උපදින ඕනෑම කෙනෙකුගේ ජීවිතය කෙදිනක හෝ මරණයෙන් කෙළවර වෙනවා. ඒක වළක්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සෑම කෙනෙකුම තම ඉපදීම කරදරවලින් තොරව හොඳින් සිදුවීම බලාපොරොත්තු වනවා සේම කවදා හෝ දිනක සිදුවන මරණයද පීඩාවන්ගෙන් තොරව හොඳින් සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නම් මිය යන පුද්ගලයාට කායිකව, මානසිකව, අධ්‍යාත්මිකව, සමාජීයව සහ ආර්ථිකව ඒ මොහොතේ සිදුවන පීඩාවන් සමනය කර දිය යුතුවනවා. මෑතක් වනතුරුම ලෝකයාගේ අවධානය මේ සඳහා එතරම් යොමු වී තිබුණේ නෑ.
මහා බ්‍රිතාන්‍යයේ වාසය කළ සිසිලි සෝන්ඩර්ස් නවීන “ගිලාන ගිමන්හල්” (Modern Hospice) සංකල්පය ප්‍රථම වතාවට හඳුන්වා දෙමින් “සහන සත්කාරය” (Plliative Care) නම් සත්කාරක සේවාව ස්ථාපිත කළා. මුලින් හෙදියක් ලෙස සේවය කරමින් මරණාසන්න රෝගීන්ගේ වේදනාවන් උපරිමයට සමනය කළ යුතු බවට හඬක් නැගුවද එය බීරි අලින්ට වීණා වැයීමක් වගේ වුණා. එදා මහා බ්‍රිතාන්‍යයේ තත්ත්වයද අද ලංකාවේ තත්ත්වයට බොහෝ සෙයින් සමාන වූ නිසා හෙදියකගේ හඬට සවන් දීමට කිසිවෙක් කැමති වූයේ නෑ.
මෙය දුටු එක් ශල්‍ය වෛද්‍යවරයෙක් ඇයට වෛද්‍යවරියක් වී මේ මතය ප්‍රකාශ කරන ලෙසට කාරුණික යෝජනාවක් කළා. මෙය පිළිගත් ඇය තම වයස 33 දී ශාන්ත තෝමස් රෝහලේ (St Thomas’ Hospital) වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙසට ඉගෙනුම ආරම්භ කළා. වෛද්‍යවරියක් වීමෙන් පසු ඇය නැගූ හඬ ඉතා ප්‍රභල සහ ශක්තිමත් එකක් වූ අතර ඊට බොහෝ දෙනෙකු ඇහුම්කන් දුන්නා. මෙහි ප්‍රතිපලයක් ලෙස වර්ෂ 1967 දී ශාන්ත ක්‍රිස්ටොපර්ගේ ගිලාන ගිමන් හල (St.Christopher ‘s Hospice)ආරම්භ කරන ලද අතර වේදනාවෙන් පීඩා විඳින මරණාසන්න රෝගීන්ට එය ඉමහත් අස්වැසිල්ලක් වුණා.
මෙලෙස ආරම්භ කරන ලද සහන සත්කාර සේවය ආරම්භයේදී ගිලාන ගිමන්හල් සේවය තුළින් උපකාර කරනු ලැබූයේ මරණාසන්න රෝගීන්ට පමණයි. නමුත් සහන සත්කාර සේවය බොහොමයක් රෝගීන්ට තම රෝගී තත්ත්වය දැනගත් මොහොතේ සිටම අවශ්‍ය කරන ප්‍රතිකාර සේවාවක් වනවා. සහන සත්කාරය ලබාදිය යුතු, ජීවිතයට තර්ජනයක් ගෙනදෙන රෝගී තත්ත්වයන් රැසක් හඳුනාගෙන තිබෙනවා.ඒ අතර පිළිකා, නිධන්ගත අක්මා අකර්මන්යතාවන්, නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාවන්, ඩිමෙන්ෂියා ආදී නිදන්ගත ස්නායු රෝග ප්‍රධාන වනවා.
