නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මේ වෙද්දි අපි දිනල ඉවරයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මේ වෙද්දි අපි දිනල ඉවරයි

Published November 27, 2023

ඩ්‍රීම්ස්ටාර් සිහින තාරකාවියන් නවලියට කියයි

වසරකට වැඩි කාලයක සිට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ යුගයේ ආකර්ෂණීයම රියැලිටි වේදිකාවේ උච්චතම අවස්ථාව හෙවත් දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 11 තරග අවසානය මෙසේ සනිටුහන් වෙද්දී අවසන් මහා තරගයට තේරී සිටින තරගකාරිනියන් තිදෙනා සංගීත ක්ෂේත්‍රයට පිවිසි හැටිත් ඒ හරහා අනාගතය ජයගන්නට සැරසෙන හැටිත් මේ විදියට නවලියට කිව්වා…

 අපූර්වා ආශාවරී

අපූර්වා මෙලොව එළිය දකිද්දිම ඇගේ මව හිතාමතාම නොවූවත් සංගීතය තම දියණියට කාවද්දමින් ඇයට අපූරු නමක් තබනවා. ඒ ඇයට විශ්වවිද්‍යාලයේ ප්‍රැක්ටිකල් එකට ආපු “ආශාවරී රාගය ට” තිබුණ ඇල්ම නිසාම දියණියට ආශාවරි යනුවෙන් නම් තබමින්.

ඒ ආශාවරී ආසාවෙන් ඩ්‍රීම්ස්ටාර් වෙත පැමිණි හැටි තමයි මේ. මගේ ගම නාරම්මල. ඉගෙන ගත්තෙ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයෙන්. ඒ කාලේ ඉඳල මේ දක්වා මං සංගීතය ඉගෙන ගන්නවා. ගායන හැකියාව මට පවුල් පසුබිමෙන් ලැබුණු දායාදයක් කියල තමයි මම හිතන්නෙ. මගේ අම්මට තාත්තට වගේම එකම මල්ලිටත් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා.

තාත්තා ශ්‍රී ලංකා පොලීසියේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්. අද ජීවතුන් අතර නෑ. අම්ම ගුරුවරියක්. කනට ඇහෙන හැම සිංදුවක්ම වැරදි වැරදි කියද්දි අම්ම තමයි ඒ දේවල් නිවැරදි කරමින් මගෙ දුව ලස්සනට කියනවා කියල මාව දිරිමත් කළේ. ඒ දිරිගන්වීමේ මූලික ප්‍රතිඵලය විදියට මම 2014 අවුරුද්දෙ ලිට්ල් ස්ටාර් වේදිකාවේ සීසන් 7 තරගාවලියේ 6 වෙනි ස්ථානය ලබාගත්තා.

තේරෙන වයසට එද්දි ඩ්‍රීම්ස්ටාර්වලට මගේ හිතේ ලොකු කැමැත්තක් ඇතිවුණා. මොන වැඩසටහන මගහැරුණත් ඩ්‍රීම්ස්ටාර් නරඹන්න මම වෙලාව වෙන් කරගන්නවා. අපේ ඉස්කෝලෙ ඉගෙන ගත්තු නුවන්දිකා, යශෝධා ප්‍රියදර්ශනී අක්කලා සංගීත ක්ෂේත්‍රය ජයගත්තෙත් මේ වැඩසටහන හරහා නිසා ඒකටත් මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණා.

බොහොම නිහතමානීව කියනවා මේ වෙද්දි මම මේ තරගයේ ජයග්‍රාහිකාවක් වෙලා ඉවරයි. අයදුම්කරුවන් විශාල පිරිසක් අතරින් අවසාන තුන්දෙනා අතර තමයි අද මම ඉන්නෙ. මගේ තාත්ත ඉන්න කාලෙ ඔහුගෙත් ප්‍රියතම වඩසටහන මේක තමයි. තාත්තත් හීන මැව්වා මම වේදිකාවක සිංදු කියල ජයග්‍රහණය කරනව දකින්න.

මගේ තාත්ත කොහේ හරි ඉඳගෙන මා දිහා බලාගෙන මට ආශිර්වාද කරනවා ඇති කියල ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි මගේ අම්මා. අම්මා තාත්තා කියන වගකීම් දෙකම අතට අරගෙන මේ තැනට මාව ගෙනාවෙ ඇගේ ධෛර්යයෙන්. ඇගේ එකම ප්‍රාර්ථනාවත් මම කලාකාරිනියක් ලෙස ජීවිතය ජයගන්නවා දැකීමයි.

