රාත්‍රී දහයට පමණ මා සේවය කරන රෝහලේ එක්තරා වාට්ටුවක රාත්‍රි සේවා මුරයේ යෙදී සිටි වෛද්‍යවරයකුගෙන් දුරකථන ඇමතුමක් මා හට ලැබුණි.
“මේ වෙලාවේ ඩිස්ටර්බ් කළාට සොරි සර්. අක්මාවේ පිළිකාවක් තියෙන ලෙඩෙක් හදිස්සියෙම ඇඩ්මිට් වුණා, හුස්ම ගන්න අමාරුයි කියලා. එයාව කලින් බලලා තිබුණ ඔන්කොලොජිස්ට්, මේ ලෙඩාව බාරගන්න බෑ කිව්වා.
ඒක දැනගත්තු ලෙඩයි, එයාගේ ගෙදර කට්ටියයි හොඳටම අප්සෙට්වෙලා ඉන්නේ. සර්ට පුළුවන්ද ලෙඩාව බාරගන්න.”
හිත කම්පා කරවන මෙවැනි කතා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන මා හට නිතර අසන්නට ලැබෙනවා. එම රෝගියා සහ පවුලේ අය, තමන්ව ප්‍රතික්ෂේපවීම තුළින් මොන තරම් අසරණතාවයකට පත්වෙන්නට ඇතිද?මාස කිහිපයකට පෙර එම රෝගියාට අක්මාවේ පිළිකාවක් ඇති බවට හඳුනාගෙන තිබුණා.
ඔහුව පරීක්ෂා කර බැලූ මුල් වෛද්‍යවරු රෝගයේ තත්ත්වය තක්සේරු කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් මඟින් අක්මාවේ පිළිකාව ඉවත් කිරීමට තීරණය කළා. අවාසනාවකට ශල්‍යකර්මය කරන අතරතුරේදී එය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කළ නොහැකි තරමට පැතිරී ඇති පිළිකාවක් බවට හඳුනාගත්තා.
එවේලේ කළ හැකි තාවකාලික වෙනත් ප්‍රතිකාර මඟින් හැකි තරම් දුරට පිළිකාව අඩපණ කිරීමට එම වෛද්‍යවරු කටයුතු කර තිබුණා. නමුත් මේ පිළිකාව නිසා රෝගියාට ඉදිරි කාලයේදී සිදුවිය හැකි දේවල් ගැන දැනුවත් කිරීමක් නම් සිදුවී තිබුණේ නැහැ.
කෙසේ නමුත් මින් පසුව මාස කිහිපයක්ම රෝගියා කිසිදු කරදරයකින් තොරව සාමාන්‍ය පරිදි තම රැකියාවේ කටයුතුත් හොඳින් කරගනිමින් සිටියා. මේ අතරතුර පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ද ඔහු ලබාගෙන තිබුණා.
පසුව ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ උදරය විශාල වන්නට පටන් ගත්තා. ඔහුගේ දකුණු පෙනහලුවට වාතය ඇතුළු වීමද අඩුවී තිබුණා. මෙය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු සොයා ගත්තේ ඔහුගේ උදරයේ විශාල වශයෙනුත් දකුණු පෙනහලුවේ සුළු වශයෙනුත් වතුර පිරී ඇති බවයි. මෙහිදී උදරයේ වතුර ඉවත් කිරීම සිදුකර තිබූ අතර එමඟින් ඔහුට යම් සහනයක් අත් වී තිබුණා.
ඉන් අනතුරුව නිවසට ගිය ඔහුට දින කිහිපයකින්ම ඉහත සඳහන් කළ ආකාරයට රෝහල්ගත වන්නට සිදුවූයේ නැවත හුස්ම ගැනීම අපහසු වූ නිසයි. රෝහල් කාර්ය මණ්ඩලයට රෝගියා සඳහා ඒ වේලාවේම කළ යුතු දෑ පිළිබඳ උපදෙස් මම ලබා දුන්නා.
