නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පථංජලීගේ නෝ සිලබස් ඉස්කෝලෙ ජනවාරි 04 ඇරඹේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පථංජලීගේ නෝ සිලබස් ඉස්කෝලෙ ජනවාරි 04 ඇරඹේ

Published December 11, 2023

ජපානෙ හිටියා ටෙට්සුකෝ කුරොයානගී කියලා අපූරු කෙලි පොඩ්ඩක්. හැමෝම ආදරේට කිව්වේ ටොට්ටො චං කියලා. මේ කෙලි පොඩ්ඩ ජීවත් වුණේ එයාගෙම ලෝකෙක. එයාගෙ වයසෙ අනිත් ළමයි පොත්වලටම ඇලිලා ඉගෙනගන්න වැඩ පස්සෙම දුවද්දි ටොට්ටො චං කළේ ටීචර් උගන්නද්දි ජනේලෙ අයිනෙ ගහක ඉන්න කුරුල්ලො එක්ක කතා කරපු එක. පාසල ගාවින් යන පෙරහැරේ කසකාරයන්ට අත වනපු එක. ඉතින් මේ දේවල් නිසා ටොට්ටෝව පාසල් කිහිපයකින්ම නෙරපනවා.

අවසානයේ ඇයගේ මවට හමුවෙනවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දියණියට සුදුසුම පාසලක්. ඒ ටෝකියෝවේ ටොමෝ පාසල. මේ පාසලේ පන්ති කාමර වෙනුවට තිබුණේ පරණ කෝච්චි පෙට්ටි. ඔය අතරෙ ඉඳලා හිටලා පිජාමා නයිට් එහෙමත් තිබ්බා. ළමයි හැමෝම ගෑනු පිරිමි බේදයක් නැතුව ස්විමිං පූල් එකේ නෑවා. ගම වටේම ක්ෂේත්‍ර චාරිකා ගියා. මේ පාසලේ ළමයි ගතකළේ ජපානයේ වෙන කිසිම පාසලක දරුවන් ගත නොකළ පාසල් කාලයක්.

ටොට්ටෝ චං පසුකාලීනව ඇගේ පාසලේ කතාවෙන් ‘The little girl at the window’ කියල පොතක් ලිව්වා. ‘හරි පුදුම ඉස්කෝලෙ’ නමින් සිංහලට පරිවර්තනය වුණේ ඒක. මේ පොත කියවනකොට මට හිතුණේ අනේ මටත් මෙහෙම ඉස්කෝලෙක ඉගෙනගන්න තිබ්බ නම් කියලා.

හැබැයි ඒ වාසනාව අපිට අහිමි වුණත් මතු පුරපුරට ලංකාවෙදි එය හිමිවීමේ පිඹුරුපත් මේ වෙද්දි සැකසී අවසන්. ඒ අනුව ලංකාවේ පළමු නවීන පාසල එළඹෙන ජනවාරි 4 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සූදානම්.මේ පිටිපස්සෙ රූස්ස ගහක් වෙලා ඉන්නෙ යසෝදරා පථංජලී. ඉතින් අපි ඇයව සම්බන්ධ කරගත්තා මේ අපූරු පාසලේ වගතුග ටිකක් දැනගන්න.

මේක ලංකාවේ පළමු නවීන පාසල

දෙමාපියන්ට පහුසුවෙන්ම තේරෙන විදිහට කිව්වොත් මේක තමයි ලංකාවේ පළවෙනි Modern Scool එක. පාසලේ නම Independent Collective School . මම මේ පාසල හදන්න හිතුවේ අනාගතේ ගැන හිතලා. ලෝකෙ අධ්‍යාපන විශේෂඥයෝ හොයාගෙන තියෙන ක්‍රම විදිහට තමයි මේ පාසල පටන්ගන්නෙ. ලංකාවේ දැනට පවතින සාම්ප්‍රදායික පාසල් කලාව අවුරුදු 150 ක් විතර යල් පැන ගිහිල්ලා. නමුත් මම හදන මේ පාසල ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැරවුම් ලක්ෂ්‍යක් වේවි.

Home Schooling ලංකාවෙ නැති එක ගැන පුදුමයි

මම මගේ මුළු ජීවිතේම ගතකරල තියෙන්නේ සම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් පිට. මම පාසල් ගිහින් නෙවේ ඉගෙනගත්තෙ. ගෙදර ඉඳන්. ඉතින් එහෙම බලද්දි මේක මගෙ ඔළුවට ආපු අදහසක් කියන්න බෑ. මම ඉපදුණ දවසෙ ඉඳන් හිටියෙ එංගලන්තෙ. ඉතින් මට පුදුමයි ඇයි එහෙම ගෙදරට වෙලා ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් ලංකාවෙත් නැත්තෙ කියල. කිසිම තේරුමක් නැති අධ්‍යානයක් ලබාදීලා අපිම තමයි දරුවන්ට අනාගතයක් හදල නොදෙන්නෙ. අපි සමාජයක් විදිහට හරි දේ කළේ නෑ මෙච්චර දවසක්.