අතීතයේදී මෙන් නොව වර්තමානයේදී මෙහි ඇති විශේෂත්වය වනුයේ ඉහත රෝගී තත්ත්වයන් හඳුනාගත් මොහොතේ සිටම රෝගියා මරණාසන්න වනතුරු බලා නොසිට ඒ ඒ රෝගී තත්ත්වයන් සඳහා ලබාදෙන විශේෂිත ප්රතිරකාරයන් ලබාදෙන අතරතුරම සහන සත්කාරයද ලබාදීමයි. මේ නිසා සහන සත්කාරයේ උපකාරයෙන් තමන්ගේ රෝග සඳහා ලබාදෙන විශේෂිත ප්‍රතිකාරයන් පීඩාවන්ගෙන් තොරව ලබාගැනීමේ හැකියාව ද දැන් ඇතිවී තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි නොදියුණු රටවල්වල තවමත් මේ සත්කාරක සේවය ගැන හරි ආකාර අවබෝධයක් නෑ. සාමාන්‍ය ජනතාව පමණක් නොව සෞඛ්‍ය සේවයේ නිලධාරීන් තුළ පවා ඇත්තේ මේ ගැන අවම දැනුමක්.
එදා සිසිලි සෝන්ඩර්ස් වෙත පිහිට පතා පැමිණි බොහෝ රෝගීන් තම අතීත අමිහිරි අත්දැකීම් මෙසේ පැවසුවා. “ඔවුන් අප පරීක්ෂාවට ලක්කරා, කොපමණ කාලයක් මෝෆින් ගන්නේ නැතුව අපට වේදනාව දරාගෙන ඉන්න පුළුවන්ද කියලා. දැන්ම මෝෆින් ඕන නෑ. තව ටික කාලයක් බලමු. මෙහෙම කියපු ඔවුන්ට අපේ වේදනාව තේරුම් ගන්න හැකියාවක් තිබ්බේ නෑ. අපි දරාගන්න බැරි වේදනාවකින් පීඩා විඳිමින් දහදිය වගුරවමිනුයි හිටියේ. ඔබතුමියගේ සත්කාරයන්වලින් අපේ වේදනාව මුළුමනින්ම අතුරුදහන් වුණා”.එදා සෝන්ඩර්ස් ඉදිරියේ එංගලන්තයේ රෝගීන් හඬා වැටෙමින් කියූ ඒ අමිහිරි කතන්දරය අද ලංකාවේ බොහොමයක් පිළිකා රෝගීන්ගේ ප්‍රධාන කතන්දරය බවට පත්වෙලා. අඩ සියවසකට පෙර එංගලන්තයේ තිබූ ඒ අඳුරු අතීතය අමිහිරි මතකයක් පමණක් බවට සීමා කරමින් සෝණ්ඩර්ස් දැමූ ශක්තිමත් අඩිතාලම මත සහන සත්කාරය සමස්ත මහා බ්‍රිතාන්‍ය තුළත් ඉන් පරිබාහිරව ලෝකයේ දියුණු වෙනත් රටවල් තුළත් වේගයෙන් ප්‍රචලිත වන්නට පටන් ගත්තා.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට “ The Economist- Intelligence Unit” නම් අන්තර්ජාතික ප්රකාශනයට අනුව 2015 වසර වන විට හොඳ මරණයක් ලබා ගැනීමේ හැකියාව අනුව කරන ලද රටවල් ශේණිගත කිරීමට අනුව ලොව අංක එකේ රට බවට මහා බ්‍රිතාන්‍ය පත්ව තිබුණා. ඉහත වාර්තාව අනුව හොඳ මරණයක් ලබාගැනීමේ හැකියාව මත කරන ලද ශ්‍රේණිගත කිරීමේදී ඉහළින්ම සිටි රටවල්වල මේ සම්බන්ධ පොදු ලක්ෂණ හයක් දැකගත හැකි වුණා.
1 සහන සත්කාරය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ඉතා ශක්තිමත් හා ප්‍රතිඵලදායක ප්‍රතිපත්තිමය සැලැස්මක් තිබීම.
2 සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය අංශයෙන් ඉතා ඉහළ මුදලක් යොදවා තිබීම.
3 සෞඛ්‍ය සේවකයන් සඳහා ඉතා සාර්ථක, සවිස්තරාත්මක පුහුණුවක් ලබාදීම සඳහා සම්පත් සපයා තිබීම.