ඔහුගේ අක්මාව ක්‍රම ක්‍රමයෙන් අකර්මන්‍යතාවයට පත්වෙමින් තිබුණා. නමුත් තවමත් ඔහුට හොඳින් සිහි කල්පනාව තිබුණා. මා මුලින්ම රෝගියාගේ බිරිඳට සහ සොහොයුරියට කතා කිරීමට තීරණය කළා. ඔවුන්ට සුවපහසුව හිදගැනීමට අවශ්‍ය අසුන් ලබාදී මම කතාව පටන් ගත්තා.
“ඊයේ රෑ වෙලා තිබුණ දේ ගැන මට ගොඩක් කනගාටුයි. මෙතැන් පටන් රෝගියාව සුවපහසුවෙන් තියාගන්න මම උදව් කරන්නම්. ඔයගොල්ලන්ට තේරෙන විදිහට ලෙඩා දැන් ඉන්න තත්ත්වය කොහොමද කියලා මට කියන්න පුළුවන්ද?”
“ඩොක්ටර්, මල්ලිට තියෙන පිළිකාව හොඳ කරන්න බෑ කියලා අපි හොඳටම දන්නවා. ඒත් ඊයේ රෑ වුණ වැඩේ ගැන නම් අපි හැමෝම ඉන්නෙ පුදුම තරහකින්.” එසේ පැවසුවේ රෝගියාගේ සොහොයුරියයි.
“ඔයගොල්ලන්ට තරහ ගිය එක සාධාරණයි. ඒකෙ වැරැද්දක් මම දකින්නෙ නෑ. හැබැයි මේ වෙලාවේ ඒ සිද්ධිය පසුපස එළවන එකෙන් වෙන්නෙ මේ වෙලාවේ ඔයාලගේ රෝගියාට වෙන්නම ඕනෙ වැදගත්ම වැඩ ටික කරගන්න තියෙන වටිනා කාලය නාස්ති වෙන එකයි.”
“අනේ ඩොක්ටර් ඒ කියන්නෙ මගේ මහත්තයට ජීවත් වෙන්න වැඩි කාලයක් නෑ කියන එකද?”
“ඔයගොල්ලන්ට තේරෙන විදිහට එයාට තව කොච්චර කාලයක් ඉතුරුවෙලා තියෙනව කියලද හිතන්නේ. එයාට හොඳ කරන්න බැරි පිළිකාවක් තියෙනව කියලත් ඔයාල දන්නවා. ටික කාලයක් හොඳින් ඉඳල හදිස්සියෙම එයාගේ තත්ත්වය නරක අතට හැරෙමිනුයි තියෙන්නේ.”
“අනේ මන්ද ඩොක්ටර්, මට නම් මේවා කිසි දෙයක් අදහගන්නවත් බෑ.” රෝගියාගේ බිරිඳගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලා යන්නට ගත්තා.
රෝගියාගේ සොහොයුරිය ඇයව සනසන්නට උත්සාහ කළ ද ඇගේ ඇස්වලින්ද ඇදහැළුනු කඳුළු ඇයට සැඟවිය නොහැකි වුණා.
“මම ඔයාලට පැහැදිලි කරල දෙන්නම්. අක්මාවේ තියෙන පිළිකාවක් සම්පූර්ණයෙන්ම සුවකරන්න නම් ඒක අක්මාවට පමණක් සීමා වෙලා තියෙන්න ඕනේ. එම පිළිකා ගෙඩිය ‘ඔපරේෂන්’ එකකින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ.
එහෙම කරන්න බැරි නම් ඊළඟට කරන ප්රතිකාරවලින් පුළුවන් වෙන්නේ හැකි තරම් කාලයක් රෝගය පාලනය කරල උපරිම කාලයක් රෝගියාව ජීවත් කිරීමයි.
අවාසනාවකට ඔයාගේ මහත්තයගේ පිළිකාව ‘ඔපරේෂන්’ එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බැරි වුණා.
ඊළඟට කරපු ප්රතිකාරවලින් පුළුවන් වුණේ ජීවිත කාලය හැකි පමණ දික්කර දීමයි. නමුත් එක වෙලාවකදී ඒ ප්‍රතිකාරවලටත් පිළිකාව පාලනය කරගන්න බැරි වෙනවා.