කටින් විතරක් සිස්ටම් චේන්ජ් කරලා වැඩක් නෑ

ඕන කෙනෙක් එක්ක කතා කළොත් කියන්නෙ නම් ඔව් මේ සිස්ටම් එක වැරදියි, මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ කියලා. හැබැයි එහෙම කියන කිසිම කෙනෙක් සිස්ටම් එක වෙනස් කරන එක වෙනුවෙන් මුකුත් කරන්නෑ. සමාජයක් විදිහට රටේ ප්‍රශ්නයක් ගැන පේනව නම් නිකන් ඉඳලා හරියන්නෙ නෑ. හැමෝම එකතු වෙලා ඒක වෙනස් කරන්න ඕනෙ. ඉතින් මම මගේ පැත්තෙන් උත්සාහයක් ගත්තා අධ්‍යාපනය පැත්තෙන් සිස්ටම් එක වෙනස් කරන්න.

මගේ දරුවොත් පාසල් යන්නෙ නෑ

මගේ ලොකු දුව අනුරාදා කුමරි. එයාට අවුරුදු 13 යි. පොඩි දුව ඉන්දුමතී බද්‍රා. එයාට අවුරුදු 9 යි. චූටි පුතා කවීෂ්වර අගස්ත්‍යට අවුරුදු එකහමාරයි. මම වගේම මගේ දරුවොත් පාසල් යන්නෙ නෑ. ගෙදර ඉඳන් තමයි ඉගෙනගන්නෙ. චූටි පුතාවත් පාසල් යවන්නෙ නෑ. නවීන අධ්‍යාපනයේ කියල තියෙනවා විෂය කියන දේ වැඩක් නෑ කියලා. අද මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්නවලටත් මූලික වෙලා තියෙන්නේ පවතින අධ්‍යාපන රටාවේ ප්‍රශ්න නෙවේද? ළමයින්ට උගන්නලා නෑ අපි විවිධ රැකියාවලට මුහුණ දෙන විදිහ. වර්තමාන තාක්ෂණයට මුහුණ දෙන්න. මොකද ඔය ‘විෂය’ කියන දේ නිසා ඒ තැන්වලට ළමයින්ට යන්න බෑ.

අලුත් පාසලේ මාධ්‍ය තුනම ඇතුළත්

මගේ පාසල Modern School එකක් වුණාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරක් නෙවෙයි උගන්වන්නෙ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනෙන්ම ඉගැන්වීම් කටයුතු කෙරෙනවා. ඒක ලංකාවේ පාසල්වල තිබිය යුතු අත්‍යවශ්‍යම දෙයක්. ලංකාවෙම ගත්තොත් විවිධ පැතිවල මිනිස්සු කතා කරන්නෙ විවිධ භාෂා. එහෙම තැන්වලදි භාෂාව කියන දේ අපිට ලොකු බාධාවක් වුණ අවස්ථා තියෙනවා. හැමෝම දුවන්නෙ ඉංග්‍රීසි පස්සෙ. නමුත් ඉංග්‍රීසි විතරක් ඉගෙනගන්න ළමයිනුත් අතරමං වෙන දවසක් එනවා. ඒ නිසා සෑම පාසලකම භාෂා තුනෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතුයි.

ඇතුළත් වෙන්න කරන්ට් බිල්, ග්‍රාම සේවා සහතික ඕනෙ නෑ

පාසලට අයදුම් කරන්න බොහොම සරල පියවර කිහිපයක් තියෙන්නේ. සාම්ප්‍රදායික පාසල් රටාවේ වගේ අවුරුදු ගාණක විදුලි බිල්, වතුර බිල්, දෙමාපියන්ගේ විවාහ සහතික ගෙනත් නාඩගම් නටන්න වුවමනා නෑ. සමහර අම්මලා දරුවව ඉස්කෝලෙකට දාගන්න තියෙන උවමනාවට බොරු ලියකියවිලි පවා හදනවා.අපි අපේ ඉස්කෝලෙන් ඔය හැමදේම ඉවත් කළා. අපිට ඕනෙ ළමයා අපෙ ඉස්කෝලෙ එක්ක එකතු වෙලා හරි ගමනක් යනවා දකින්න. අපේ පාසලට ඇප්ලයි කරන්න පුළුවන් විදිහ Independent Collective School ෆේස්බුක් පිටුවෙ තියෙනවා.

