සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැළෙන බොහෝ දෙනා හුරුවෙලා තිබෙන්නේ රෝග සුවපත් කරන්න. ඒ කියන්නේ ලෙඩ හොඳ කරන්න. කණගාටුවට කාරණය තමයි බොහෝ දෙනකුට මේ ආකාරයට ඉතාම වැදගත් මූලධර්මයක් අමතක වෙලා තිබීම. එසේ නම් අප කළ යුතු වන්නේ කුමක්ද? අප ඇත්තටම සුවපත් කරන්න ඕනේ රෝගවලින් පීඩා විඳින මිනිස්සුන්ව. රෝග සුවපත් කිරීමයි මිනිසුන් සුවපත් කිරීමයි අතර ලොකු වෙනසක් තිබෙන බව තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අප ප්‍රතිකාර කරන්න ඕනේ ලෙඩාට මිසක් ලෙඩේට නෙවෙයි. එහෙම නොවුණොත් වෙන්නේ ‘ලෙඩා මළත් බඩ සුද්දයි‘ වගේ වැඩක්…
ඉහත කාරණාව ඉතාම තදින් බලපාන්නේ ජීවිතයට තර්ජනයක් ගෙන දෙන ලෙඩ රෝගවලින් පීඩා විඳින මිනිස්සුන්ට ප්‍රතිකාර කරනවිටයි. මේ රෝග ගැන සැලකීමේදී ඉහළින්ම තිබෙන්නේ පිළිකා රෝගයි. ඉතා ඈත අතීතයේදී පිළිකා සුව කිරීමට හෝ පාලනය කිරීමට සාර්ථක ප්‍රතිකාර ක්රමයන් තිබුණේ නැහැ. කෙනෙකුට පිළිකාවක් සෑදුණහොත් බොහෝවිට පිළිකාව නිසාම ජීවිතය අහිමිවීම නියමයක්ව පැවතුණා.
ඒ නිකම්ම නොවේ. පිළිකාව නිසා විඳින්නට සිදුවන සියලුම වද වේදනාවන් විඳිමින් ඉතාම දුක්ඛිත ලෙසයි තම ජීවිතයට සමුදෙන්න සිදුවෙලා තිබුණේ. මෙම අසරණ රෝගීන්ගේ වේදනාවන් සමනය කිරීමට කිසිවකුත් එතරම් උනන්දුවක් නොදැක්වූ නිසා අධික වූ පීඩාවන්ගෙන් මිරිකෙමින් තමා තම ජීවිතය නිමා කරන්න නියම වෙලා තිබුණේ.
මෙවැනි කාලයකදී තමා එංගලන්තේ සිසිලි සෝන්ඩර්ස් නම් තරුණිය උපස්ථායිකාවක් ලෙස මෙවැනි රෝගීන්ට උවටැන් කරමින් සිටියේ. මරණය ආසන්නයටම පැමිණි බොහෝ රෝගීන් ගිලාන ගිමන්හල් (Hospice) නමින් හැඳින්වූ ස්ථානයකට ගාල් කරනු ලැබුවා. ඒ ඔවුන්ව ඉතා ආදරයෙන් රැක බලාගෙන සුවපහසුව තැබීමටත් වඩා සමාජයෙන් වෙන්කර තැබීමට බව කරුණු කාරණා ඉතා විමර්ශනාත්මකව සොයා බැලීමේදී පැහැදිලි වෙනවා. එසේ නොමැති වූවා නම් ඔවුන්ගේ වේදනාවන් සමනය කිරීමට එවක තිබුණාට වඩා වැඩි උනන්දුවක් දක්වන්නට ඉඩ තිබුණා. බොහෝ විට මෙම රෝගීන්ව රැක බලා ගත්තේ පල්ලියේ සොහොයුරියන් සහ ස්වෙච්ඡා උපස්ථායිකාවන් විසිනුයි.
තරුණ උපස්තායිකාවක් ලෙස සෝන්ඩර්ස් විසින් උවටැන් කරනු ලැබූයේත් මෙවැනි අසරණ රෝගීන්ටයි. මෙවැනි රෝගීන්ගේ අසීමිත වේදනාවන් අවමයක් බවට පත්කළ හැකිව තිබුණත් සෞඛ්‍ය ක්ෂේත්රයේ අය ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වීම ඇයගේ දැඩි කනස්සල්ලට හේතු වුණා. ඉන් අනතුරුව ඇය හෙදියක් ලෙස සේවය කළද මරණාසන්න රෝගීන්ගේ වේදනාව සමනය කිරීම උදෙසා ඇය නැඟූ හඬට කිසිවකුත් සවන් යොමු කළේ නැහැ. මරණය ආසන්නයට පැමිණෙන බොහෝමයක් රෝගීන්ව වෛද්‍යවරුන් විසින් මගහැර යනු ඇය නිරීක්ෂණය කළා.
