නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ක්ෂණික නූඩ්ල්ස් වගේද ක්ෂණික කොම්පෝස්ට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ක්ෂණික නූඩ්ල්ස් වගේද ක්ෂණික කොම්පෝස්ට්

Published October 16, 2023

අපේ ජීවන රටාව නවීකරණය වීමත් සමග කුණු කසළ බැහැර කිරීම ගැටලුවක් බවට පත් වුණා. අද වනවිට සෑම නිවසක්ම පර්චස් ප්‍රමාණයට සීමා වුණ නිසා පළාත් පාලන බල ප්‍රදේශ මහජන සුබසාධන සේවාවක් විදිහට බැහැර දමන කුණු කසළ එකතු කිරීම සිදු වන නිසාත් හදිසියේ හෝ කුණු ලොරිය නොපැමිණියහොත් නාසය ඇරගෙන නම් ඉන්න බැරිවෙලා.

ඒ වගේම ට්‍රැක්ටර් ගණනින් එකතු වන කුණු කසළ බැහැර කිරීම තවත් ප්‍රශ්නයක් වෙලා. ප්‍රතිචක්‍රිකරණය, කොම්පෝස්ට් නිෂ්පාදනය ගැන මාධ්‍ය මගින් බොහොම රසවත්ව කතා කළත් ප්‍රායෝගිකව කුණු කසළ බැහැර කිරීම වෙනුවෙන් තිරසාර විසඳුමක් තවමත් නැහැ. මේ සියල්ලටම විසඳුම් ලබා දෙන කොම්පෝස්ට් යන්ත්‍රයක් නිෂ්පාදනය කළ තරුණයෙක් කුරුණෑගල නාරම්මල ප්‍රදේශයේ ඉන්නවා. ඔහු එච්. එම් රිශාන් ප්‍රභාත් කුමාර. අද වනවිට ඔහු විසින් නිෂ්පාදනය කර හඳුන්වා දී තිබෙන මෙම කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍රයෙන් දින 30 ක් වැනි කාලයකින් කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සකස් කර ගන්නවා.

මේ වගේ අදහසක් ඇති වුණේ කොහොමද?

පාසලෙන් අයින් වුණාට පසුව මම රැකියාවන් කීපයක් කළා. වෑල්ඩිං ආයතනයක වසර 11 ක් සේවය කළා. එතැනින් පසුව ලියවන පට්ටල් වැඩපොලක සේවයට සම්බන්ධ වුණා. මේ ආයතනයේදී බැකෝ යන්ත්‍ර අලුත්වැඩියාව ගැන මට දැනුමක් ලැබුණා. ඔය අතරේ පරණ යකඩ තලන යන්ත්‍ර නිෂ්පාදනය ගැනත් මට යම් දැනුමක් ලැබී තිබුණා. මගේ හිතේ තාක්ෂණ සංකල්ප ගැන දැනුමක් තිබුණා. මම ලබා ගත් තාක්ෂණය යොදා ගෙන තව තවත් නිෂ්පාදන කිරීමට මගේ හිත යොමු වුණා.

කාබනික පොහොර ගැන උනන්දුවක් ඇති වුණා

රසායනික පොහොර භාවිතය ගැන රටේම ආන්දෝලනයක් ඇති වුණා. ඒ නිසා රසායනික පොහොරවලට විකල්ප විදිහට කොම්පෝස්ට් යොදා ගන්න හැකියාව තිබුණත් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. පහසුවෙන් සහ ඉක්මනින් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න කරගත හැකි ක්‍රමවේදයක් ගැන හිතන්න හොඳම කාලය කියලා මට හිතුණා.

තාක්ෂණය ගැන දැනුමක් ලැබුණේ කොහොමද?

මම යූ ටියුබ් එකේ වැඩසටහන් නිතර බලනවා. ඒවා නරඹද්දී පොහොර සාදා ගත හැකි යන්ත්‍රයක් ගැන අදහසක් හිතට ආවා. මම මුලින්ම හැදුවේ සාම්පල් යන්ත්‍රයක්. එහි යම් යම් යාන්ත්‍රික දෝෂ තිබුණා. දෙවැනියට හැදුව යන්ත්‍රය සාර්ථක වුණා.