ලොව පිළිගත් විභාගවලට පෙනී ඉන්නත් අවස්ථාව

පාසලේ දරුවන්ට පිළිගත් විභාගවලට පෙනී ඉන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම විභාග ලියන වයසත් දරුවන්ට සහ දෙමාපියන්ට තීරණය කරන්න පුළුවන්. කාටහරි අවශ්‍ය නම් නියමිත වයසට කලින් හෝ පසුව අදාළ විභාගවලට පෙනී සිටින්නත් අවස්ථාව තියෙනවා.

ගාස්තුව තරමක් මිලයි

මේක ලංකාවේ බිහිවන පළමු මොඩර්න් පාසල නිසා මාසික ගාස්තුව නම් ටිකක් මිලෙන් අධිකයි. මට මේ පාසල හදන්නෙ කාගෙන්වත් මුදල් සහයක් ලැබුණෙ නෑ. මමයි මගේ සැමියයි වියදම් කරල තමයි මේක හැදුවේ. අනිත් කාරණේ ලංකාවෙ ගුරුවරුන්ට ගෙවන්නෙ ඉතාම සුළු මුදලක්. මං හිතන්නෙ ඔවුන්ට ලැබෙන්නෙ මෙහෙකාරියකටත් වඩා අඩු වැටුපක්. ඒක තමයි යථාර්තය. ඒක වැරදියි. මොකද ගුරුවරයෙක් කියන්නෙ ළමයි වෙනුවෙන් කැප වෙලා ලොකු මෙහෙයක් කරන කෙනෙක්. ඉතින් මගේ පාසලත් අඩු පඩි ගෙවන සාමාන්‍ය පාසලක් වෙනවට මම කැමති නෑ. ඒ වගේම Project base learning තවම ලංකාවෙ නැති නිසා ඒවා ලංකාවට ගේන එක පහසු දෙයක් නෙවෙයි. මේ සියලුම දේවල් නිසා පාසල් ගාස්තු මුල් කාල සීමාවේදී තරමක් අධිකයි.

අනාගතයේදී මේ පාසලට ඇතුළත් වෙන්න දුප්පත් පොහොසත් බේදයක් නෑ

මම මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා ශිෂ්‍යත්ව කිහිපයක් මගේ පාසලට ගේන්න. ඒ කියන්නෙ පිට ආයතනවලින් මුදල් හොයලා ඒ මුදල්වලින් පාසල් ගාස්තු ගෙවාගන්න බැරි ළමයින්ට ඉඩකඩ සලසලා දෙන්න. ඉදිරියේදී ලොකු අදහසක් තියෙනවා සාමාන්‍යයෙන් ඕනම තරාතිරමක ළමයෙක්ට පාසලට ඇතුළත් වෙන්න පුළුවන් මට්ටමකට ගේන්න. නමුත් එතනට මේ පාසල ගේන්න සෑහෙන කාලයක් යයි. මොකද අපේ පළවෙනි අඩිය විදිහට මුලින්ම අපි මේ පාසල ආරම්භ කළ යුතුයි.

පාසල් ළමයින්ට යුනිෆෝම් මොකටද?

පාසල් ළමයෙක්ට යුනිෆෝම් එකක් අන්දවන්නෙ ඒ යන පාසල නියෝජනය වෙන්න. ළමයා පාරෙ යද්දිත් තමන්ගෙ පාසල නියෝජනය කරන්න ඕනෙ. නමුත් මගේ පාසලේ මම ළමයින්ට දෙන්නෙ අධ්‍යාපනය විතරයි. අපිට ළමයව අයිති නෑ. ළමයගෙ කර මතින් ඉස්කෝලෙ නම ගෙනියන්න උවමනාවකුත් නෑ. ඉස්කෝලෙ නම කටපාඩම් කරවල, ටයි එකක් දාලා, පාසල් ගීත මතක තියවන්න ඕනෙ නෑ. ළමයි ඉස්කෝලෙ දාලා ගියාට පස්සෙ ඒ ළමයා ආ මම ගියේ මේ ඉස්කෝලෙට කියල අපේ ඉස්කෝලෙ මතක තියාගන්න ඕනෙත් නෑ. මොකද ඒ වෙද්දි අපි අපේ වැඩේ කරල ඉවරයි.