එතකොට වෙන්නෙ අක්මාවේ සාමාන්‍ය පටක, පිළිකා සෛල මඟින් අත්පත් කර ගැනීමයි. එහෙම වුණාම අපේ සිරුරේ අක්මාවෙන් කෙරෙන්න ඕනේ වැඩ ටික හරියට කරගන්න බැරි වෙනවා.
ඒ වැඩවලින් ප්‍රධානම එකක් තමයි සිරුරේ පරිවෘත්තීය ක්‍රියා මගින් ලේවලට එකතු වන විෂ රසායනික ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කිරීම.
මේ වැඩේ හරියට කරගන්න බැරි වුණාම ලේවල එකතුවන විෂ ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවෙලා ඒවා මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාලා රෝගියාගේ සිහි කල්පනාව ක්‍රම ක්‍රමයෙන් නැතිවෙලා අවසානයේ රෝගියා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයකට පත්වෙනවා.
මේකට කියන්නේ ‘හෙපටික් කෝමා’ කියලා. අවාසනාවකට මේ තත්ත්වයට පත්වන රෝගියකුට ජීවත් වෙන්න ඉතුරුවෙලා තියෙන්නෙ පැය කිහිපයක් හෝ ඉතා කෙටි දින ගණනක් පමණයි.
මේ ‘කෝමා’ තත්ත්වයට රෝගීන් පත්වෙන්න ඉස්සෙල්ලා ඒ බව රෝගියා සහ පවුලේ අය දැනගැනීම ඉතාම වැදගත්. මොකද, මේ තත්ත්වයට පත්වුණ රෝගියකුට කිසිදු තීරණයක් ගැනීමේ හැකියාවක් නෑ.
ඊට අමතරව තමන්ට මේ කාලයේදී වුවමනා කරන දේවල් ඉල්ලා සිටින්න හැකියාවකුත් නෑ. ඒ නිසා අපි මේ ගැන රෝගියා සමග කතා කරල බලමුද?”
“හා… ඩොක්ටර් මේ වෙලාවේ එයාට කරන්න පුළුවන් හොඳම දේ කරල දෙන්න.”
මේ කාරණා සියල්ලම ගැන රෝගියා සමඟ සාකච්ඡා කළා.
ඒ මොහොතේ ඔහුගේ බිරිඳත්, සොහොයුරියත් ඔහුට අවශ්‍ය කරන මානසික ශක්තිය නොඅඩුව ලබා දුන්නා.
“ඩොක්ටර් මම මැරෙන්න බය නැහැ. ඒත් ඒකට කලින් මට ඉවර කරන්න ගොඩක් වැදගත් වැඩ තියෙනවා.”
“හොඳයි. ඒ වැඩ මොනවද කියල වැදගත්කමේ පිළිවලට සටහන් කරගන්න. වැදගත්කම වැඩිම අත්‍යාවශ්‍ය වැඩ ටික පුළුවන් තරම් ඉක්මනට ඉස්සෙල්ලාම ඉවර කරගන්න.”
“ඩොක්ටර් මම ඉස්සෙල්ලාම මගේ කම්පැනි එකට මගේ ‘රෙසිග්නේෂන් ලෙටර්’ එක දෙන්න ඕනේ. එහෙම කරන්න කලින් මම නැති වුණොත් වයිෆ්ට ගොඩක් කරදර වෙන්න වෙනවා මං වෙනුවෙන් ලැබෙන්න තියෙන මුදල් ටික ගන්න.
අනික මගේ ‘බොස්’ ඉන්නෙ ඉන්දියාවේ. එයාට කතා කරල මගේ රාජකාරි වැඩ ටික ඉක්මනට ‘හෑන්ඩ් ඕවර්’ කරන්න ඕනේ. හෙටම මම ඔය වැඩ ටික පටන් ගන්නම්.”
“ඇයි හෙට වෙනකම් ඉන්නේ. අදම ඒ ටික ඉවර කරල දාන්න. මේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ ඔයාගේ සිහි කල්පනාව තියෙනකම් විතරයි.”
එදිනම ඔහු ඉහත කී සියලුම වැඩකටයතු සම්පූර්ණ කිරීම ආරම්භ කළා. දින කිහිපයක් ඇතුළත ඒ සියල්ල සම්පූර්ණ කරගත්තා.