එක පැත්තකින් කාබනික ද්‍රව්‍ය ඇතුළු කළාම ඒවා ඇඹරිලා අනිත් පැත්තෙන් කැබළි විදිහට වැටෙනවා සෙ.මි දෙකක පමණ කුඩා කැබළි විදිහට වැටුණාම ඒවා ගොඩක ගහලා කලු ඉටි රෙද්දකින් වහලා දින 30 ක් තබනවා. එතැනින් පසුව කොම්පෝස්ට් ලබා ගන්න පුළුවන්.

අපට නිවසේ බැහැර වෙන කුණු කසළ යන්ත්‍රයකට ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැති නිසා බොහෝ විට පොල් අතු යොදා ගන්නවා. පොල් අතු, ගිනි සීරියා වගේ කොළ අතු යොදා ගෙන කොම්පෝස්ට් සාදා ගන්න පුළුවන්. අශ්ව බල 5 සහිත යන්ත්‍ර දෙකක් තිබෙනවා.

අඩු දින ගණනකින් ප්‍රමිතියකින් යුක්ත කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ කොහොමද?

අපි කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදා ගන්නේ දිරන අමුද්‍රව්‍යයි. නිවසෙන් ඉවත දමන කසළ වගේම කොළරොඬු, අත, වල් කොළ වගේ මේ හැම දෙයක්ම යොදාගෙන ඒවා ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වයෙන් දිරන්න ඉඩ හරිනවා. මේ වෙනුවෙන් දින 90 ක් වගේ කාලයක් අවශ්‍යයි. නමුත් යන්ත්‍රය මගින් ජීර්ණ ක්‍රියාවලියට පහසු විදිහට අසුරන ලද කසළ ලැබෙනවා. ඒ නිසා යන්ත්‍රයෙන් දින 30 කින් පොහොර ලබා ගන්න පුළුවන්.

කොම්පෝස්ට් යන්ත්‍ර දෙක ගැනත් යම් පැහැදිලි කිරීමක් කළොත්?

අපේ රටේ සෑම තැනකටම විදුලිය ලබා ගැනීම අපහසුයි. ඒ නිසා විශාල ඉඩමක කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා නම් එන්ජිමක් සවි කළ යන්ත්‍රයෙන් පැයකට කිලෝ 1000 ක පමණ ධාරිතාවයක කොම්පෝස්ට් කැබළි ලබා ගන්න පුළුවන්.අනිත් යන්ත්‍රය ගෙවතු වගාවකදී භාවිත කරන්න පුළුවන්. මේ යන්ත්‍රයෙන් පැයකට කිලෝ 500 ක පමණ ධාරිතාවයක කොම්පෝස්ට් කැබලි ලබා ගන්න පුළුවන්.

මහා පරිමාණයේ වගාවන්හි යෙදෙන ගොවි මහතුන්ට මේ යන්ත්‍රය ප්‍රයෝජනයක් තිබෙනවාද?

මහා පරිමාණයේ වගා කටයුතුවලදී කොම්පෝස්ට් තොග විදිහට තබා ගැනීමට පුළුවන්. ඒ වගේම මේ යන්ත්‍රයක් මිලට ගත්තාම ගොයම් කපන මැෂිමක් වගේ දෛනික කුලියට යන්ත්‍රය ලබා දෙන්න පුළුවන්. මෙම යන්ත්‍රය ගෙනත් කොම්පෝස්ට් තොගයක් නිෂ්පාදනය කර නැවත මැෂිම ලබාදෙන්න පුළුවන්.

