ඇසක කාච සුද ඉවත් කිරීමේ සැත්කම අද ඉතාම සුලබව සිදුවන්නක්.මේ ශල්‍යකර්මයට මුහුණ දීමට පෙරාතුව ඔබට ඒ ගැන විවිධ සැක තැන් ඇතිවනවා. ඒ නිසාම බොහෝ රෝගීන් ඇසේ කාච සුද ඉවත් කිරීමේ සැත්කමට යොමු වීමට පෙරාතුව පටන්ම මේ ගැටුම් සමග කාලය ගෙවනවා. නමුත් මේ සැත්කම ගැන ඔබ බිය විය යුතු නැහැ.ඇසේ කාච සුද ඉවත් කිරීමේ සැත්කමකින් පසුව ඔබට එදිනම ගෙදර යන්න පුළුවන්. ඇතැම් රෝහල්වල ඔබව එදින රෝහලේ නේවාසිකව තබාගෙන පසු සැත්කම් දිනයේ ඔබව පරීක්ෂා කිරීමෙන් පසුව රෝහලෙන් මුදාහරිනවා
සැත්කමෙන් පසුව…
සැත්කමෙන් පසු දිනය, පළමු සතිය හා පළමු මාසය ඇතුළත ඔබේ ඇස පරීක්ෂා කරනවා. සැත්කමට භාවිත කළ නිර්වින්දක ඖෂධවල ක්‍රියාකාරීත්වය වියැකෙද්දී ඔබට වේදනාව දැනෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍යයි. සැත්කමට පසුදාම හෝ දින කීපයකින් සුවය ලැබෙනවා.
සුද ඉවත් කිරීමෙන් පසු අපහසුතාවන්…
ඇසේ කාච සුද ඉවත් කිරීමෙන් පසුව ඉතා සුළු අතුරු තත්ත්වයන් ඇතිවන්න පුළුවන්.
ඇස කැවීම
බොඳ ගතිය
කඳුළු ගැලීම
ඇස රතු වීම
මේ වගේ රෝග ලක්ෂණ මුල් දිනයන්හි ඉතාම සුලබයි. ඇස අසම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයක පමණ කාලයක් ගතවෙනවා. ඒ අවස්ථාවේදී රෝගියා පරීක්ෂා කර ගැළපෙන ඇස් කණ්ණාඩි නිර්දේශ කරනවා.
පසු සැත්කම් කාලයේදී රෝගියාගේ දායකත්වය…
ඇසේ කාච සුද ඉවත් කිරීමෙන් පසුව රෝගියාගේ පැත්තෙන් ලැබෙන දායකත්වය ඉතා වැදගත්. රෝග සංකූලතාවන් වළක්වා ගැනීමට එය බෙහෙවින් උපකාරී වනවා.වෛද්‍ය නිර්දේශය අනුව නියම කරන ඖෂධ ගැල්වීම ඉතා වැදගත්. සමහර විට රෝගියාට මුල් දින කීපයේදී බොන බෙහෙත් ලබාදෙන්න පුළුවන්. ඇසේ බෙහෙත් දැමීම මුල් දින කීපයේදී ඉතා ළඟ ළඟ දැමීමට උපදෙස් ලබාදෙනවා. එයින් පසුව කාල අන්තරය ක්‍රමිකව අඩු කරනවා.
ඇසට බෙහෙත් දැමීමේදී…
ඇසට බෙහෙත් දැමීමේදී ඉතාමත් සැලකිළිමත් විය යුතුයි.
බෙහෙත් දමන විට අත් පිරිසිදු කරගන්න. ඇසට විෂබීජ ඇතුළු වීමට ඉඩ තිබෙන නිසා මේ ගැන සැලකිළිමත් වන්න.
හිසින් සිවිලිම දෙස බලා ගෙන, යටි ඇසි පිය පහතට ඇද බෙහෙත් ගල්වන්න.
බෝතලයේ නොසලය ඇසේ ගැටෙන්නට ඉඩ නොදී ප්‍රවේසමින් බෙහෙත් දමන්න.
බෙහෙත් දමාගැනීම රෝගියාට අපහසු නම් වෙනත් කෙනෙකුගේ සහය ලබාගන්න. කෙසේ හෝ වේවා මේ කාර්යය ඉතා ප්‍රවේසමෙන් කළ යුතුය.
බෙහෙත් දැමීමෙන් පසුව…
ඇසට බෙහෙත් දැමීමෙන් පසුව විනාඩි තුනක් පමණ ඇස වසාගෙන සිටින්න.
ඇසෙන් පිටාර ගිය ඖෂධ ඇත්නම් පිරිසිදු රෙදි හෝ ටිෂූ කඩදාසියකින් එය ඉවත් කරන්න.
එක මොහොතක ඖෂධ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් ඇත්නම් විනාඩි 15 ක පමණ පරතරයක් තබාගන්න.
එක් වරකට දමන මාත්‍රාව එක් බින්දුවක් පමණ වීම හොඳටම ප්‍රමාණවත්.
රෝගියාගේ ජීවන රටාව…
ඇසේ කාචය දැමීමෙන් පසුව ප්‍රවේසම් වීම ඉතා වැදගත් බැව් ඔබ දන්නවා. ඒ නිසා ඇස කැසීම මිරිකීම නොකළ යුතුයි.
රෝහලෙන් පිටව යන විට ලබාදෙන ප්ලාස්ටික් ඇස් ආවරණය මුල් සති දෙකේදී පැළඳීම වැදගත්. මේ ප්ලාස්ටික් ආවරණය නිසා නොදැනුවත්ව හෝ රෝගියාගේ ඇසට ඇතිවන පීඩනය වළක්වා ගන්න පුළුවන්.
