
කාලගුණයත් බලපානවා
වෙසක් කාලය වනවිට නිරිත දිග මෝසම සක්‍රිය වෙනවා. වැස්ස සහ සුළං වැඩියි. ඒ නිසා වෙසක් සැරසිලිවලට ගිනි ඇවිළීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. යම් ලෙසකින් ඔබ මේ සැරසිලි නිවසට ආසන්නව එල්ලා තැබුවොත් හදිසියේ සුළංවලින් ගින්න වැඩි වී නිවසට පවා ගින්න පැතිරීමට වැඩි ඉඩක් තිබෙනවා.
වෙසක් උත්සවයේදී සිදුවිය හැකි අනතුරු
විශේෂයෙන් තොරණක් ඉදිකිරීමේදී එය උසින් යුක්තව වගේම ගස් එකිනෙකට බැඳගෙන සකස් කිරීම සිදුවනවා. මේ වැසි සහ සුළං කාලගුණය තොරණට දරාගැනීම අපහසු නිසා තොරණ කඩාවැටීමට පුළුවන්. ඒ වගේම විදුලිය නිසා සිදුවන අනතුරු ගැන වෙසක් කාලයේදී නිතරම අසන්න ලැබෙනවා.

බොහෝවිට මෙම විදුලි සර වැදීම් නිසා මරණය පවා සිදුවනවා. කුඩා දරුවන් විදුලිය ගැන දැනුවත් බවක් නොමැතිව ඒවා ස්පර්ශ කිරීම, නිවසේ විදුලි පරිපථයේ තිබෙන විදුලිය කාන්දුවීම් නිසාත් හදිසි අනතුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා. තොරණක් ආශ්‍රිතව සිදුවන විදුලිය කාන්දු වීමක් වැඩි පිරිසකට බලපාන්න පුළුවන්.
වෙසක් නැරඹීමට යන එන විට
අද වෙසක් කලාප, දන්සල් සහ වන්දනා ගමන් යන පිරිස් ගැනත් මේ අවස්ථාවේදී කතා කිරීම වැදගත්. අද තාරුණ්‍යයේ ජවය නිසා බොහෝ අය කණ්ඩායම් ලෙසින් මෝටර් බයිසිකල්වල නැගී සංචාරයේ යෙදෙනවා.
සමහර විට එක බයිසිකලයක දෙතුන් දෙනා නැගගෙන හිස් ආවරණ පවා නොමැතිව යන එන අවස්ථා තිබෙනවා. හදිසියේ හෝ මෙවැනි බයිසිකලයක් අනතුරකට පත්වුණොත් හිසට හානිවීමට වැඩි ඉඩක් තිබෙනවා.
වෙසක් වුණත් බොහෝ විට තරුණයන්ගේ ගමන් බිමන්වලදී මත්පැන් පානයත් සිදු නොවෙනවාම නොවෙයි. එවැනි අවස්ථාවක අනතුරක් වීමට වැඩි ඉඩක් තිබෙන බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.ත්‍රිරෝද රථයක පවා ගමන් කළ හැකි පිරිස ඉක්මවා ගිය තැනකදී අනතුරක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.
දිගු සතිඅන්තයක්
මෙවර වෙසක් උත්සවය යෙදෙන්නේ දිගු සතිඅන්ත නිවාඩුවක නිසා ගමනාගමනයේ යෙදෙන පිරිස වැඩි වෙනවා. ඒ නිසාම අනතුරු ගැනත් කතාකිරීම අවශ්‍යයි. ඒ වගේම දුර ගමනක් යනවිට රියදුරු මත්පැන් පානය කිරීම වගේම ඔහුට ඇති වෙහෙස, නිදිමත ගතිය වාහනය අනතුරට පත්වීමට වැඩි අවදානමක් ඇති කරනවා.
අද බොහෝදෙනෙක් වෙසක් වන්දනා ගමන්වලදී දකින දකින තැනින් ස්නානයට යොමුවනවා. නමුත් නොදන්නා ස්ථානවල වතුරේ ස්වභාවය නොදන්නා නිසාම දියේ ගිලීම් වැනි අනතුරකට තිබෙන ඉඩ සුලබයි.

අනතුරක් ඇතිවුණොත් වළක්වා ගැනීම
හදිසි අනතුරක් සිදුවුණ විට එය කළමනාකරණය කරගැනීම ඉතාම වැදගත්. ආමිස පූජාවන් වෙනුවෙන් යොමුවන සංවිධායක කමිටු විසින් ඒ ගැන පූර්ව සැලසුම් සංවිධානය කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුයි.
ඒ අනුව යම් වෙසක් කලාපයක් සංවිධානය කරන විට අදාළ ප්‍රදේශයේ රෝහලට ඒ බැව් දැනුම් දීම සහ ප්‍රථමාධාර කණ්ඩායම් සූදානම් කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි.
හදිසි අනතුරක් ඇතිවුණ විට
හදිසි අනතුරක් ඇතිවුණ අවස්ථාවකදී ඔබ ඉතා බුද්ධිමත් ලෙසින් හැසිරීම වැදගත්. මෙහිදී ප්‍රථමාධාර කිරීමේදී හඳුන්වා දෙන DRS පිළිවෙත අනුගමනය කරන්න. හදිසි අනතුරක් සිදුවුණ විට ඔබ අනුගමනය කළයුතු පිළිවෙළේ ප්‍රමුඛතාව මෙම අක්ෂරයන්ගෙන් හඳුන්වා දෙනවා.
D- Danger- හදිසි අනතුරක් සිදුවුණ විට එම අනතුර නිසා තිබෙන අවදානම හඳුනාගන්න. උදාහරණයක් ලෙස විදුලි සර වැදීමක් සිදු වී ඇත්නම් වහාම ප්‍රධාන විදුලි පරිපථය විසන්ධි කරන්න. සමහර විට පරිපථයේ දුර්වල තැනකින් විදුලිය කාන්දු වීමටත් ඉඩ තිබෙනවා.
R- Respond- හදිසි අනතුරට පත් පුද්ගලයාගේ ප්‍රතිචාර හඳුනාගන්න. සමහර විට සිහි විසඥ විය හැකියි. සිහිය තිබුණත් එය යහපත් කල්පනාවක් නොවන්න පුළුවන්. මේ අනුව පුද්ගලයාගේ ප්‍රතිචාර දැක්වීම ගැන අවධානය ලබාදෙන්න.
S- Shout අනතුරක් සිදුවුණ අවස්ථාවක එය කළමනාකරණය කිරීම තනියෙන් කළ හැකි දෙයක් නොවේ. ඒ වෙනුවෙන් අවට අයට කතා කරන්න (Call for help) ඔක්සිජන් නොමැතිව රෝගියාට වැඩි වේලාවක් සිටීම ජීවිතයට අනතුරක් ඇති කරන නිසා පපුව සම්බාහනය / කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න.
ආරක්ෂිතව වෙසක් මංගල්‍යය සැමරීම සඳහා ඔබ මුලින්ම
- පවතින අවදානම් සාධක හඳුනාගන්න.
- ආරක්ෂාවට මුල්තැන ලබාදෙන්න.
- ඔබ සමග සිටින අය දැනුවත් කරන්න.
සැබෑම වෙසක් මංගල්‍යයක අත්දැකීම ඔබට ලබා ගැනීමට ඇති එකම අවස්ථාව එයයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️