එවැනි අතරමැදි ආදායම් ලබන පුද්ගලයන්ද දැන් ඉන්නවා. ගොවිතැනට පෙරාතුව ඉඩම සකස් කරන අවස්ථාවේදී කපා ඉවත දමන අතු, ඉති කොළ යන්ත්‍රයෙන් අඹරාගෙන ගොඩ කළොත් වගාබිමට ඉබේම පොහොර ලැබෙනවා. තනි යායට තිබෙන ඉඩම්වලදී මේ විදිහට සහයෝගයෙන් කොම්පොස්ට් එකතුවක් ගොවි බිමේම කොටසක සකස් කර ගන්නත් පුළුවන්.

ඇණවුම් ලබා ගත්තේ කොහොමද?

මගේ නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දුන්නේ දෙනෙත ඉන්ජිනියරින් වර්ක්ස් කියන නමින්. මම යූ ටියුබ් එකටම දැන්වීමක් දැම්මා. මුල්ම යන්ත්‍රය අලෙවි කළේ කලුගමුව ප්‍රදේශයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා දැන් ගොවිතැන් කටයුතු වල යෙදෙන මහත්මයෙක්ට.

ඊට අමතරව කැළණිය රජ මහ විහාරයට මේ යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා දුන්නා. එය පන්සලට පූජා කරන්න ලැබුණ ඇනවුමක්. දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් කාලා ඉවත දමන දඬු, යොදා ගෙන කොම්පෝස්ට් හදන්න යන්ත්‍රයක් අවශ්‍ය බවට මට ඉල්ලීමක් ලැබුණා.

පළාත්පාලන ආයතනවල ගොඩගැහෙන කුණු කඳු වලින් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න හැකියාවක් නැතිද?

ඉතාම පහසුවෙන් පුළුවන්. දැන් සමාජයට කුණු බැහැර කිරීමේදී වර්ග කිරීම ගැන දැනුවත්. ඒ නිසා දිරන සහ නොදිරන ද්‍රව්‍ය ලබා දෙන්න දින තිබෙනවා. දිරන ද්‍රව්‍ය එකතු කරන දවසේම කුණු කැබැළි කරගෙන කොම්පෝස්ට් සඳහා යොදා ගන්න පුළුවන්. එකතු කරන කුණු කසළ ඇඹරිලා ටේලරයට වැටෙනවා. ඇඹරිලා වැටෙන කුණු හොඳින් වහළා ගොඩ කළොත් දින තිහකින් කොම්පෝස්ට් ලබා ගන්න පුළුවන්.

ඔබගේ යන්ත්‍රය ගැන පළාත්පාලන ආයතන දැනුවත් කළේ නැතිද?

මම ඉල්ලීමක් නම් කළා නමුත් ප්‍රතිචාර නැහැ. අඩුම වශයෙන් එක ප්‍රාදේශීය සභාවක මේ ක්‍රමවේදය භාවිත කළොත් පාරිසරික වශයෙන් ලැබෙන විසඳුම් තේරුම් ගන්න පුළුවන්.

කාලයත් සමග විශාල යන්ත්‍රයක අවශ්‍යතාවයක් ඇති වුණොත් ආයතනයෙන් යම් සහනයක් ලැබෙනවාද?

ආයතනයෙන් යන්ත්‍රයක් මිලට ගන්නා කෙනෙකුට වසරක වගකීම් සහතිකයක් ලබා දෙනවා. වැඩි ධාරිතාවයක යන්ත්‍රයක අවශ්‍යතාවය ඇති වුණොත් මුලින් යන්ත්‍රය අපට ලබා දීලා අලුත් යන්ත්‍රයක් ලබා ගැනීමේදී අපේ යම් අනුග්‍රහයක් තිබෙනවා. ඒ වගේම මේ යන්ත්‍ර වෙනුවෙන් අවශ්‍ය අමතර කොටස් අපේ ආයතනයෙන් නිෂ්පාදනය කරන නිසා ඒ ගැන ගැටලුවක් ඇති වෙන්නෙත් නැහැ.

පුන්‍යා චාන්දනී ද සිල්වා





 

TAGGED: Compost production machine, Instant compost, rishan prabath kumara
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?