තවත් දවස් පහකින් අවුරුදු උදාවෙනවා. මේ නිසා නගරෙ ගෙවල්වලට වඩා ගමේ ගෙවල්වලට නෑදෑ හිත මිතුරන් පිරිලා. සතුට සමඟ ඇතිවන කලබලකාරී ස්වරූපය ඇතම්විට කෙලවර වන්නෙ දුකකින් හෝ කණගාටුවකින්. එයට බොහෝවිට හේතුවන්නේ මේ කාලෙදි ඇති වියහැකි හදිසි අනතුරු. විශේෂයෙන්ම ගෙදර වැඩි කාලයක් රැඳෙන පොඩි දරුවන් ගිනිකෙළි භාවිතයට, අවුරුදු ක්‍රීඩාවලට යොමුවීමක් දකින්න පුළුවන්. මේ නිසා විය හැකි අනතුරු බොහෝමයක් වළක්වා ගත හැකි ඒවා.
පසුගිය සිංහල අවුරුදු සමයේ ශ්‍රී ලංකා ජාතික රෝහලට වාර්තා වූ ගිනිකෙළි අනතුරු ප්‍රමාණය ඉතාම පහළ අගයක් ගත් බව ඔවුන් පවසනවා. එම නිසා ඉදිරියෙදීත් ගිනිකෙළිවලින් සහ අවුරුදු ක්‍රීඩාවලින් සිදුවන අනතුරු ප්‍රමාණය අවම කරගැනීම සමාජයේ වගකීමක් බව ඔවුන් අවධාරනය කරනවා.
බටහිර සමාජය ගැන වැඩි වැඩියෙන් අවදානය යොමු කරන කාලයක එවැනි සමාජයකින් ගත යුතු හොඳ දේවල් මඟහරින එක මම දකින්නේ අපරාධයක් විදිහට. ඒ සඳහා ඔවුන්ගේ චර්යාවන් හා සිතන ආකාරය බලපා තිබෙන බව අපට පැහැදිලියි. ඔවුන් සතුටුදායක අවස්ථාවලදීත්, උත්සව අවස්ථාවලදීත්, ගිනිකෙළි භාවිතයෙන් ඒවා සමරන්නෙ හොඳ සැලසුමකින් සහ හරිම පරිස්සමෙන් බව අපි දැකලා තියෙනවා.
නමුත් ආසියාතික අපි නව අවුරුදු උදාව, සිංහල හින්දු අලුත් අවුරුද්ද, විවෘත කිරීම් උත්සව වැනි උත්සවවලදීත් ගිනිකෙළි භාවිතය තවමත් නතර කරලා නැහැ. විශේෂයෙන් අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකිකයන් බහුතරයක් සිංහල අවුරුදු කාලයේ රතිඤ්ඤාවලින්, නිලා සහ බඹර චක්‍ර වැනි ගිනිකෙලි පත්තු කරමින් අමුතු සතුටක් හොයනවා. විශේෂයෙන් ගිනිකෙළි නිසා දරුවන් බරපතළ පිළිස්සීම් අනතුරුවලට ලක්වී ජීවිත කාලය පුරාම වන්දි ගෙවන අවස්ථා අප දැක තිබෙනවා.මේ නිසා බටහිර සංස්කෘතියේ ඇති හොඳ දේවල් ආසියාතික අපිත් අනුගමනය කරන්න දැන් කාලය හොඳටම හරි.
මේ අවුරුදු කාලයේ වැඩිහිටියෙකුගේ අධීක්ෂණයකින් තොරව දරුවන්ට ගිනිකෙළි භාවිතයට ඉඩ දෙන්න එපා. වැඩිහිටියන් පවා ගිනිකෙළි භාවිත කළ යුත්තේ හොඳ අවධානයකින් යුතුවයි. ගිනිකෙළි භාවිතයෙන් ඇතිවන පිළිස්සුම් තුවාල ඇතැම්විට ශල්‍යකර්මවලින් පවා සුවකළ නොහැකයි. ඒවා ඇතැම් විට පැය 12 ක් 18 ක් තරම් දීර්ඝකාලයක් ගතවන ඉතා සියුම් ශල්‍යකර්ම වන අතර රජයක් විසින් මෙවැනි ශල්‍යකර්ම සදහා ඇතැම්විට ලක්ෂ ගණනක මුදලක් ඔබගේ ධනයම වැයකරනු ලබනවා. එසේ වැය කළද දරුවන්ටත් වැඩිහිටියන්ටත් ඇතිවන පිළිස්සුම් තුවාලවලින් පලදායී ජීවිතයක් ගෙවීම පවා අහිමිවන බොහෝ අවස්ථා තිබෙනවා.
තවත් මේ අවුරුදු දවස්වල විශේෂයෙන්ම කැවිලි පෙවිලි මෙන්ම ගැඹුරු තෙලේ බැදීමේ කටයුතු වැඩිවන බැවින් ඒවා ආරක්ෂාකාරීව කළ යුතුය. බොහෝවිට කුඩා දරුවන් මෙවැනි පරිසරවලින් ඈත් කර තැබීම වැඩිහිටියන්ගේ වගකීමක්. මුළුතැන්ගෙය දරුවන්ට ගැවසීමට සුදුසු පරිසරයක් නොවේ. ඒ නොදැනුවත්කම නිසා දරුවන්ට බොහෝ අනතුරු මුළුතැන්ගෙය ආශ්‍රිතව සිදුවිය හැකි නිසයි.
