නියපොතුවල අලංකාරය පිළිබඳව බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන ලලනාවන්ට නියපොතු හැඩය බලා රෝගාබාධ පිළිබඳ නිමිති දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා නියපොතු පිළිබඳව අලංකාර කිරීමට යොමුවනවා සේම ඒවායේ වෙනස්කම් කල්තබා හඳුනාගෙන ඔබේ ජීවිතය රෝගාබාධයන්ගෙන් ආරක්ෂා කරගැනීම පිළිබඳව කාන්තාවන් දැනුවත්වීම ඉතාම වැදගත්. නියපොත්තක් වැඩෙන්න යම් කාලයක් ගතවනවා. අතේ ඇඟිල්ලක නියපොත්තක් නම් මාස හයක් පමණ කාලයක් සහ පයේ ඇඟිල්ලක නියපොත්තක් වැඩීමට වසරක පමණ කාලයක් ගතවනවා. ඒ නිසා නියපොත්තක් ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්.
නියපොත්තක කොටස්
නියපොත්ත (Nail plate)
නියපොත්තේ අපට පෙනෙන කොටස.
නියරාමුව (Nail folds)
නියපොත්ත තුන්පැත්තකින් වට කරගෙන සිටින සම.
නිය පටක (Cuticle)
නියපොත්ත මුල පෙදෙසේදී නියපොත්ත මතුපිටින් වැටී ඇති පටක.
අඩසඳ (Lumala)
නියපොත්ත මුල පිහිටි අඩ සඳක හැඩය ඇති සුදු පැහැති කොටස.
නිය පතුල ( Nail bed)
නියපොත්තට යටින් ඇති සම.
නියපොතුවල සෞඛ්‍ය ගැන අවධානය දැක්වීම ඉතා වැදගත්. විවිධ අන්දමින් නියපොත්තක වෙනස් වීම සිදුවන්න පුළුවන්.
නියපොත්තක පාට වෙනස් වීම
නියපොතු පහසුවෙන් කැඩී යෑම
නියපොතු බොල් වීම
නියපොතුවල රෝග ලක්ෂණ ඇතිවීමට හේතු
අපේ අතේ ඇඟිලිවල නියපොතුවලට සාපේක්ෂව බලන විට කකුලේ ඇඟිලිවල නියපොතු රෝගී වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.
දිලීර ආසාදන – නියපොතු වැඩියෙන් නිරාවරණය වෙන කාර්යන්හි යෙදීම. උදාහරණයක් ලෙස පස්, වැලි, සිමෙන්ති සහ වතුර නිතරම නියපොතු සමග ගැටෙන ආකාරයේ වැඩ කටයුතුවල නිරත පුද්ගලයින්.
ඇතැම් රෝග තත්ත්වයන් නිසාත් නියපොතුවල වෙනස්කම් ඇතිවීමට පුළුවන්. උදාහරණ ලෙස වකුගඩු, අක්මාව සහ හදවත් ආශ්රිත රෝග තත්ත්වයන්.
පෝෂණ ඌනතාවන්
නියපොතු ආශ්රිත රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීම
ඔබේ නියපොතු ආශ්‍රිතව වෙනදා දක්නට නොමැති වෙනස්කමක් ඇත්නම් ඒ බැව් ඔබටම තේරුම් ගැනීමට පුළුවන්. උදාහරණයක් ලෙස නියපොතුවල පාට වෙනස් වීම පහසුවෙන් කැඩී යෑම වැනි ලක්ෂණයක් ඇත්නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත්. ඔබ විසින් සඳහන් කරන රෝග තත්ත්වයන් සහ නියපොතු පිළිබඳව සිදුකරන නිරීක්ෂණයෙන් පසුව වෛද්‍යවරයා විසින් රෝග තත්ත්වය ගැන තහවුරු වීමක් ලබාගන්නවා. ඒ අනුව ඔබට ලබාදෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීම ඉතාම වැදගත්.
නියපොතු ආශ්රිත ආසාදන තත්ත්වයක් නම් ( පාට වෙනස් වීම, පහසුවෙන් කැඩීම හෝ බොල් වීම. මෙවැනි රෝග තත්ත්වයක් ඇත්නම් දිලීර ආසාදන තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම ඉතා වැදගත්.
එවැනි රෝගීන් නියපොතු වියැළිව තබාගත යුතුයි. මුළුතැන්ගෙයි කටයුතුවලදී වතුරෙන් ආරක්ෂා වීම සඳහා Gloves පැළඳ වැඩ කටයුතු කිරීම වඩාත් සුදුසුයි. මෙහිදී මුලින්ම කපු අත් ආවරණ පැළඳ එයින් පසුව මතුපිටට රබර් අත් ආවරණ පැළඳීම වඩාත් යෝග්‍යයි.
හිල්වුණ අත් ආවරණ පැළඳීම මගින් කිසිම ලෙසකින් නියපොතුවලට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එය අත්ආවරණ නොමැතිව වැඩ කටයුතු කිරීමටත් වඩා හානියක් බැව් සැලකීම වැදගත්.