4 සහන සත්කාර සේවාවන් ලබා ගැනීමේදී රෝගීන් මත පැටවෙන බරපැන අවම කිරීමට රාජ්‍ය අංශය කටයුතු කර තිබීම.
5 මෝෆින් ඇතුළු ඕපිඔයිඩ්ස් (Opioids) වර්ගයේ වේදනානාශක ඖෂධ අඩුපාඩුවකින් තොරව අවශ්‍යතා ඇති රෝගීන්ට පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබීම.
6 සහන සත්කාරය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුළ ඉතා හොඳ අවබෝධයක් තිබීම.
වර්ෂ 2015 දී ගුණාත්මක මරණ දර්ශකයේ ලකුණු 93.9% ක් ලබාගෙන මහා බ්‍රිතාන්‍ය අංක එකට පැමිණෙන විට ලකුණු 27.1% තරම් අඩු ප්‍රමාණයක් ලබාගනිමින් ශ්‍රී ලංකාවට හිමි වී තිබුණේ 65 වන ස්ථානයයි. මෙහිදී කෙන්යාව, සැම්බියාව, ගානාව, උගන්ඩාව වැනි අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉතා ඉහළ ස්ථානයක පැවතීමෙන්, කොතරම් වහසි බස් දෙඩුවද අපගේ රටේ සෞඛ්‍ය තත්ත්වයේ පවතින තත්ත්වය ගැන මෙමගින් යම් අවබෝධයක් ලබා ගැනීමට අපට හැකියාව තිබෙනවා.
රටක සහන සත්කාර සේවාවන් කොතරම් හොඳ තත්ත්වයක පවතිනවාද කියා අවබෝධයක් ලබාගැනීමට ඇති තවත් දර්ශකයක් වන්නේ ඒ රටේ රෝගීන්ට තම වේදනාව සමනය කරගැනීමට මෝෆින් සහ ඊට සමාන ඕපිඔයිඩ් වර්ගය ඖෂධ ප්‍රමාණවත්ව ලබා ගැනීමට ඇති හැකියාවයි. ලංකාවේ AIDS නිසා සහ පිළිකා නිසා මිය යන රෝගීන් පමණක් සලකා බැලුවද ඔවුන්ට තම ජීවිතයේ අවසන් කාලයේ වේදනාවෙන් තොරව ගතකිරීමට ප්‍රමාණවත් මෝෆීන් හෝ ඊට සමාන වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේ ආසන්න වශයෙන් ඒ අවශ්‍යතාව ඇති රෝගීන්ගෙන් 18% ක් තරම් අඩු ප්‍රමාණයකට පමණයි.
එනම් මෙම රෝගී තත්ත්වයන් දෙක පමණක් සලකා බැලීමේදී මෙම රෝගී තත්ත්වයන් දෙක නිසා මිය යන රෝගීන්ගෙන් 82% ක් තරම් විශාල ප්‍රමාණයකට තමන්ගේ වේදනාව සමනය කරගැනීමට තවමත් හැකියාවක් නැහැ. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ රෝගීන්ට තම වේදනාව සමනය කරගැනීමට මෝෆීන් වැනි ඖෂධ අවශ්‍ය තරම් ප්‍රමාණයට නොමැති බවයි. ලෝකයේ ඕනෑම රටක මෝෆින් ඖෂධයේ මිල ඉතා අඩු වුවද ලංකාවේ නම් එය කිසිවිටෙකත් එසේ වන්නේ නෑ.