මේ අසරණ රෝගීන්ගේ වේදනාවන් කෙසේ හෝ සමනය කළ යුතුමයි. මෙසේ අධිෂ්ඨාන කරගත් ඇය හෙදියක් වූ මාගේ ඉල්ලීමට සවන් යොමු කරන්නේ නැතිනම් වෛද්‍යවරියක් වී කෙසේ හෝ මේ අරමුණ ඉටුකර ගන්නෙමැයි දැඩි ලෙස තීරණය කරගත්තා. මෙලෙස තම වයස අවුරුදු තිස්තුනේදී එංගලන්තයේ ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කර අවසානයේ වෛද්‍යවරියක් ලෙස සුදුසුකම් ලබා තම අරමුණ කරා ඉතා ඉක්මනින් ඇය ළඟා වූවා.
මෙහි ප්‍රතිඵලය වූයේ නූතන සහන සත්කාර සේවාව ස්ථාපිත කරමින් 1967 දී ශාන්ත ක්‍රිස්ටෝපර් ගිලාන ගිමන්හල ආරම්භ කිරීමයි. එදා මරණාසන්න රෝගීන්ට පමණක් සීමා වූ සහන සත්කාර සේවාව ඉතා වේගයෙන් දියුණුවට පත්ව ලොව පුරා ප්‍රචලිත වන්නට පටන් ගත්තා. ලෝකයේ දියුණු රටවල් මෙම සේවාවේ ඇති වටිනාකම මැනවින් තේරුම් ගෙන එය තම රටවල්වල සෞඛ්‍ය ක්ෂේත්රයේ අනිවාර්යය සේවා අංගයක් බවට ස්ථාපිත කළා.
අද සහන සත්කාර සේවාව මරණාසන්න රෝගීන්ට පමණක් ලබා දෙන සේවාවක් නොවේ. තවද එය පිළිකා රෝගීන්ට පමණක් සීමා වෙලත් නෑ. ජීවිතයට තර්ජනයක් ගෙන දෙන ඕනෑම රෝගයකින් පීඩා විඳින රෝගියෙකුට තම රෝගී තත්ත්වය දැනගත් මොහොතේ සිටම ලබාදිය යුතු ඉතා වටිනා සත්කාරයක් බවට සහන සත්කාරය හඳුනාගෙන තිබෙනවා.එය එසේ තිබියදී ශ්‍රී ලංකාව ඇතුළු නොදියුණු රටවල්වල ගෝත්‍රික අදහස් දරන ජනතාව අදටත් සිටින්නේ වර්ෂ 1967 ට පෙර එංගලන්තයේ තිබූ අකාරුණික වටපිටාව තුළයි.
ජීවිතයට තර්ජනයක් ගෙනදෙන රෝගයකින් පීඩා විඳින රෝගියකුගේ රෝගී තත්ත්වය සුවපත් කළ නොහැකි තත්ත්වයකට පත් වූ විට “දැන්නම් තව කරන්න දෙයක් නෑ. අපි කරන්න පුළුවන් හැමදෙයක්ම කරලා බැලුවා.
දැන් ඉතින් කරන්න තියෙන්නේ ගෙදර එක්කගෙන ගිහිල්ලා හොඳට කන්න බොන්න දීලා ලෙඩාව හොඳින් බලාගන්න එක. ආයේ රෝහලට ආවා කියලා වැඩක් වෙන්නේ නෑ” යනුවෙන් පවසනු බොහෝවිට ඔබ අත්දැක ඇති. මෙමගින් රෝගියා සහ පවුලේ අය අන්ත අසරණතාවට පත්කර දමන අතර මෙතෙක් කාලයක් තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා තවදුරටත් තමන්ව බලාගැනීමට නොහැකි බව පැවසීම කොතරම් ඛේදජනකද?