පිළිස්සුම් තුවලයක් සිදු වූ විට වහාම කළ යුත්තේ …
වහාම කළ යුත්තේ ගලායන ජලයට පිළිස්සුම් තුවාලය විනාඩි විස්සකට වඩා ඇල්ලීමයි. එවිට අභ්‍යන්තර දහනය අවම කරගත හැකියි.
කිසිවිටෙකත් පිළිස්සුම් තුවලය මත හෝ අවට ආලේපන ( ටූත් පේස්ට්, බටර්, කෝමරිකා වැනි ) ගැල්වීමෙන් වළකින්න. පිළිස්සුම් තුවාලය අවට තියෙන රෙදි හෝ වෙනත් ද්‍රව්‍ය බලෙන් ඉවත් කිරීමට නොයන්න.
වහාම ළඟම ඇති රෝහලට රෝගීයාව රැගෙන යන්න. වෛද්‍ය උපදෙස් පමණක් අනුගමනය කරන්න.
හදිසි අනතුරකදී ඇඟිල්ලක් හෝ ඇඟිල්ලක කොටසක් සම්පූර්ණයෙන්ම වෙන්වූ විට රෝහල වෙත නිසි පරිදි රැගෙන ඒමෙන් ඒවා සාර්ථකව බද්ධ කළ හැකි අවස්ථා තිබේ. එවැනි කොටසක් රැගෙන ආ යුත්තෙ පිරිසිදු පොලිතීන් උරයක බහා සීල් කර එම පොලිතීන් උරය අයිස් සහ වතුර යෙදූ බඳුනක තබාගෙනය. කිසිවිටෙකත් වෙන්වූ කොටස අයිස්වලට හෝ වතුරට සෘජුව නොදමන්න.
අවුරුදු නැකැත්වලින් පසුව අපේ රටේ බොහෝ දෙනෙක් අවුරුදු උත්සව සහ ගම හරහා දිවීමේ තරග සංවිධානය කිරීමට පෙළඹෙනවා. මේවා සංවිධානය කිරිමේදී සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් විය යුත්තේ සිදුවිය හැකි හදිසි අනතුරු නිසා ජීවිතය පවා අහිමි විය හැකි බැවිනි.
විශේෂයෙන්ම අවුරුදු උත්සවලදී පවත්වන කොට්ට පොර තරග, කඹ ඇදීමේ තරග සහ කෙටි දුර සහ දිගු දුර දිවීමේ තරගවලදී අනතුරු විය හැකි බැවින් ඒවා සංවිධානය කිරීමේදී තරගකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත්වීම සංවිධායක මණ්ඩලයේ වගකීමයි.
කොට්ට පොර
තරගකරුවන් තරග කරන ස්ථානයේ බිමට අනතුරු වළක්වා ගැනීම සඳහා මෙට්ට, කොහුබත් වැනි ද්‍රව්‍ය යොදා සකසාගත යුතුය. ප්‍රතිවාදියා පහරදී වැටෙන තරගකරුවගේ කොන්ද, බෙල්ල සහ අත්පාවලට ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහාය. එමෙන්ම තරගකරුවන් තරග වදින උස පොළවට සාපේක්ෂව අවම කරගත යුතුය.
කඹ ඇදීම
කඹ ඇදීමේදී හදිසියේ සිදුවන ඉරියව් වෙනස නිසා දණහිස තුළ ඇති ස්ථායිකරණ පටක ඉරී යාෑමකට ලක්විය හැකිය. මෙම තත්ත්වය දිගුකාලීනව දණහිසේ අබාධ ඇතිකරයි. එම නිසා දණහිස ස්ථායි කිරීමට දණහිස් ආවරණයන් හෙවත් Knee Guard එකක් භාවිත කරන්න. තවද තරගකරුවන් පාදයට බරදී කඹය පස්සට අදිනා බැවින් වළලුකර සන්ධියේ අස්ථි බිඳීමක් හෝ පටක ඉරීමක් සිදුවිය හැකිය. ඒ පිළිබඳවද සැළකිලිමත් වන්න. එය ඇතැම්විට ජීවිත කාලය පුරාම සුවකළ නොහැකි අනතුරක් වනු ඇත. කඹය ඇඟ වටා ඔතාගැනීමෙන් කොන්ද ගැස්සීමේ අනතුරුද සිදුවිය හැකිය.
මැරතන් ධාවන තරග
කෙටිදුර ධාවන තරග මෙන්ම දිගුදුර ධාවන තරග පැවැත්වීමට ප්‍රථම තරගකරුවන්ගෙන් ශරිර යෝග්‍යතා සහතිකයක් විමසා සිටින්න. එසේ යෝග්‍ය සහතික ලබාදෙන තරගකරුවන් තරගයට ඉදිරිපත් කළද ගිලන්රථ, ප්‍රථමාධාර, වෛද්‍ය අධීක්ෂණ කණ්ඩයාමක් තරගය පුරාම තබාගන්න. තරග සංවිධානයේදී පරිසර තත්ත්වය ( අධික රස්නය ) පිළිබඳ සැලකිලිමත් වන්න.අනතුරක් වූ වහාම ප්‍රථමාධර ලබාදෙමින් ජීවිතය සුරක්ෂිත කරමින් ළඟම ඇති රෝහලට රැගෙන යන්න.
හරින්දී ලියනගේ ✍️