ලෝක මැලේරියා දිනය අප්‍රේල් මාසයේ 25 වැනි දිනට යෙදී තිබුණා. මෙවර මැලේරියා දිනයේ තේමාව වී ඇත්තේ “යළිත් එපා මැලේරියාව – අයිතින් සුරකිමු” යනුවෙනුයි. මෙම දිනය මුල් කරගෙන සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් කීපයක්ම පැවැත්වූවා.
මැලේරියාව ගැන දැන් කතා කරන්නේ ඇයි?
මැලේරියාව ගැන කතා කිරීමට තරම් උණුසුම් පුවත් නොමැති වුණත් නැවතත් මැලේරියාව ගැන අවදානමක් නැතුවාම නොවෙයි. මීට වසර ගණනකට පෙරාතුව මැලේරියාව ශ්‍රී ලංකාවේ වසංගතයක් ලෙසින් පැතිරී ගිය අතර බොහෝ දෙනෙක් එයින් මරණයට පත් වුණා.
2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. අපේ රටෙන් අවසාන මැලේරියා රෝගියා 2012 වසරේදී වාර්තා වී තිබෙනවා. 2023 වසරේ ගෝලීය වශයෙන් මැලේරියා රෝගීන් 62 ක් වාර්තා වී ඇති අතර එයින් 60 දෙනෙක්ම ශ්‍රී ලාංකිකයන් බැව් වාර්තා වනවා. 2024 වසරේ මේ වන විට මැලේරියා රෝගීන් 9 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
මැලේරියාව තුරන්වුණ රටකින් රෝගීන් වාර්තා වෙන්නේ කොහොමද?
දැන් ඔබට මෙවැනි ප්‍රශ්නයක් ඇති. ඔබ සාධාරණයි. නමුත් මෙම රෝගීන් අප්‍රිකානු කලාපයේ සංචාරය කළ පුද්ගලයින් වීම සහ විදේශීය සංචාරකයන් ලෙසින් අපේ රටට පැමිණි පුද්ගලයන් බැව් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අපේ රට තුළින් මැලේරියා ආසාදිතයන් වාර්තා නොවුණත් අනාගතයේදී රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවා.

මැලේරියාව බෝ වෙන්නේ…
ඇනෝෆිලිස් වර්ගයේ මදුරුවා තුළ වැඩෙන ‘ප්ලැස්මෝඩියම්’ පරපෝෂිතයා මදුරුවාගේ ඛේට ග්රන්ථිවලට ඇතුළු වී මදුරුවා මිනිසකුට දෂ්ට කරන විට මදුරුවාගේ කෙළ සමග මිනිසාගේ ශරීරයට මේවා ඇතුළුවීම සිදුවෙනවා.
මැලේරියා රෝග ලක්ෂණ මොනවාද?
- උණ
- ඇඟපත වේදනාව
- හිසරදය
රෝගය තීව්ර වීමේදී…
මැලේරියා පරපෝෂිතයා විසින් මොළයට රුධිරය සපයන කුඩා රුධිර නාලිකා අවහිර කිරීමක් සිදුකරනවා. මේ නිසා මොළයේ සෛල ඉදිමී අපස්මාරය වැනි සංකුලතාවන් ඇති වීම,
පෙනහලුවල ගර්ත තුළ දියර පිරීම නිසා පෙනහලු ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇතිවීම සිදුවනවා.
මැලේරියා රෝගයෙන් ආරක්ෂාවීමට…
ඔබ රැකියාවක්, සංචාරයක් වෙනුවෙන් අප්‍රිකානු රටක හෝ විදේශ රටක සංචාරයේ යෙදෙනවා නම් ඔබ නැවත රටට පැමිණි විගසම රුධිර පරීක්ෂාවක් මගින් මැලේරියා පරපෝෂිත තත්ත්වයක් නොමැති බැව් තහවුරු කරගැනීම වැදගත්.