දැන් කරන්න දෙයක් නැතැයි කීමේ කිසිදු සත්‍යතාවක් නෑ. රෝග සුව කිරීම සඳහා සීමාවක් තිබුණද රෝගීන්ට ලබාදෙන සහන සත්කාරය සඳහා කිසිදු සීමාවක් නොමැත. ඇත්තටම නූතන සහන සත්කාරය කියා කියන්නේ කුමක්ද? ජීවිතයට තර්ජනයක් ගෙනදෙන රෝගවලින් පීඩා විඳින රෝගීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ එම රෝගීන්ට උවටැන් කරමින් ඔවුන්ව රැකබලා ගන්නා අයගේ පීඩාවන් සමනය කිරීම සඳහා හඳුන්වා දී ඇති ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයකටයි සහන සත්කාරය කියන්නේ. සහන සත්කාරය ලබාදිය යුතු වන්නේ ජීවිතයට තර්ජනයක් ගෙනදෙන පිළිකා වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන්ව රැක බලාගන්නා උපස්ථායකයින්ටයි.
මෙම රෝගී තත්ත්වයන් සහ ඒවාට කරන ප්‍රතිකාර නිසා මුහුණ දීමට සිදුවන වේදනාවන් ඇතුළු කායික, මානසික, ආධ්‍යාත්මික සහ සාමාජයික ගැටලු, සහ පීඩාවන් හැකි සෑම විටම ඇතිවීමට පෙර වළක්වා ගනිමිනුත් එසේ නොහැකි වූ විට ඒවා කල්තබා හඳුනාගෙන ඉතා නිවැරදි ලෙස අධ්‍යයනය කර ඒවාට නිසි ප්‍රතිකාර සහ විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක බව උපරිමයට වැඩි කිරීමේ ප්රවේශයකි සහන සත්කාරය කියා කියන්නේ.
සහන සත්කාරයේ මූලධර්ම
01. මෙහිදී වේදනාවන් සහ අනෙකුත් පීඩාකාරී රෝග ලක්ෂණයන්ට විසඳුම් ලබා දෙමින් ඉන් ඔවුන් මුදවා ගැනීම සිදුකරනවා.
02. ජීවිතයට හිමි නිසි වටිනාකම ලබාදෙන නමුත් සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් නිසා රෝගියා නැවත ආපසු හැරවිය නොහැකි ලෙසට මරණයට පත්වීමේ ක්‍රියාදාමයට අවතීර්ණ වී ඇත්නම් එසේ රෝගියාට අත්වන මරණය සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙසට සලකනු ලබනවා.
03. කිසිඳු විටෙක සහන සත්කාරය තුළින් රෝගියාගේ මරණය ඉක්මන් කිරීමක් හෝ ප්‍රමාද කිරීමක් සිදු කරන්නේ නෑ.රෝගියා ජීවත් වනතුරු ඔහුව හෝ ඇයව සුවපහසුව තැබීමයි සිදුකරන්නෙ.
04. සහන සත්කාරය තුළින් මානසික සහ ආධ්‍යාත්මික ගැටලුවලට විසඳුම් සොයා දෙනවා.
05. සහන සත්කාරයේ සහායක ක්‍රමවේදයන් මගින් රෝගියාට තම ජීවිතයේ අවසන් තත්ත්පරය දක්වාම හැකි උපරිමයෙන් ක්‍රියාශීලීව සිටීමට මග පාදා දෙනවා.
06. උපකාරක සේවාවන් මගින් රෝගියාගේ පවුලේ සාමාජිකයන්ට සහ උපස්ථායකයන්ට රෝගියා ජීවත්ව සිටින කාලය තුළදී සහ රෝගියා මියයාමෙන් පසු පවා ඇතිවන පීඩාකාරී අත්දැකීම් දරා ගැනීමට උදව් ලබාදෙනවා.
07. රෝගියාගේ සහ පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහාද, අවශ්‍ය නම් රෝගියාගේ මරණින් පසු ඇතිවන ශෝක කාලයේදී අවශ්‍ය උපදේශනය ලබාදීමටද, තනිව නොව කණ්ඩායමක් ලෙසට සාමූහික ප්‍රවේශයක් තුළින් සහන සත්කාරය ලබාදීම සිදුකරනු ලබනවා.
08. සහන සත්කාරය මගින් ජීවිතයේ ගුණාත්මක බව වැඩිවන අතර ඇතැම් අවස්ථාවලදී රෝගියාගේ ජීවිත කාලය ඉතා හොඳ ගුණාත්මකබවකින් යුක්තව වැඩි කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. දැනට කර තිබෙන සායනික පරීක්ෂා මගින් මෙය ඉතා සාර්ථකව ඔප්පු කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වැනි නොදියුණු රටවල්වල සහන සත්කාරය ගැන එතරම් දැනුමක් සෞඛ්‍ය සේවකයින් හා නිලධාරීන් තුළ පවා නොමැතිවීම ඉතාම කණගාටුවට කාරණාවක්.