මේ වෙද්දි මම රංගනයටත් නිවේදනයටත් සම්බන්ධ වෙලා ඒ කටයුතුවල නියැළෙන අතර තමයි ඩ්‍රීම්ස්ටාර් තරගයේ නියැළෙන්නෙ. අවසන් මහා තරගයෙන් පසුවත් අපි මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්න ඕන.

ඒක අපි විසින්ම හදාගත යුතු දෙයක්. මම කවදාවත් ජයග්‍රාහිකාවක් ලෙස හිමිවෙන ප්‍රතිලාභ අරගෙන පැත්තකට වෙලා ඉන්න කැමති චරිතයක් නෙමෙයි. දෙරණ නාලිකාව හිමිකර දීපු මේ හරහා සංගීත ක්ෂේත්‍රය තුළ මට යන්න පුළුවන් උපරිම දුරට මම යනවා. ඉදිරියේදී මගේ හඬට ආදරය කරන හැම දෙනාගේම ආදරණීය ගායිකාව ලෙස මම ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා.

විදූශා රාජගුරු

වැඩිමල් සහෝදරියගේ ගායන රටාව අනුගමනය කරන විදූශා අම්මාත් සහෝදරියන් දෙදෙනාත් ඉදිරියේ ගායනා කරන්නට තිබූ ලැජ්ජාව නිසාම ඒ සඳහා තෝරාගන්නේ ගෙදර නාන කාමරයයි. දිනකට වරක් දෙවරක් එයින් නැගුණු මිහිරි හඬ අනුව තම බාල දියණියට සුවිශේෂී ගායන හැකියාවක් ඇති බව හඳුනාගන්නා මව ඇය සංගීත ක්ෂේත්‍රයට යොමුකරනවා.

මගේ ගම මාතලේ. පාසල් හතරකින් අධ්‍යාපනය ලැබුවා. මාතලේ විජය ජාතික පාසලෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් වගේම නැවත මාතලේ සංඝමිත්තා විද්‍යාලයටත් කොළඹ විශාකා විද්‍යාලයටත් ඇතුළත් වෙලා මම ඉගෙනුම ලැබුවා. පුංචි කාලෙ ඉඳලම සින්දු කියන්න මම ගොඩක් ආසයි. ඒත් අම්මයි අක්කල දෙන්නයි ඉස්සරහ සිංදුවක් කියන්න මට හිත දුන්නෙම නෑ. අන්න ඒ නිසා වොෂ්රූම් එකට ගියාම සින්දු කියන එක මම පුරුද්දක් කරගත්තා. ඒ දවස්වල මට හිතුනෙ නෑ මගේ හඬ එළියට අහෙනව ඇති කියල.

ඒ ගායන හැකියාව අහගෙන ඉඳල අම්ම තමයි තීරණය කරන්නෙ මාව සංගීත අංශයෙන් ඉදිරියට යවන්න. මගේ අප්පච්චි සේවය කළේ හමුදාවෙ. ඔහු අද ජීවතුන් අතර නැහැ. මම පුංචි කාලේ ත්‍රිවිධ හමුදාවේ සේවකයන්ගේ දරුවන් සම්බන්ධ වුණ සංගීත වැඩසටහනකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණයක් හිමිකර කරගත්තා. එතනින් පස්සෙ FM නාලිකාවල ගායනා කරන්න අවස්ථාව උදාවුණා. ඒ අතරෙ තමයි ලිට්ල් ස්ටාර් සීසන් 4 වලට සම්බන්ධ වෙලා පොපියුලර් විනර් වුණේ.

එතනින් පස්සේ මම සංගීතය විෂයක් හැටියට ඉගෙන ගත්තට තරගවලට සහභාගි වුණේ නෑ. ඒත් අම්ම මාව ඒ දේවල්වලට යොමුකරන්න නිතරම උත්සාහ කළා. මේ වෙද්දි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයාවක් විදිහට ඉගෙනුම ලබනවා. ඩ්‍රීම්ස්ටාර් තරගයට අයදුම් කරන්න මට කිව්වෙත් අම්මම තමයි. පොඩි කාලෙ ඉඳල මම ඊස්ටන් මියුසික් තමයි හැදෑරුවේ. ඒත් මේ තරගයට සහභාගි වුණාට පස්සේ මම රොක් ස්ටයිල් එකට චේන්ජ් වුණා. එතනින් පස්සෙ තමයි මට මේ ස්ටේජ් එකේ තැනක් හැදුණෙ. ඒත් ලොකු අක්ක නම් ඒකට පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ.