මීට වසර පහකට පමණ පෙර හිටි හැටියේම මෝෆින්වල මිල පස් ගුණයකින් පමණ වැඩි වූ අතර ඊට හේතුව පැහැදිලි කිරීමට කිසිවෙකුටත් හැකියාවක් තිබුණේ නෑ. ඉන්දියාවේ මෙම ඖෂධයේ මිලෙහි කිසිදු වෙනසක් නොවී තිබියදී ලංකාවේ පමණක් මෙලෙස මිල වැඩිවූයේ කෙසේද? මෙලෙස ඉතා අමාරුවෙන් රෝගීන් වෙනුවෙන් ලබාදෙන මෝෆින් ඖෂධය පස්සා දොරින් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් අතට පත්වීම් මෑත කාලයේදී දක්නට ලැබුණු අවාසනාවන්ත තත්ත්වයක්. මෙය හේතුවක් කරගෙන තවදුරටත් රෝගීන්ට වේදනාව සමනය කිරීමට ලබාදෙන මෝෆින් ටිකට තහංචි පැනවීමට ඉදිරියේදී බැරි කමක් නැහැ. එහෙම වුණොත් නම් වේදනාවෙන් මිරිකෙමින් ජීවිතයේ අවසන් කාලය ගතකරන රෝගීන්ට අබ සරණම තමයි.
ශ්‍රී ලංකාව වර්ගීකරණය කර ඇත්තේ ඉතා සුළු වශයෙන් තැන් තැන්වල සහන සත්කාරය සපයා දෙන රටක් හැටියටයි. ඒ කියන්නේ “Level 3 A” රටක් ලෙසටයි. අප රටට ඉදිරියෙන් “Level 3 B” (රටවල් 22 ක් ) “Level 4 A”- ( රටවල් 21 ක් ) සහ “Level 4 B” – (රටවල් 30 ක්) එනම් රටවල් හැත්තෑ තුනක් පමණ තිබෙනවා. අපේ රට මෙලෙස පහතට වැටිය යුතු රටක් නොවෙයි. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ඉතා ඉහළ තලයක තිබෙන ශ්‍රී ලංකාවේ සහන සත්කාරය මෙතරම් පහළ මට්ටමක පවතින්නේ කෙසේද? මීට හේතු බොහොමයක් තිබෙනවා.
ඉන් එකක් වනුයේ සෞඛ්‍ය නිලධාරීන් තුළ පවතින “චෞවු චෞවු” ප්රතිපත්තියයි. ඒ කියන්නේ කිසියම් අලුත් හොඳ දෙයක් කරන්නට හදනකොට “මේක නම් කරන්න බෑ, මේක කළොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. මේවා ලංකාවේ කවදාවත් කරන්න පුළුවන් වැඩ නෙවෙයි, මේක නම් කීයටවත් හරියන්නෙ නෑ” ආදී වශයෙන් දැඩි ලෙස ඍණාත්මක ආකල්ප පැවතීමයි.
තවත් කාරණාවක් වන්නේ ප්‍රායෝගිකව ඉතා උසස් මට්ටමේ සහන සත්කාරයක් සැපයීමේ හැකියාවක් තිබෙන අත්දැකීම් ඇති සෞඛ්‍ය නිලධාරීන් ලංකාව තුළ සිටින්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයක් වීමයි. බොහෝ විට සහන සත්කාරය ගැන කතා කිරීමට වේදිකාවක් මතට නගින බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් නොමැති වීමත් බලවත් ගැටලුවක්. එවිට බොහෝ විට සිදුවන්නේ සහන සත්කාරය කියන නම විකුණමින් වෙනත් දෙයක් ප්‍රජාවට පෙන්වීම වන අතර එවිට ජනතාව තුළින් මෙම අගනා සේවාව ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ වැඩිවීමයි.
තවද සහන සත්කාර සේවාවන් ලබාදීමට දෙවන පරම්පරාවක් බිහිකිරීමේ පුහුණු කටයුතු කිරීම සඳහා ඒ පිළිබඳව අත්දැකීම් ඇති අය යොදා ගන්නවා වෙනුවට ලංකාව තුළ සිදුවන්නේ “තියරි” විතරක් කතා කරන අය බහුලව යොදා ගැනීමයි.මෙවැනි අඩුපාඩු රැසක් තිබෙන පසුබිමක ඉබි ගමනින් වුවද ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවාව යම් හෝ දියුණුවක් ලබා තිබීම පිළිකා රෝගීන් ඇතුළු ජීවිතයට තර්ජන ගෙන දෙන රෝගවලින් පීඩා විඳින දහස් ගණන් රෝගීන්ට තරමක් හෝ සැනසීමකි. නමුත් මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව නම් කිව යුතුමයි.

හරින්දී ලියනගේ ✍️