ඒ බව දැනගැනීම…
මැලේරියා රෝගය හඳුනාගැනීම සඳහා වූ රුධිර පරීක්ෂණ ක්‍රම දෙකක් තිබෙනවා.RDD ඇඟිල්ලෙන් ලබාගන්නා රුධිර සාම්පලයකින් මැලේරියා පරපෝෂිත තත්ත්වය පරීක්ෂා කළත් ඊට වඩා අන්වික්ෂයකින් සිදුකරන රුධිර පරීක්ෂණය සාර්ථකයි.ඉහත ආකාරයේ රුධිර පරීක්ෂණයකින් මැලේරියා ආසාදිත රෝගියකු වාර්තා වුණොත් රෝගියාට රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනවා. ලංකාවේ ඕනෑම රජයේ රෝහලක ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් තිබෙනවා. මෙම පුද්ගලයාට සම්බන්ධ හෝ රෝගියා ජීවත්වන ප්‍රදේශය තුළ තවත් ආසාදිතයන් සිටිනවාදැයි සොයාබැලීම සිදුවනවා.
මැලේරියාව නැවත ඇතිවීම වළක්වා ගැනීම…
යම් රෝගයක් රටකින් තුරන් වුණ බවට සහතිකයක් ලැබීමෙන් පමණක් සෑහීමට පත්වන්න බැහැ. නැවත රෝගය ඇතිවීම වළක්වා ගැනීම පිළිබඳ පාලනය කිරීම අපේ වගකීමක්. මැලේරියා තුරන් කිරීම වෙනුවෙන් අතීතයේ ජාතික ධනයෙන් විශාල මුදලක් වැය වී තිබෙනවා. නැවතත් රෝග තත්ත්වය පැතිරීම සිදුවුණොත් රෝග පාලනය වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවනවා. අද පවතින ආර්ථික දුෂ්කරතා ඉදිරියේ එය තවත් වැය බරක් වීමට ඉඩ තිබෙනවා.
නමුත් රෝගයක් නැවත පැතිරීමට නොදී පාලන කරගැනීමේ වගකීම රටේ හැම පුරවැසියකුටම තිබෙනවා. සිංගප්පූරුව මැලේරියාව තුරන් කළ රටක් ලෙසින් ලෝක සෞඛය සංවිධානය නම් කර තිබෙනවා. ඔවුන් තවමත් මැලේරියාව මර්ධනය වෙනුවෙන් තමන්ගේ ක්‍රියාවලිය අවසන් කලේ නැහැ.
මැලේරියා මර්ධනය වෙනුවෙන් සමාන්‍ය පුරවැසියකුගේ වගකීම…
ඔබ මැලේරියා පවතින කලාපයක සංචාරයකට සම්බන්ධ වන්නේ නම් මැලේරියාව ඇතිවීම වළක්වන ප්‍රති මැලේරියා ඖෂධ ලබාගැනීම
දිවයිනට පැමිණි පසුව රුධිර පරීක්ෂණ වාර්තාවක් මගින් මැලේරියා ආසාදිත තත්ත්වයක් නොමැති බව තහවුරු කරගැනීම. මෙම පරීක්ෂණය මාස 6 කට වසරකට වරක් කරගැනීම
හදිසියේ උණ රෝග තත්ත්වයක් ඇති වුණොත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී විදේශයක සිට පැමිණි බැව් සඳහන් කිරීම.
ඒ වගේම මැලේරියා ආසාදිත තත්ත්වය වෙනුවෙන් රුධිර සාම්පල පරීක්ෂාවන් ලබාගැනීම සඳහා දිවයින පුරා සියලුම රෝහල්වල පහසුකම් තිබෙනවා. ඊට අමතරව මැලේරියා මර්ධන ව්‍යාපාරයේ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය කාර්යාල මගින් අවශ්‍ය ප්‍රතිකාර, උපදෙස් සහ රුධිර සාම්පල පරීක්ෂා කරගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
ඒ නිසා මැලේරියා උණ ගැන යම් සැකයක් තිබේ නම් ඔබට ආසන්න රෝහලට හෝ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ශාකා කාර්යාලයකින් රුධිර සාම්පලයක් පරීක්ෂා කරගෙන අවශ්‍ය වූ නිසි ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️