පාදයේ නියපොතු
ජලය, මැටි, සිමෙන්ති ආදියට නිරාවරණය නොවන ලෙසින් ඇතැම් කාර්යන්හි යෙදෙන විට පා ආවරණ (Boot) පැළඳීම වැදගත්. ඔබේ නියපොතු ආසාදනය වී තිබියදී ඒ ගැන නොසලකා තව දුරටත් එවැනි පරිසරයකට නිරාවරණය වීම නිසා ආසාදන තත්ත්වය තව දුරටත් වැඩිවීමට ඉඩ තිබෙනවා.
ඔබ පළඳින පාවහන් නිසාත් නියපොතුවලට හානිවීමට පුළුවන්. විශේෂයෙන් පාවහන්වල ඇඟිලි ප්‍රදේශය සිර බවක් ඇති විට නියපොතු ආසාදනය වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා එවැනි රෝගීන් පාවහන් තෝරාගන්නා විට ඉදිරියේ ඉඩ තිබෙන පළල පාවහන් තෝරාගන්න. ඇඟිලි ප්‍රදේශය පිටතින් තිබෙන සැන්ඩ්ල්ස් (sandals) වර්ගයේ පාවහන් සුදුසුයි.
සමහර විට නියපොතු පිරිසිදු කරන විට ඔබ භාවිත කරන දේ නිසාත් නියපොතුවලට හානි වීමට පුළුවන්. උදාහරණයක් ලෙස සඳහන් කරනවා නම් කටු, බුරුසු වැනි දේ නියපොතු පිරිසිදු කිරීමට භාවිත කිරීමට සුදුසු නැහැ. ඒ වෙනුවෙන් පිරිසිදු මෘදු රෙදි කැබැල්ලක් පාවිච්චි කරන්න.
නියපොතු ආශ්රිත පුස් රෝග තත්ත්වයක් ඇති අවස්ථාවන්හිදී වෛද්‍යවරයා විසින් ඔබට ප්‍රතිකාර ලෙස ලබාදෙන ආලේපන වර්ග උපදෙස් අනුව පාවිච්චි කරන්න.
යම් රෝගී තත්ත්වයක අතුරු හේතුවක් ලෙසින් නියපොතු ආශ්රිත රෝග තත්ත්වයක් ඇත්නම් අදාළ රෝග තත්ත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් වූ ප්‍රතිකාර අඛණ්ඩව ලබාගන්න.
පෝෂණ ඌනතාවක් නිසා නියපොතුවල රෝග තත්ත්වයක් ඇත්නම් ආහාරවලින් අවශ්‍ය පෝෂණය ලබාගැනීමට වැඩි අවධානයක් ලබාදෙන්න.
ඒ වගේම ඔබේ ඇඟිල්ලක හෝ දෙකක පමණක් මෙවැනි පුස් වර්ග ඇත්නම් ඒ වෙනුවෙන් භාවිත කරන නිය කපනයෙන් අනිත් ඇඟිලිවල නියපොතු කැපීම සුදුසු නැහැ.එවැනි අවස්ථාවකදී අනිත් ඇඟිලිවලටත් රෝග තත්ත්වය පැතිරීමට ඉඩ තිබෙනවා.
ඔබේ අත්ලට හෝ යටි පතුලට නිතරම දහඩිය දානවා නම් නියපොතු ආශ්‍රිතව ආසාදන ඇතිවීමට වැඩි ඉඩක් තිබෙන නිසා එවැනි තත්ත්වයන් පාලනය කර ගැනීමත් වැදගත්.
නිය අලංකාර කටයුතු කරන අවස්ථාවන්හිදී ද නියපොතුවල නිරෝගිතාව ගැන සැලකිලිමත් වීම වැදගත්. කෘත්‍රිම නියපොතු ඇලවීම නිසා නිය මතුපිට තුවාල වීමට ඉඩ තිබෙනවා. එවැනි තුවාල මත පසුකාලයකදී පුස් ඇතිවිය හැකිය. එබැවින් කෘත්‍රිම නියපොතු ඇලවීමට වඩා ඒවා ගැලවීමේදී නියපොතු මතුපිටට තුවාල නොවන සේ ඉවත් කරගන්න.
“මෙඩිකියු“ සහ “පෙඩිකියු “වැනි අලංකරණ කටයුතු නිසා නියපොතුවලට හානි සිදුවන්නේ නැහැ. නමුත් ඔබ විසින් තෝරාගන්නා රූපලාවන්‍යාගාරයේ සෞඛ්‍යරක්ෂිත බව ඉතා වැදගත්. සෞඛ්යාරක්ෂිත නැති රූපලාවන්‍යාගාරයකින් මෙවැනි නිය අලංකරණ කටයුතු සිදුකර ගැනීමේ අවදානමක් තිබෙන නිසා ඒ ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි.
කියුටෙක්ස් ආලේප කිරීමෙන් නියපොතුවලට හානියක් සිදුවන්නේ නැහැ. ඒත් වර්ණ ඉවත් කිරීමේදී නිසි ක්‍රමවේද අනුගමනය නොකොට සීරීම සහ බාල ඉවත් කිරීමේ දියර (Remover) යෙදීම හේතුවෙන් නියපොතු හානිවීමට ඉඩ තිබෙනවා.ඔබ විසින් නියපොතු වෙනුවෙන් දක්වන සැලකිලිමත් බව ලබාදෙන පෝෂණය නියපොතු නීරෝගීව සහ අලංකාර ලෙසින් පවත්වා ගැනීමට හේතු වනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️