එයා තනිකරම ශාස්ත්‍රීය පැත්ත ෆලෝ කරන කෙනෙක් වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ගුරුවරියක්. හැබැයි අම්මා නම් මගේ වේගරිද්ම ගායනයට ආසයි. කොහොම වුණත් අක්කා තමයි මේ දවස් වල නිවාඩු දාගෙන මගේ හඬ පුහුණුවීම් වලට උදව් කරමින් මට විශාල ශක්තියක් වෙන්නෙ.

මගේ උපරිම දක්ෂතාව දක්වල තරගය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම රොක් ස්ටයිල් එක තෝරගෙන ඉවරයි. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි සූදානම. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් විදියට මට තව බොහෝ දුර ඉගෙන ගන්න තියෙනවා. ඉගෙනීමේ කටයුතු සාර්ථකව නිමකරල ඒ හරහා යන්න පුළුවන් උපරිම දුර යන්න මම බලාපොරොත්තු වෙනවා.

අංජලී හේරත්

ඇය මව් පාර්ශ්වයේ ඥාතීන්ට තිබූ ගායන හැකියාව ඉදිරියට ගෙනියන්නට වරම් ලබන්නේ කුඩා අවධියේ සිටමයි. මවගේ පියා (සීයා) සහෝදරයින් (මාමලා) ගීත ගායනා කරන ආකාරය දකින අංජලී ඒවා අනුගමනය කරමින් ගායනයට යොමුවන්නේ පෙර පාසල් අවධියේ සිටියදී.

හයවන ශ්‍රේණියෙ ශිෂ්‍යාවක් විදියට මම අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නට පැමිණි දා සිටම සංගීතය විෂයක් හැටියට හැදෑරුවා. මට මතකයි පුංචි කාලෙ මම ගේ දෙවනත් වෙන්න සින්දු කිය කිය කෑ ගහනවා. ඒත් වෙන අම්මලා වගේ මගේ අම්මා කවදාවත් කෑනොගහ ඉන්න ළමයො කියල මට කවදාවත් කියල නෑ. ඒ හැම වෙලාවකම මාව තව තවත් දිරිමත් කරා ගායනා කරන්න. එහෙම ඇවිත් මම ලිට්ල්ස්ටාර් සීසන් 3 වලට ඇතුළත් වෙලා අවසන් 20 දෙනා අතරට ආවා.

උසස් පෙළ දක්වාම සංගීතය විෂයක් හැටියට හදාරපු මගේ හිතේ හැමවෙලාවකම තිබුණේ සංගීත අංශයෙන් ඉදිරියට යන්න ඇත්නම් කියන බලාපොරොත්තුව තමයි. ඒ වගේම කවදාහරි නිල ඇඳුමක් අඳින රස්සාවක් කරන්නත් මම හීන මැව්වා. උසස් පෙළ ඉවර වෙනවත් එක්කම මගේ හිතේ තිබුණ බලාපොරොත්තු දෙකම එකවර ඉටු කරගන්න තරම් මම වාසනාවන්ත වුණා. මොකද මට යුනිෆෝම් අඳින රැකියාවක් විදියට ගුවන් හමුදාවට බැඳෙන්න අවස්ථාව උදාවුණා.

මගේ සංගීත හැකියාව දියුණු කරගන්න රුකුලක් වෙන විදියට ප්‍රාසාංගික කලා අධ්‍යක්ෂකයට අනුබද්ධ එයාෆෝස් බෑන්ඩ් එකේ ගායිකාවක් ලෙස කටයුතු කරන්නට ලැබීම සුවිශේෂී අවස්ථාවක්. ඒ විදියට බොහොම තෘප්තිමත්ව රැකියාවේ නිරත වෙලා ඉන්න අතරෙ තමයි දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 11 සංවිධානය වෙන්නෙ. මම රාජකාරි අවසර ලබාගෙන ඒ සඳහා අයදුම් කරල බොහෝ කැපවීම් මැද අද අවසන් තුන්දෙනා අතරට ඇවිත් සිටිනවා.

ඒ අනුව මම අද වෙනකොට ඩ්‍රීම්ස්ටාර් තරගය ජයග්‍රහණය කරල ඉවරයි. මගේ ඒ ජයග්‍රහණය පෞද්ගලිකවත් ගුවන් හමුදාවේ සේවිකාවක් විදියට ගුවන් හමුදාවටත් ගෞරවයක් හිමිවන ලෙස ලබාදීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා. සේවා ස්ථානයේ රාජකාරියට බාධාවක් නොවන අයුරින් ගායිකාවක ලෙස සංගීත ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑම තමයි මගේ එකම බලාපොරොත්තුව.

ධම්මික හේවාවසම් ✍️

TAGGED: anjali herath, apoorwa ashawari, Dreamstar, littlestar, vidusha rajaguru
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?