එළිමහන් තැන්වලට හෝ දූවිලි සහිත ස්ථානවලින් ආරක්ෂා වීමට ඇස් ආවරණ පළඳින්න.
ඔබ වාසය කරන වටපිටාව පිරිසිදුව තබාගන්න.
තද වේදනාවක් ඇත්නම් ඔබට ගැළපෙන වේදනානාශක ඖෂධයක් ලබාගන්න. නමුත් තද වේදනාවක් ඇත්නම් ඔබට කිට්ටුම අක්ෂි සායනයට යන්න.
ඇසට වතුර, ෂැම්පු හෝ සබන් නොයන සේ හිස සෝදා ස්නානය කරන්න.
පොත් පත් බැලීම, රූපවාහිනි නැරඹීම ගැටලුවක් නැහැ. නමුත් මුල් සති දෙකක කාලයේදී ඇස වෙහෙස කිරීම සුදුසු නැහැ.
හොඳින් නිදාගන්න. පැය 24 කට පසුව ඔබේ එදිනෙදා කටයුතුවල නිරත වීමට බාධාවක් නැහැ.
මුල් සති හය ඇතුළත
සැත්කමෙන් පසු මුල් සති හයේදී පිහිනීම, බර ඉසිලීම වෙහෙසකර ව්‍යායාම සුදුසු නැහැ. මේ කාලයේදී ඇසේ රූපලාවන්‍ය දියර ගැල්මක් සුදුසු නැහැ.
පළමු සතියේදී ඉවුම් පිහුම් සහ ළිප ළඟට යෑම සුදුසු නැහැ. දරුවන් වඩාගැනීම සීමා කරන්න.
ඔබේ වෛද්‍යවරයා පවසන තෙක් රිය පැදවීම, ගුවන් ගමන් ප්‍රමාද කරන්න.
ඇස සෝදන්න බැරිද?
බොහෝ රෝගීන්ට මේ ප්රශ්නය ඇතිවනවා. මුල් සති දෙකේදී රෝගියාට පිරිසිදු සහ උණුකර නිවාගත් ජලයේ කොට්න් බඩ් එකක් පොඟවා එය ඇසේ කබ වළේ සිට ඉවතට ඇති පිහාටු දිගේ පිරිමැදීමෙන් ඇස පිරිසිදු කරන්න. මුල් දෙසතිය තුළ දිනකට දෙතුන් වතාවක් මෙය කරන්න. මෙසේ කිරීමෙන් ඇහි පිහාටුවල විෂබීජ එකතු වීම, ඇහි පිහාටු ඇලීම පාලනය කර ගන්න පුළුවන්.
නමුත් ඇස ඇතුළත මේ විදිහට පිරිසිදු කරන්න සුදුසු නැහැ. මුහුණට වතුර ගසමින් ඇස් පිරිසිදු කිරීම කරන්න එපා. සති දෙකකින් පසුව සාමාන්‍ය පරිදි ඇස් පිහාටු සෝදන්න. වැඩි පරිස්සමට ඇස් පිහාටු නොසෝදා සිටියොත් පිහාටුවල විෂබීජ එකතු වී “ Blepharitis” රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්.
අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යන්න වෙයිද?
ඔබේ පෙනුම එකවර අඩු වුණොත්
සාමාන්‍ය වේදනා නාශකවලට අඩු නොවන තරම් ඇසේ වේදනාවක්
වමනය
විදුලි ආලෝක වැනි එළි හෝ කළු පැහැ ලප දෘෂ්ටි පදාසයේ පෙනීම
මේ වගේ රෝග ලක්ෂණ ඇති වුණොත් අක්ෂි වෛද්‍යවරයකු වෙත යෑම අවශ්‍යයි.
සමහර විට රෝගියා මේ වගේ පැමිණිළි කරන්න පුළුවන්. ශල්‍යකර්මය කළ ඇහැ හොඳින් පේනවා. අනිත් ඇහැ පේන්නේ නැහැ. ඇස් දෙක දෙවිදිහක්. මේ වගේ තත්ත්වයක් ඇත්නම් එයින් පෙනී යන්නේ ඔබේ අනිත් ඇසේ සුද මතු වී තිබෙන බවයි. කණ්ණාඩියකින් ඒ තත්ත්වයට විසඳුමක් නැත්නම් අනිත් ඇසේ කාච සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනවා. පළමු සැත්කමෙන් සති හතරක කාලයකින් පසුව ඔබට අනෙත් ඇස වෙනුවෙන් වූ කාච සුද ඉවත් කිරීමට පුළුවන්.
ශල්‍යකර්මයෙන් පසුව ඇස් කණ්ණාඩි දාන්න ඕනද?
මේ තත්ත්වය පුද්ගලබද්ධයි. ඔබේ කෘත්‍රිම කාචය “ Multifocal” කාචයක් නම් ළඟ පෙනීමට අනිවාර්යෙන්ම කණ්ණාඩි පැළඳීම අවශ්‍ය වෙනවා.
නැවත රාජකාරියට…
මේ තත්ත්වයත් රෝගියාගේ රැකියාවේ ස්වභාවය අනුව වෙනස් වෙනවා.රෝගියා එළිමහනේ බර වැඩ කරනවා නම් සති හයක්වත් විවේක ගැනීම අවශ්‍යයි. පරිගණක ආශ්රිත කටයුතු මුල් දෙසතියේදී අපහසු විය හැකියි.
නමුත් සරල වැඩ කටයුතු සහ ඔබට අවදානමක් නැති සහ පහසු කාර්යයක් නම් බාධාවක් නැහැ. එහෙම නම් ඇසක කාච සුද ඉවත් කරගැනීමේ ශල්‍යකර්මය ගැන අනවශ්‍ය බියක් ඇති කරගැනීම අවශ්‍යම නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️