හෙල සිනමාවට වසන්තය ගෙනා මාලිනිය පසුගිය 24 වැනිදා සිනමාවෙන් පමණක් නොව මුළු ලොවින්ම සදහටම සමුගත්තාය. ඒ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදීය. අභාවප්‍රාප්ත වනවිට ඇය 78 වන වියේ පසුවිය. 1947 අප්‍රේල් 30 වැනිදා ඇය කැළණිය ප්‍රදේශයේදී උපත ලැබුවේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා යන නමිනි. සිංහල සිනමාවේ උපත සිදු වූ වසරේදීම ඇගේ උපතද සිදුවීම දෛවෝපගත සිදුවීමකි.
තුරුණු වියේ මාලිනිය පළමුවෙන්ම සිය රංගන දිවිය ඇරඹුවේ 1963 වසරේ වේදිකාගත වූ ‘නොරතරත’ නම් වූ වේදිකා නාට්‍යයෙනි. ඉන්පසුව ඇය ඇගේ පළමු ටෙලි නාට්‍ය රංගනය ලෙස 1968දී විකාශය වූ ‘අකල් වැස්ස’ ටෙලි නාට්‍යයේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන චරිතයක් රඟදැක්වුවාය.
එම රංගනය වෙනුවෙන් මාලිනී ෆොන්සේකා දක්ෂතම නිළිය ලෙස සම්මානය ද හිමි කරගත්තාය. ලද ඇගයුමත් සමඟ චිත්‍රපට වෙනුවෙන් ඇය වෙත ඇරයුම් දිගින් දිගටම ගලා ආවේය.



මාලිනී ප්‍රථම වතාවට සිනමා කර්මාන්තයට පය ගැසුවේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙනි. එම චිත්‍රපටයේ ‘හඳුන්වාදෙන’ නම් වූ විශේෂණ පදය සමඟ තිරයේ පෙන්වූ ඇගේ නම ඉන්පසුව චිත්‍රපටයක මුලින්ම පෙන්වන නම වනු ඇතයි ඇයද සිතා නොතිබෙන්නට ඇත. ඇය හෙල සිනමාවේ නිළි රැජිණ වනු ඇතැයි ද සිතන්නට නැත.
රංගනයේ යෙදුණු පළමු චිත්‍රපටයෙන්ම ඇය ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගත්තාය. එතැන් පටන් ‘මාලිනී ෆොන්සේකා’ නම සිංහල සිනමාවේ ස්ථිර විය. ඇය සිනමාවට නැතිවම බැරි නිළියක් විය. සිංහල සිනමාවට පහළ වූ විශිෂ්ඨතම නළුවන් තුන්දෙනකුගේ නම් සමඟ ඇගේ නම ද යුගල පදයක් මෙන් කියවිණි.
ඒ, විජය – මාලිනී, ගාමිණී – මාලිනී, රවීන්ද්‍ර – මාලිනීය. දශක හයක කාලයක් පුරා ඇය රඟපෑ චිත්‍රපට ගණන 150 කට අධිකය. ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක ප්‍රධාන චරිතය නිරූපණය කළ නිළියක් වීනම් ඒ මාලිනී ෆොන්සේකාම පමණි. ඇය ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපට ගණන 135කි.

වසර කිහිපයක නිහැඬියාවකින් පසු මාලිනී නැවතත් රිදී තිරය ස්පර්ශ කළේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක මෙන්ම ඇගේ සහෝදරිය වූ දමයන්ති ෆොන්සේකාගේ සැමියා, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයෙනි. එම චිත්‍රපටයේ ඇගේ රංගනය බොහෝ විචාරකයන්ගේ ඇගයුමට ලක් විය.
මාලිනී යනු විදෙස් සම්මානයකින් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණියයි. 1975 වසරේදී 09 වැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එලෙස ප්‍රථම වතාවට ජාත්‍යන්තර සම්මානයකට හිමිකම් කීවාය.
එමෙන්ම 1977 වසරේදී දිල්ලි ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ද ඇය සම්මානයට පාත්‍ර විය.2010 වසරේදී CNN නාලිකාව විසින් සකස් කළ ආසියාවේ විශිෂ්ඨතම සිනමා රංගන ශිල්පීන් ශිල්පිනියන් 25 දෙනා අතර මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ නමද ඇතුළත් විය. ඇය ඇගේ ජීවන ගමන තුළ හොඳම නිළිය වෙනුවෙන් සම්මාන 14 ක් සහ ජනප්‍රියම නිළිය වෙනුවෙන් සම්මාන 14 ක් දිනාගත්තාය.

එය හෙල සිනමාවේ ඇය පිහිටවූ වාර්තාවකි. ඇය මියයන තෙක් ශ්‍රී ලාංකේය සිනමා විජිතයේ වර්තමාන සිංහාසනාරූඪ නිළි රැජිණ විය.
ඇගේ දේහය මහජන ගෞරවය පිණිස පසුගිය 26 වැනිදා කොළඹ නිදහස් චතුරස්රයේ තැන්පත් කර එදින සවස එම ස්ථානයේම ආදාහනය කෙරිණි.
ඇගේ අවමගුලට පැමිණි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් ආරියරත්නයන් අතීත මතකයන් යළි මතක් කරමින් පැවසුවේ උදෑසන ‘නිධානය’ චිත්‍රපටයේ රූගතකිරීම් අවසන් කර එදිනම සවස මාලිනී ‘කවුද රජා’ චිත්‍රපටයේ රූගතකිරීම්වලට ද සහභාගී වූ බවය. එවන් කැපකිරීමක් කළ හැකි නිළියක් වර්තමානයේ සොයාගැනීම උගහටය.
ඇය තුළ තිබුණේ එවන් කැපවීමකි. එවන් දක්ෂතාවයකි. තවත් වසර සියයක් ගත වුවද එවන් නිළියක් හෙල සිනමාවේ නැවත පහළ නොවනු ඇත.කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සෙවූ පිවිතුරු සිත ඇයට එහා ලෝකයේදී හෝ හමුවනු ඇත.
යුග ගණනක් සුන්දර රූ සපුවෙන්, අවිහිංසක සිනහවෙන් හැඩ කළ සීත අරණේ සුපුල් නාමල මාලිනී ඔබට නිවන් සුව!!!
එරංදි කෞශල්‍යා ✍️