තවද ඔහුගේ එකම පුතා ඔහු වැඩ කරන ආයතනයේ ප්‍රවර්ධන රාජකාරියක් සඳහා යුරෝපයේ රටවල් ගණනාවක සංචාරයක යෙදෙමිනුයි සිටියේ. ඔහුව ඉතා ඉක්මනින්ම නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා.
කරන ලද සහන සත්කාර ප්‍රතිකාරයන් මඟින් රෝගියාගේ සුව පහසුව ඉතා ඉක්මනින් ළඟාකරගත් බැවින් රෝගියා සහ පවුලේ අයගේ කැමැත්ත ඇතිව ඔහුව රෝහලින් මුදාහරිනු ලැබුවා.
හැබැයි ඕනෑම මොහොතක කිසියම් හෝ අපහසුතාවක් ඇතිවී එය නිවසේදී යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වූයේ නම් එවෙලේම හදිසි ප්‍රතිකාර ඒකකයට එන ලෙසට දැනුම් දීමෙනුයි එහෙම කළේ. තවද ඕනෑම මොහොතක රෝගියාගේ උදව්වට රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් බවට ප්රතිඥ්ඥාවක් ද ලබා දුන්නා.
නිවසට ගිය රෝගියා නැවත පසු දින රාත්‍රියේ රෝහල්ගත වූයේ හුස්ම ගැනීමේ අපහසුව වැඩිවූ නිසයි. මීට බොහෝ විට හේතු වී තිබුණේ ඔහුට ලබාදී තිබූ මෝෆීන් ඖෂධය ලබාගන්නේ නැතිව සිටීම බව පසුව තහවුරු වුණා.
මෝෆීන් ඖෂධය ලබාගැනීමට බිය විය යුතු නැති බවට සහතික කොට, තිබූ අපහසුතා නැවත යථා තත්ත්වයට පත්කර පසු දිනම ඔහුව නිවසට යවනු ලැබුවා. නමුත් දින දෙකකට පමණ පසු නැවතත් ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සිටියේ තම ජීවිතයේ අවසන් හෝරා කිහිපය පසු කරමිනුයි.
දින දහයකටත් වඩා අඩු ඉතා කෙටි කාලයකදී තමන්ට වැදගත් වූ සියලුම දේවල් ඉටුකර ගනිමින් තම ජීවිතයේ අවසානය ඉතා හොඳින් ගතකර ගැනීමට ඔහුට හැකි වූයේ සහන සත්කාරයට ( Palliative Care) පින්සිදුවන්නටයි.
ජීවිතයේ අවසාන දින කිහිපයේදී ලබාදිය යුතු සහන සත්කාර ප්‍රතිකාරයන් (Terminal Care) ලබා දෙමින් ඔහුගේ ජීවිතයේ අවසන් මොහොතේ කරගත යුතු වැදගත් වැඩ සියල්ලම පාහේ සිදුකර ගනිමින් තම පවුලේ ඥාතීන් වටකරගෙන ඉතා සුව පහසුව තම ජීවිත චාරිකාවේ අවසානය ගත කිරීමට ඔහුට අවස්ථාව ලබාදුන්නා.
මෙවැනි රෝගීන් දහස් ගණනක් අද ශ්‍රී ලංකාව තුළ තම ජීවිතයේ අවසන් ගමන යන්නේ කායික, මානසික, ආධ්‍යාත්මික සහ සමාජීයික ගැටලු දහසකට මුහුණ දෙමින්.
ඊට හේතුව ඉහත රෝගියාට ලබාදුන් සහන සත්කාර සේවාව ගැන බොහෝ දෙනාගේ ඇති නොදැනුවත්කමත්, සෞඛ්‍ය බලධාරීන් වෙතින් මෙම රෝගීන් බොහෝ විට අත්හැර දැමීමකට ලක්වීමත් නොසලකා හැරීමත් නිසයි. මේ අකටයුත්ත හෙට දිනයේ කිසිවකුටත් සිදු නොවිය යුතුමයි.
හරින්දී ලියනගේ ✍️