ළමයි 12 ට එක ගුරුවරයෙක්

මම ඉස්කෝලෙ ගැන සමාජ මාධ්‍ය හරහා කතා කරන්න ගත්ත දවසෙ ඉඳලා දවසට දහයක් විස්සක් විතර ගුරුවරු ගුරුවරියො මට පණිවිඩ එව්වා අපේ පාසල එක්ක සම්බන්ධ වෙන්න කැමතියි කියලා. නමුත් හැමෝම අපිට ගැළපුණේ නෑ. සමහරුන්ට අපි කරන්න යන දේ තේරුණේ නෑ. මගේ පාසලේ ගුරුවරු ඉන්නෙ දරුවන්ට උගන්වන්න නෙවේ. ඉගෙනගන්න සහය දෙන්න. ළමයි 12 කට එක ගුරුවරයෙක් ගාණෙ අපි ගන්නෙ. මේ ඉස්කෝල පන්ති කාමරත් නෑ.

මේක අමුතු ඉස්කෝලයක් නෙවෙයි

මේක අමුතු ඉස්කෝලයක් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මේක අමුතු දෙයක් නෙවේ. නවීන ලෝකෙ මොනවද වෙන්නෙ කියල මිනිස්සු දන්නෙ නැති එකයි ගැටලුව. මිනිස්සු උත්සාහයක් අරගෙන නෑ නවීන අධ්‍යාපනය ගැන තේරුම්ගන්න. සාමාන්‍ය සමාජය නවීකරණය වෙලා නෑ. මෙවැනි පාසල් වෙනත් රටවල බොහෝ තියෙනවා.

ප්‍රතිචාර ඉහළයි

මේ වැඩේට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. අපි ගත්තෙ සෑහෙන්න ලොකු පියවරක්. මේ වැඩේ පටන්ගත්තෙ සාර්ථක වෙයි කියන අදහසින් නෙවේ. මොකද මේ සංකල්පය ගැන මිනිස්සුන්ගෙ ඔළුවට යන්න කාලයක් ගතවෙනවා. මගෙත් සැමියාගෙත් දෙන්නගෙම හිතේ බයක් සැකයක් තිබුණා. නමුත් මට කියන්න සතුටුයි අපේ පළවෙනි බැජ් එක මේ වෙද්දි සම්පූර්ණයි. ළමයි 80ක් දැනට බැඳිලා ඉන්නවා. පාසල් ගොඩනැගිලි තාම හදල ඉවර නෑ. ඒ නිසා දැනට බඳවගන්න පුළුවන් ළමයි 80 ක් විතරයි.

මිනිස්සු කියන තරම් එංගලන්තෙ ජීවිතේ පහසු නෑ

එංගලන්තෙ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කතාව ලොකු බොරුවක්. එහේ හම්බකරන මුදලට ජීවත් වෙන්න අමාරුයි. මම එංගලන්තයෙන් ඇවිත් අවුරුදු හතකටත් වැඩියි. මෙහේ අය නොදැනුවත්කමට විශ්වාස කරනවා ලංකාවට වඩා වෙන රටවල ජීවිතේ සුන්දරයි, සල්ලි හම්බකරන්න පහසුයි කියලා. නමුත් ඒක ඇත්ත තත්ත්වය නෙවෙයි. මම එංගලන්තෙ ඉපදුණාට මට කොහොමටවත් ඒ රට ගැළපුණේ නෑ. ඒ වගේම තමයි ලංකාවේ තියෙන ආර්ථික නිදහස එංගලන්තයේ නෑ. ලංකාවෙ කාටහරි බත් පැකට් බිස්නස් එකක් පටන්ගන්න පුළුවන් පාරෙ මේසයක් දාලා. නමුත් එහේ එහෙම දෙයක් කරන්න බෑ. දුප්පත් මනුස්සයෙක්ට ඔළුව උස්සලා නැගිටින්න ක්‍රමයක් නෑ. නමුත් ලංකාවේ ලොකු නිදහසක් තියෙනවා පොඩියට හරි දෙයක් පටන්ගන්න.

තමන්ට කරන්න පුළුවන් පොඩ්ඩ කරන්න

මගේ ජීවිතේ ලොකුම අරමුණ පුළුවන් කාලේ පුළුවන් තරමින් සල්ලි එකතු කරලා මගෙන් මේ රටට කෙරෙන්න පුළුවන් දේ කරල දෙන එක. තමන්ට එකතු කරගන්න පුළුවන් රුපියල් පන්දාහයි නම් ඒ පන්දාහෙන් හරි කමක් නෑ මොකක්හරි දෙයක් කරන්න. ලොකු දේවල් ඕනෙ නෑ. අපි හැමෝටම පුළුවන් නම් අපේ පොඩ්ඩ කරන්න ලොකු ගමනක් රටක් විදිහට යන්න පුළුවන්.

එරංදි කෞශල්‍යා ✍️





 

TAGGED: Home Schooling, Independent Collective School, Modern Scool, The little girl at the window
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?